ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන්ගෙන් ප්‍රකාශයක් ගන්න නියෝගයක් ඉල්ලයි

  👤  2652 readers have read this article !
By mawbima 2017-10-23

අමිල අබේරත්න

පසුගිය රජය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කරනු ලැබූ "ගිං නිල්වලා ව්‍යාපෘතිය" සඳහා චීන සමාගමකට ගෙවීමට පොරොන්දු වී එම මුදල් 4.35%ක් ලෙස ගෙවීමට අනුමැතිය ලබාදී ව්‍යාපෘතිය ආරම්භ නොකිරීමට සලස්වා වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන අයිවන් ද සිල්වා යන අය විසින් රුපියල් මිලියන 4012ක මුදලක් රජයට පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ තොරතුරු දිවුරුම් ප්‍රකාශයක් මඟින් මෙරට ව්‍යාපාරිකයකු වන තිරුකුමාර් නඩේෂන් නමැත්තකුගෙන් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ප්‍රතික්ෂේප කළාය.

මුදල් විශුද්ධිකරණ සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට එය පටහැනි වීමත් නීතිමය බලතල භාවිත කරමින් දිවුරුම් ප්‍රකාශ මඟින් විමර්ශනයට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම යුක්තියට අනුකූල නොවීමත් මත මහෙස්ත්‍රාත්වරිය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ වගන්තිවලට අනුව දිවුරුම් ප්‍රකාශ මඟින් විමර්ශනයට අදාළ තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ගිං නිල්වලා ව්‍යාපෘතියට අදාළව සිදුවූ රුපියල් මිලියන 4012ක මුදල් අක්‍රමිකතාව හරහා මුදල් කොටසක් තිරුකුමාර් නඩේෂන් නමැති එම ව්‍යාපාරිකයා කොටස් හිමිකාරිත්වය දරන හොංකොංවල පිහිටි රෙඩ් රුක් ඉන්වෙස්ට්මන්ට්ස් නමැති ආයතනයට ගොස් ඇත්දැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ලැබී ඇති තොරතුරු අනුව මේ වන විට විමර්ශන කටයුතු සිදුකරමින් පවතින අතර ඔවුන් දිවුරුම් ප්‍රකාශයක් මඟින් තොරතුරු ලබා ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම විමර්ශන කටයුතුවලට අදාළවය.

විමර්ශන පවත්වා වාර්තා කරන තුරු නඩුව බහා තබන බව කොටුව මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්