අධිකරණය හමුවට පැමිණ වූ වෛද්‍ය ආනන්ද සමරසේකරට ඇප

  👤  2595 readers have read this article !
By mawbima 2017-10-23

කේ.එස්. උදයකුමාර්

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ සාක්ෂි විනාශ කිරීම සහ වසන් කිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් වූ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කළේය.
ඒ අනුව සැකකාර ආනන්ද සමරසේකර මහතා රුපියල් ලක්ෂ 05ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා පරීක්ෂණවලට හා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසද සැකකරුට තරයේ අවවාද කළේය.

ඊට අමතරව අධිකරණයේ අවසරයක් නොමැතිව විදේශගත වීමට සැකකරුට තහනම් කෙරිණි.
වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ සාක්ෂි වසන් කිරීමේ සහ සාක්ෂි විනාශ කිරීමේ කටයුතුවලට සම්බන්ධ වී ඇති නිසා වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා නඩුවේ තුන්වැනි සැකකරු ලෙස නම් කරන ලෙසත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත්, රහස් පොලිසිය මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
එම ඉල්ලීමට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීමට අද මහෙස්ත්‍රාත්වරයා සූදානම් වූ අවස්ථාවේ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා සිය නීතිඥවරුන් මඟින් අධිකරණයට ඉදිරිපත් විය.
ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ දණ්ඩ නීති සංග්‍රහයේ 198 වැනි වගන්තිය යටතේ පොලිසිය සැකකරුට එරෙහිව කරුණු වාර්තා කර ඇති බවත්, ඒ අනුව සැකකරුට ඇප ලබාදීමට අධිකරණයට බලය තිබෙන බවත්ය.

රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බව ප්‍රකාශ කළේය.
සැකකරුට ලබන මස 08 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්