සංහිඳියාව ඇති කිරීමට බලය බෙදා වැඩක් නැහැ

  👤  2611 readers have read this article !
By mawbima 2017-10-23

ජනතාව අතර සංහිඳියාව ඇති කළ හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ගේ පොදු ප්‍රශ්නවලට විසඳුම් දීමෙන් මිස බලය බෙදීමෙන් නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.

නව ව්‍යවස්ථාවක් හරහා බලය බෙදීමට අද යෝජනා කරන්නේ එදා ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කළ නොහැකි යැයි කී බෙදුම්වාදීන් කණ්ඩායම බව පැවැසූ රාජපක්ෂ මහතා පසුගිය ආණ්ඩුව සංහිඳියාව වෙනුවෙන් කළ කටයුතුවලින් දාහෙන් එකක්වත් වත්මන් ආණ්ඩුව සංහිඳියාව වෙනුවෙන් කර නොමැති බවත් පැවැසීය.
හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ අදහස් පළ කෙළේ වියත් මඟ විසින් ගම්පහ වෙට් වෝටර් හෝටලයේ පැවැති දිස්ත්‍රික් සම්මන්ත්‍රණයට එක්වෙමිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.

අද රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. කමල් ගුණරත්න මහතා දෙවැනි ලුතිනන්වරයකුව සිට මේජර් ජෙනර්ලවරයකු වන තුරුම ජීවිතය ගත කළේ මේ යුද්ධය අවසන් කිරීමටයි. ජනාධිපතිවරුන් පස්දෙනෙක්, විවිධ ආණ්ඩු ගණනාවක් යටතේ වසර තිහක් තිබුණු යුද්ධය ගැන කල්පනා කළොත් එක්තරා කණ්ඩායමක් හිටියා යුද්ධය ජයග්‍රහණය කරන්න බැහැ කියලා විශ්වාස කරපු.

යුද්ධය තුළින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ කියලයි ඒ අය කිව්වේ. විදේශීය වශයෙන් රාජ්‍ය නොවන කොටස් වගේම දෙමළ ඩයස්පෝරාව කියලා ජිනීවාවලට බලපෑම් කරන කොටස් එදා කිව්වේ ලෝකෙ කොහේවත් යුද්ධයෙන් ත්‍රස්තවාදය අවසන් කරලා නැහැ කියලයි. 2005 මම ආරක්ෂක ලේකම් තනතුර භාරගන්න අවස්ථාවේදී මේ අය මට කිව්වෙත් ඒකමයි.

අවසානයේදී වසර ගණනාවක් තිස්සේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ගෙනාපු පළාත් සභා ක්‍රමය යටතේ පළමු වතාවට උතුරු පළාත් මැතිවරණය පවා පැවැත්වූවේ අපේ රජය විසින්.

උතුරේ හමුදාවට අයත් කරගෙන තිබුණු භූමියෙන් සියයට අනූපහක්ම නිදහස් කළේ අපි විසින්. පලාලිවල අධිආරක්ෂිත කලාපය පමණයි අපට නිදහස් කරන්න බැරි වුණේ.
විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න
අපේ රණවිරුවන්ට අත්වෙලා තියෙන තත්ත්වය දැක්කාම තවදුරටත් විවේකීව ගත කිරීම සුදුසු නැහැ කියලා තේරුම් ගත්ත නිසයි අද මම තමුන්නාන්සේලා ඉදිරියට ඇවිත් ඉන්නේ.
වසර තිහක යුද්ධයක් තිබුණා. සිංහලයාට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සති තුන හතරයි කියලා ප්‍රභාකරන් කියපු කියමන විශ්වාස කරන කෙනෙක් විදියට මේ ගැන මතක් කරන එක අපේ යුතුකමක්. ඒ යුද්ධයෙන් ඔබ විඳපු දුක මෙතෙකැයි කියන්න අපට පුළුවන්කමක් නැහැ.

අද සෙබළුන්ගේ මළ මිනී ගම්වලට යන්නේ නැහැ. උතුරේ දරුවන් ළමා සොල්දාදුවන් ලෙස පැහැරගෙන යන්නේ නැහැ. අද මොනවද තියෙන්නේ කියලා ඔබේ හදවතට තට්ටු කරලා අහලා බලන්න. අද තියෙන්නෙ යුද අපරාධ චෝදනා, දඬුවම් කිරීම්, දෙමළ ජාතීන් ඇතුළු සුළු ජාතීන්ගේ ප්‍රශ්න මුවාවෙන් රට බෙදීම. එහෙනම නම් දෙවියනේ ඇයි අපි මෙහෙම කැපකිරීමක් කළේ?
අපි රටට ණය නැති හමුදාවක සාමාජිකයන් පිරිසක් මිසක් යුද අපරාධකරුවන් නෙවෙයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජේ.ආර්. ජයවර්ධන කවදාවත් බලය බෙදන්න හිටපු කෙනෙක් නෙවෙයි. එතුමා හිතුවෙ මධ්‍යගත බලවත් ධනපති රාජ්‍යයක් හදන්න. එතුමා ඇතුලත්මුදලිව ඇදලා යුද්ධය කරගෙන ගියේ යුදමය විසඳුමක් දෙන්න. නමුත් ඉන්දියාව මැදිහත් වුණා. ඔහු ඇමෙරිකාව විශ්වාසය කළත් ඇමෙරිකාව පාවා දුන්නා. ඉන්දියාවත් ඇමෙරිකාවත් අතර හොඳ සහයෝගයක් තියෙනවා. ඔවුන් අතර විරසකයක් නැහැ.

චන්ද්‍රිකා මැතිනිය වික්‍රමසිංහ මහත්තයට බැරි වෙච්ච දේ සුනාමි සහන මණ්ඩලය හරහා කරන්න උත්සාහ කළා.
දැන් මෙයාලා කරන්නේ නීත්‍යනුකූලව ලබාගත් බලය භාවිත කරමින් ගැටුමක් හදාගන්න තෙක් යම් දුරක් යනවා.
ඉන්දියාව ආවේ ව්‍යවස්ථාවක් හදන්නයි. ජේ.ආර්. මැතිතුමා සමහර ඒවට එකඟ වුණේ නැහැ. 13 වැනි සංශෝධනය ඉන්දියාවේ තියෙනවාටත් වඩා ෆෙඩරල් ව්‍යවස්ථාවක්.
මේක ජාතියේ ඉරණම තීරණය කෙරෙන කාලයක්. මේක අවසන් වන්නේ ශ්‍රී ලංකාව කියන රටේ ඉතිහාසයත් අවසන් කරලා වෙන්න පුළුවන්. මන්ත්‍රිවරුන් 76 දෙනකුගෙන් මේක බේරගන්න පුළුවන්. ඒ හින්දා මන්ත්‍රිවරුන්ට කියන්න ඕනේ පාවා දීලා ගමට එන්න එපා කියලා. මේ අපරාධය දෙස බලා ඉන්න බැරි අය ඒ අයට දඬුවම් දෙයි. මට දැන් හැටයි. එහෙම කණ්ඩායමක් හැදුණොත් මමත් ඒකට සම්බන්ධ වෙනවා. ඉස්පිරිතාලෙක බට ගහගෙන දුක්විඳිනවට වඩා ඒ වගෙ අයත් එක්ක එකතු වෙලා පාරේ මැරෙන එකත් මට සතුටක්.

මීරිගම - දිනුෂි කේ.එම්. ආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්