අලුත් ව්‍යවස්ථාව ගැන අපි කියපු කරුණුවලට ජනාධිපති - අගමැති කන්දුන්නේ නැහැ

  👤  2665 readers have read this article !
By mawbima 2017-10-23

යෝජිත නව ව්‍යවස්ථාව පිළිබඳව සමස්ත සංඝ සමාජයේම බලවත් විරෝධයක් එල්ල වන බවට අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ සංඝ සභා නිකුත් කළ ප්‍රකාශය සිදු කළේ අස්ගිරි සහ මල්වතු මහ නායක හිමිවරුන්ගේ අනුදැනුම මත බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියන් පවසයි.
උන් වහන්සේ එසේ පැවැසුවේ 'බෙදුම්වාදී ව්‍යවස්ථාව එපා' යන මැයෙන් යුතුකම සංවාද කවය පසුගියදා කොළඹදී පැවැත්වූ සම්මන්ත්‍රණයකදීය.
එහිදී අදහස් දැක්වූ ධම්මානන්ද නාහිමියෝ මෙසේද පැවැසූහ.

අද මම කතා කරන්නේ මේ සම්මන්ත්‍රණය අහන්න ආපු අයට නෙවෙයි. රාජ්‍ය බුද්ධි අංශයේ හා මාධ්‍ය ආයතනවලින් ආපු අයටයි. ආණ්ඩුවේ සමහර ප්‍රධානීන් කියනවා මහ නාහිමිවරු මේ සාකච්ඡාවේ හිටියේ නැහැ කියලා. ඒ මතය වැරැදියි. මහ නාහිමිවරුන්ගේ අනු දැනුම ඇතුවයි අපි රැස්වුණේ.
අලුත් ව්‍යවස්ථාවක් ගේන්න බලයක් නැති වත්මන් ආණ්ඩුව කරන ක්‍රියාකාරකම් පිළිබඳව අපි සැලකිල්ලෙන් ඉන්නේ.

මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මතු වූ කාරණා ගැන මහ සංඝරත්නය හැටියට ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් අපි කරුණු කිව්වා. කිසිදු දේකට ඔවුන් ඇහුම්කන් දුන්නේ නැහැ. ලාල් විජේනායක මහතා කියලා තිබෙනවා අලුත් ව්‍යවස්ථාව හදද්දී මහ නායක හිමිවරුන්ගේ අදහස් විමසුවා කියලා. නමුත් එහෙම දෙයක් සිදු වුණේ නැහැ.
මධ්‍යම රජයට බලය තිබියදීත් ඇතැම් දෙමළ නායකයන් උතුරේයි දකුණේයි එකිනෙකට වෙනස් කතා කියනවා. බලය බෙදුවොත් මොනවා වෙයිද දන්නේ නැහැ.
නව ව්‍යවස්ථාවක් ජනතාව ඉල්ලා සිටිනවා නම් ඒක ගෙනාවට කමක් නැහැ. එය අපේ රට බෙදෙන්නේ නැති ජාතියට ආගමට හානියක් නොවන්නක් විය යුතුයි. මහ සංඝරත්නය කියන්නේ සබුද්ධික පිරිසක්. අස්ගිරි පාර්ශ්වයේ නාහිමියන් උපදෙස් දුන්නා අනිත් සංඝයා වහන්සේවත් එකතු කරගෙන මේ ගැන සාකච්ඡා කරන්න කියලා. ඒ අනුවයි අපි එදා රැස්වෙලා මේ ගැන සාකච්ඡා කළේ.
නව ව්‍යවස්ථාවක් අවශ්‍යද නැද්ද කියලා තීරණය කරන්න අවශ්‍ය මහජනතාවයි. කාගෙවත් වුවමනාවන් වෙනුවෙන් ගෙනාපු මේ ව්‍යවස්ථා වාර්තාව අපිට පිළිගන්න අමාරුයි.
ලේඛක ගෙවිඳු කුමාරතුංග,

