ආණ්ඩුව විවේචනය කරන ඒකාබද්ධයේ මන්ත්‍රිවරුන්ට එළව - එළවා පහරදීම නැවැත්වීමට මැදිහත් වෙන්න

  👤  2641 readers have read this article !
By mawbima 2017-10-23

ආණ්ඩුව විවේචනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට එළව එළවා පහරදීම නැවැත්වීමට මැදිහත් වන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

පොලිස් රාජ්‍ය සංකල්පය යටතේ සෑම කෙනකුටම සාධාරණයක් ඉෂ්ට වන ආකාරයට නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩහරින ලෙසද මන්ත්‍රිවරයා කියා සිටී.
හෙතෙම මේ බව පැවැසුවේ ඊයේ (22දා) පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද කීය.

අපේ රටේ සහ ජාත්‍යන්තර වශයෙන් දැවැන්තම ආන්දෝලනයට ලක් වූ මහ බැංකු බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීමේ කාලය අවසන් වී තිබෙනවා.
පුවත්පත්වල සඳහන් වෙනවා අනිකාට, ඥාතීන්ට පොලිස් ආරක්ෂාව. හේතුව ලෙස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පිළිබඳව මුදල් විශුද්ධිකරණයට අදාළ විශාල චෝදනාව එල්ල කළ අනිකාට හා පවුලේ අයට විදෙස්ගත වෙන්නත් මෙරට ඉන්න අනෙක් ඥාතීන්ට පොලිස් ආරක්ෂාව දෙන්නත් රජයට සිද්ධ වෙලා තියෙනවා. රටේ හිටපු මුදල් භාර ඇමැතිවරයාට සහ හිටපු විදේශ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ අයට මරණීය තර්ජන එල්ල කළා කියලා ඒකාබද්ධ විපක්ෂයේ අපි කිව්වා නම් අද අපි කොහෙද ඉන්නේ.
අනිකා අධ්‍යක්ෂ ධුරය දැරූ සමාගමේ ඇයට හිමි කොටස් විකුණයි කියලා තවත් පුවත් පත් වාර්තා කරලා තියෙනවා. ඒ කියන්නේ ඇයට හිමි දේපළ පවා තර්ජනයට ලක්වෙලා. මෙහෙම දෙයක් ලංකා ඉතිහාසයේ වෙලා නැති නිසා බැඳුම්කර කොමිසම හරහා රටට ජාත්‍යන්තරයට ඉතිරි වුණු ප්‍රශ්න ගණනාවක් තියෙනවා.

මේ හෙළිදරව් වූ කරුණු අනුව අවසන් භාගයේදී කොමිසම සඳහන් කළා තවත් සාක්ෂි ගණනාවක් කැඳවන්න තිබෙන බව. එසේ තවත් සාක්ෂි කැඳවන්න තිබියදී කොමිසමේ සාක්ෂි විමසීම අවසන් කිරීම බාගයට පිලිස්සූ කේක් ගෙඩියකට සමාන බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර තියෙනවා.
ඒ අතර අගමැතිවරයාගේ නමත් රවි කරුණානායක මුදල් ඇමැතිවරයාගේ නමත් සඳහන් වූ අවස්ථාවේ අවශ්‍ය නම් මමත් ඇවිත් සාක්ෂි දෙන්නම් කියලා නිවේදනයක් නිකුත් කළා. සාක්ෂි විමසීමේ කාලය අවසන් වී තිබීම නිසා ඒ සාක්ෂිය ලිඛිතව ලබා ගන්නයි සූදානම තියෙන්නේ.
මේ මහා බැඳුම්කර මංකොල්ලය රටට ලෝකයට හෙළි වුණේ් ඒකාබද්ධ විපක්ෂය නිසයි. ඒකාබද්ධ විපක්ෂය ඇති වීමට පෙර විපක්ෂ නායක ලෙස නිමල් සිරිපාල ද සිල්වා සිටින අවස්ථාවේ රටට ලෝකයට දැනෙන ලෙස මහ බැංකුව වැටලුවේ ඒ විපක්ෂයයි.

ඒ කාර්යය වෙන කිසිම දේශපාලන සංවිධානයක් හෝ වෙනත් සංවිධානයක් කළේ නැහැ.
ඊට පසුව ඩිව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව රැස් වුණා. කෝප් කමිටුවෙන් මේ පිළිබඳව විමර්ශනයක් කරලා හෙට වාර්තාව ඉදිරිපත් වෙන්න නියමිත නම් අද පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඊට පස්සේ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ වාර්තාව පදනම් කර ගෙන එවැනි වාර්තාවක් ඉදිරිපත් වුණා. අපි බොහොම හොඳට දැනගෙන හිටියා අවශ්‍ය බොහොම කරුණු මෙහි සඟවා තිබෙන බව. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා මේ පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන්න කියලා. ඒ අනුව ජනාධිපතිතුමා කමිටුව පත්කරලා කිහිපවිටක්ම කමිටුවේ කාලය දිගු කළා. ඒ පිළිබඳ අපි ස්තූතිවන්ත වෙනවා. නමුත් නොනිමි කාර්යයක් ලෙසයි තියෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා බරපතළ මූල්‍ය වංචාවක් පිළිබඳ වැඩි ලෙස ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන බවට අපි කමිටුවට චෝදනා කරනවා. එතුමා මුදල් ඇමැතිවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ එතුමාට එරෙහිව මේ රටේ විදේශ විනිමය වංචාවක් පිළිබඳ නඩුවක් විභාග වෙමින් පැවැතියා. ඒ නඩුවේදී විනිසුරුවරියක් විශ්‍රාම යන දිනයට පෙර දිනයේ තීන්දුවක් ලබා දුන්නා අධිචෝදනා පත්‍රවල වැරැදි සහගත බව නිසා ඒ නඩුවෙන් රවි කරුණානායක ඇතුළු පිරිස නිදහස් කරන බව. අද වෙනතුරු නි‍ෙදාස් කොට නිදහස් කර නැහැ.

නීතිපති දෙපාර්තමේන්තුව නැවත ඒ නඩුව පැවරීමක් කරලාත් නැහැ. පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට මේ සම්බන්ධයෙන් දිය හැකි පිළිතුර කුමක්ද?
රවි හිටපු ඇමැතිතුමා යටතේ තමයි ලිට්රෝ ගෑස් සමාගම හා ලොතරැයි මණ්ඩලය තිබුණේ. ලොතරැයි සම්බන්ධයෙන් වූ වංචාවක් අපි හෙළිදරව් කළාම එතුමා පාර්ලිමේන්තුවේදී කියනවා ජාතික ලොතරැයි මණ්ඩලයට එරෙහිව නැඟූ චෝදනා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. එතනින් නතර නොවුණ එතුමා මට විරුද්ධව ජාතික ලොතරැයි මණ්ඩලය ලවා පැමිණිල්ලක් ඉදිරිපත් කෙරෙව්වා මහජනයා නොමඟ යවන බවට. පාර්ලිමේන්තු දිනයේදී වංචා විමර්ශන ඒකකයට ඇවිත් සාක්ෂි දෙන්නලු. වංචාව හෙළිදරව් කරපු මම වංචාකාරයෙක් වගෙයි පේන්නේ. මම කතානායකතුමාට ගිහින් කියලයි බේරිලා ඉන්නේ. මහජන නියෝජිතයන්ගේ ආරක්ෂාව භාරව සිටින්නේ එතුමා.

ඉෂාරා සිල්වා ඡායා - තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්