මුහුදුබත් වූ ඉන්දීය වෙළෙඳ නැවේ හත් දෙනකුගේ දිවි බේරේ

  👤  2625 readers have read this article !
By mawbima 2017-10-23

වංචාවල _ රුවන් නානායක්කාර
අක්මීමන - තේජා සිංහබාහු

ඉන්දියාවේ සිට මාලදිවයින දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබියදී හදිසියේ ඇතිවූ කාර්මික
දෝෂයක් නිසා මුහුදුබත් වූ වෙළෙඳ නෞකාවේ සිටි හත් දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය මහ මුහුදේ පාවෙමින් සිටියදී නාවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට රැගෙන එනු ලැබීය.

ඉකුත් 20 වැනි දින පස්වරුවේ දකුණු මුහුදු තීරයේ ජීවිතාරක්ෂක බෝට්ටුවක නාවිකයන් පිරිසක් පාවෙමින් සිටින බව බේරුවල "සහන් පුතා" නමැති බහුදින ධීවර යාත්‍රාවෙන් නාවික හමුදාව වෙත දැනුම් දී ඇත. ඒ අනුව, පී 490 වේග ප්‍රහාරක යාත්‍රාවක් වහාම එම මුහුදු ප්‍රදේශයට පිටත්කර යැවීමට නාවික හමුදා මූලස්ථානය කටයුතු කර තිබිණි.
අනතුරට පත් නෞකාවේ කාර්ය මණ්ඩලය පෙරේදා (21දා) උදේ යාත්‍රාව ගාල්ල වරායට රැගෙන එනු ලැබීය. අනතුරට ලක්වූ වෙළෙඳ නෞකාවේ සිටි සියලු දෙනා සුවයෙන් පසුවන අතර, ඔවුන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය වෙත භාර දීමට කටයුතු සූදානම් කර ඇති බැව් නාවික හමුදාව පවසයි.

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 68ක් පමණ දකුණු දෙසින් මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඉන්දියාවට අයත් "මරියා ඉරුදයා" නමැති මධ්‍යම ප්‍රමාණයේ වෙළෙඳ නෞකාවකි. දින කිහිපයකට පෙර මෙම නෞකාව අනතුරකට ලක්ව ඇති බව මාලදිවයින් රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව ගාලු මුහුදු තීරයේ මුර සංචාරයේ නිරත නෞකාවන් වෙත මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර නෞකාවන් වෙත මේ බව නාවික හමුදා මූලස්ථානය විසින් දැනුම් දී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්