ත්‍රස්තවාදයෙන් මුදාගත් මවුබිය යළිත් දෙකඩ කිරීම වෙනුවෙනුයි මේ ව්‍යවස්ථාව ගේන්න හදන්නේ. මේ ලියවිල්ලේ සිංහල ජනතාව රැවටීම වෙනුවෙන් වචන හරඹයක් කරලා තියෙනවා. සිංහලෙන් ඒකීය කියන වචනය යොදලා දෙමළෙන් 'ඔරුමිත්ත නාඩු' කියන වචනය යොදලා තිබෙනවා. මෙය නින්දා සහගත ක්‍රියාවලියක්. සිංහල ජනතාව රවටන්නයි මේ හදන්නේ. 'ඔරුමිත්ත නාඩු' කියන වචනයේ තේරුම විදියට අපි හඳුනාගෙන තිබෙන්නේ ෆෙඩරල් කියන දේයි.
මේ ව්‍යවස්ථාව අරගෙන එන්නේ වත්මන් ජාතික ආණ්ඩුවෙන් කියලායි කියන්නේ. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවකුයි දැන් තිබෙන්නේ. නමුත් මේ ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් 4දෙනා ලිපියක් භාරදී තිබෙනවා.
මේ ව්‍යවස්ථාවට ඇතැම් අය එකඟතාවක් පළ කරන්නේ නෑ. එහෙනම් කොහොමද මේක සම්මත කරන්නේ. ඔබටත් මටත් ජීවත් වීමට තිබෙන රටේ අනාගතයයි මේ විනාශ කරන්න හදන්නේ.

රියර් අද්මිරාල් සරත් වීරසේකර,
රණවිරුවන් දිවි හිමියෙන් බේරාගත්තු රට වනසන්නයි මේ හදන්නේ. එදා රණවිරුවෝ රටේ ඒකීයභාවය ආරක්ෂා කළා. ඒ රට යළි බෙදන්න දෙන්න බැහැ. රණවිරුවා රටේ ජාතික ආරක්ෂාව රැකගත්තා. ඒ වෙනුවෙන් 29,000ක් තම ජීවිත පූජා කළා. එහෙම ආරක්ෂා කරපු රටක් මේ ව්‍යවස්ථාවකින් වෙනස් වෙන්න දෙන්න බැහැ. එදා 13 වැනි ව්‍යවස්ථාවෙන් මේ රට ෆෙඩරල් වුණා. එය ඉන්දියාව අපිට බලෙන් පටවපු දෙයක්. නමුත් ඒ ව්‍යවස්ථාවේ රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමේ කරුණු තිබුණා. නමුත් මේ ගේන්න යන ව්‍යවස්ථාවෙන් ඒ කරුණුත් අයින් කිරීමට යන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. ආණ්ඩුකාර ධුරයේ බලතල අඩු කරන්න හදනවා. සමගාමී ලැයිස්තුවටත් හානි කරන්න හදන්නේ. මේවා කරන්න යන්නේ පුද්ගලයන් දෙන්නෙක්. ඒ ඔවුන් තමයි ජයම්පති වික්‍රමරත්න හා සුමන්තිරන් මන්ත්‍රිවරයා. ජයම්පති වික්‍රමරත්න කියන්නේ උපන්ගෙයි ෆෙඩරල්කාරයෙක්. සුමන්තිරන් කියන්නේ එල්.ටී.ටී.ඊ. හිතවාදියෙක්. විග්නේෂ්වරන් කියන්නේ උතුරේ ඉන්න ඕනෙ දෙමළ ජනතාව විතරයි කියලායි. නමුත් එයා ජීවිත කාලෙම හිටියේ දකුණේ. මේ ව්‍යවස්ථාව අපිට අවශ්‍ය නැහැ. එය පරාජය කළ යුතුයි.

