මහානාම සමරවීර වැන්නන්ගේ වටිනාකම එන්න එන්නම වැඩි වෙනවා

  👤  2627 readers have read this article !
By mawbima 2017-10-23

පිදිය යුත්තන් පිදීම අද සමාජයේ බොහෝ විරල දෙයක්. දුර්ලභ ගුණාංග තියෙන මහත්මා දේශපාලනයක් කරපු දෑත පිරිසුදුව තබාගත් මහජනතාව පිළිබඳ හැඟීමෙන් කටයුතු කළ පුද්ගලයෙක්. ඔහු ධනවතාටත් දුප්පතාටත්, ප්‍රබලයාටත් දුබලයාටත් එකසේ සමාජයේ විෂමතාවන්ට විරුද්ධව කටයුතු කළ පුද්ගලයෙක්.
ඔහු වැන්නවුන්ගේ වටිනාකම එන්න එන්නම වැඩි වෙනවා යැයි කතානායක කරු ජයසූරිය මහතා කීය.
ඒ මහතා මේ බව පැවැසුවේ මහානාම සමරවීර ජන්ම සියවස් සැමරුම් උළෙලෙහි සමාප්තිය වෙනුවෙන් මාතර පැරැණි ඕලන්ද කොටුව පරිශ්‍රයේ පැවැති උත්සවයේදීය.
කරු ජයසූරිය මහතා මෙසේද පැවැසීය.

එතුමා මාතරට කරපු සේවාවන් විශාලයි. එතුමා ජීවත් වුණේ මහජනතාව සමඟයි. එතුමා ජනතාවට කළ සේවාව මෙන්ම එතුමා ජනතාව වෙනුවෙන් පෙනී සිටි ආකාරය පිළිබඳවත් අප දන්නවා. මාතර දිස්ත්‍රික්කයේ ජනතාව තුළ එතුමා පිළිබඳව පවතින ආදරයත්, ගෞරවයත් අපට මේ උත්සවයේදී වැටහුණා.

කොමියුනිස්ට් පක්‍ෂයෙන් තරග කරල මාතර ආසනය ජයග්‍රහණය කරමින් 1952 දී පාර්ලිමේන්තුවට ඇතුළු වුණා. ඊට පස්සෙ මහජන එක්සත් පෙරමුණෙන් තරග කරල වැඩි ඡන්ද එක්දහස් එකසිය දහ අටක්, ඒ දවස්වල විශාල ගණනක් ජයග්‍රහණය කරල පාර්ලිමේන්තුවට එතුමා පැමිණියා. එතුමා ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයත්, 1960 ජූලි මැතිවරණයේදී පළාත් පාලන හා නිවාස අමාත්‍යවරයා ලෙසත් තේරී පත් වුණා. එච්. ජී. සිරිසේන මැතිතුමා කිව්වා නිවාසයක් නැති නිවාස ඇමැතිතුමා කියල. ඒ ගැන මම දැනගත්තෙත් පළමු වතාවට. ඒ අනුව තමන්ට නිවෙසක් හදා ගන්නෙ නැතිව අනුන්ට නිවාස හදල දුන්න එතුමගේ අවංක ජීවිතය ගැන පැහැදිලියි.

එතුමා නිදහස් මතධාරියෙක්. සමහර අවස්ථාවල රජය විවේචනය කළා. එතුමා එදා බලාපොරොත්තු වුණේ නිදහස් ස්වාධීන මාධ්‍යක්.
මාධ්‍යට අත ගැසූ අවස්ථාවේදී එතුමා හෘද සාක්‍ෂියට කන්දීල ආණ්ඩුවෙන් ඉවත් වුණා. එතුමා කොහේ හරි ඉන්නව නම් සන්තෝස වෙනව ඇති අද මේ රටේ ජනතාව මේ මාධ්‍ය නිදහස උපරිම ආකාරයෙන් භුක්ති විඳින ආකාරය පිළිබඳව.

මංගල සමරවීර මැතිතුමා කෙරෙහි මේ රටේ ලොකු විශ්වාසයක් තියෙනවා. විශාල බලාපොරොත්තුවක් තියෙනවා. තමන්ගෙ පියා වගේම එතුමාත් හෘද සාක්‍ෂියට අනුව දේශපාලනය කරනවා.

මාතර - උදය කුමාර රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්