නීතිඥ කණිෂ්ක විතාරණ,
මේ මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබඳව ගත්තොත් මේ මෙහෙයුම් කමිටුවේ ඉන්න ඇතැම් අය මේ වාර්තාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එතකොට මේ වාර්තාව ඒ කමිටුව විසින් ඉදිරිපත් කරපු වාර්තාවක් විදියට පිළිගැනීමක් නැති වී යනවා. මේ වාර්තාව පිළිබඳව ජනතාවගෙන් අදහස් විමසලා තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඇයි මේක ෆෙඩරල් ක්‍රමයකට යන ව්‍යවස්ථාවක් කියලා කියන්නේ. මේ වාර්තාව හදලා තිබෙන්නේ දැන් තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 හා 2 කියන වගන්ති අයින් කරලායි. අපි කියන්නේ මේ රට ෆෙඩරල් රාජ්‍යයක් කරන්න එපා කියලායි.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ,
රටේ අනාගතය පාවා දෙන්නයි මේ හදන්නේ. අපි එදා කිව්වා මේ රටේ සෞඛ්‍ය කෑලි 9කට කඩන්න එපා කියලා. මේ විදියට බලය බෙදුවොත් ඔබතුමාලා අද භුක්ති විඳින නිදහස් සෞඛ්‍ය සේවය අන්ත දුක්ඛිත තත්ත්වයකට පත් වෙනවා. මේ රටේ ජනතාවට සිංගප්පූරුවේ බෙහෙත් ගන්න යන්න බෑ. මම ඉල්ලන්නේ ඔබ ජනතාව වශයෙන් මේ උප්පර වැට්ටියට අහුවෙන්න එපා කියලායි. එදා යුද්ධයේදී තුවාල වුණු රණවිරුවන්ව බලාගත්තේ වෛද්‍යවරුන් වෙච්ච අපියි. එදා අපි යුද්ධය තිබුණු සීමාවන්වලට පවා ගිහින් රණවිරුවන්ට ප්‍රතිකාර කළා. සාමාන්‍ය වැසියන්ට ප්‍රතිකාර කළා. අපි කළේ ජාතික මෙහෙවරක්. අපි දකුණේ සහ උතුරේ සියලු දෙනාටම එක ලෙස සැලකුවා. නමුත් අපි ජනප්‍රිය කණ්ඩායමක් නෙමේ. අපිට ජනප්‍රිය වෙන්න අවශ්‍ය නැහැ. අපි අපේ යුතුකම මේ රටට ඉටු කළා. ප්‍රඥාවක් නැති අයට මේ රට විනාශ කරන්න දෙන්න බැහැ. අපි ඉල්ලන්නේ සෞඛ්‍ය සේවාව විමධ්‍යගත කරන්න එපා සහ බලය බෙදා හරින්න එපා කියලායි. එය මධ්‍යගත කළ යුතුයි. එතකොටයි මේ රටේ ගුණාත්මක සෞඛ්‍ය සේවයක් බිහිවෙන්නේ. අපි මේ රට බේරාගැනීමට කටයුතු කළ යුතුයි.

ජේ‍යෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත්,
මේ ව්‍යවස්ථා වචන හරඹය පිටිපස්සේ තියෙන්නේ විශාල භයානක තත්ත්වයක්. රටේ ජාතික ආරක්ෂාවටත් ඒකීය භාවයටත් විශාල හානියක් මින් විය හැකියි. ෆෙඩරල් ක්‍රමයක් අපේ රටට ගෙනාවොත් ඒ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන්න වෙනවා. අපේ රටට එවැනි ආර්ථික තත්ත්වයක් දරන්න අමාරුයි. අපි මුළු ලෝකයටම තාමත් ණය ගෙවනවා. මෙයින් අපේ රට තවත් දරුණු ආර්ථික අවපාතයකට ලක්විය හැකිය. එම නිසා අපි තේරුම් කරලා දෙන්න ඕනේ උතුරේ ජනතාවටත් දකුණේ ජනතාවටත් මේ නව ව්‍යවස්ථාව නිසා කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ කියලා.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ඡායා - තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්