මහේෂ්වරන්ගේ ඇඟිල්ලක් කැඩී විසිවෙයි

  👤  1829 readers have read this article !
By mawbima 2017-10-22

පනාගොඩ යුද හමුදා කඳවුරෙන් පලාගිය තම්බිපිල්ලේ මහේශ්වරන් දෙසතියක් ගත වෙන්නටත් පෙර කැලණියෙන් අල්ලා ගත හැකි වීම ආරක්ෂක අංශවල අමන්දානන්දයට හේතු විය. පනාගොඩින් ඔහු පැනයෑම හේතුවෙන් යුද්ධ හමුදාවද අසීරුතාවට පත්ව සිටියේය. මහේශ්වරන් අල්ලා ගැනීමේ ගෞරවය හිමි වූයේ පෑලියගොඩ පොලිසියේ අපරාධ අංශයටය.

ත්‍රස්ත විමර්ශන අංශයට ගෙන යන ලද මහේශ්වරන්ට අමුතුවෙන් කියන්නට තිබුණේ රේල් පාරේ පැමිණි ආකාරය සහ ගඟ අසබඩ කාමරයේ නවාතැන් ගත් බව පමණි. අනෙකුත් සියලු දේවල් පොලිසිය ප්‍රථමයෙන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුගෙන් ප්‍රශ්න කර සටහන් කරගෙන තිබිණි.

අධිකරණයට ඉදිරිපත් කළ මහේශ්වරන් වැලිකඩ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඔහු පනාගොඩින් පලාගිය පුවතට විශාල ප්‍රසිද්ධියක් ලබාදුන් පුවත්පත් ඔහු නැවත අත්අඩංගුවට පත්වීම ගැනත් එවැනිම ලොකු ප්‍රසිද්ධියක් දී තිබිණි. එහි විශේෂත්වය වූයේ එතෙක් ඔහු භාවිත කළ නමේ තම්බිපිල්ලේ කෑල්ල හැලී ඒ වෙනුවට පනාගොඩ කියන වචනය ඇතුළු වීමය. විශේෂයෙන් දෙමළ පුවත්පත් කිසිදු පැකිළීමකින් තොරව පනාගොඩ මහේශ්වරන් යන්න යොදා තිබෙනු දැකිය හැකිවිය. පුදුමය නම් එතැන් පටන් සියලුම මාධ්‍ය ආයතන පමණක් නොව රාජ්‍ය ආයතනද මහේශ්වරන් හැඳින්වීමේදී 'පනාගොඩ මහේශ්වරන්' යන්න භාවිත කරන්නට වීමය.

පනාගොඩ මහේශ්වරන් වැලිකඩ සිරගෙදරට ඇතුළු කරන විට එහි දෙමළ සටන්කාමී සංවිධානවලට අයත් සැකකරුවන් සියයකට ආසන්න පිරිසක් රඳවා සිටියහ. වැලිකඩ ඕ3, ඛ්3, ච්3 යන වාට්ටු ඔවුන් වෙනුවෙන්ම වෙන්කර තිබිණි. එසේ රඳවනු ලැබූ වැඩි පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූවන්ය. තංගතුරෙයි, කුට්ටමනී, තේවන්, ජෙගන් අත්අඩංගුවට ගෙන තිබුණේ 1981 මාර්තු 5 සිදුවූ යාපනේ නිර්වේලි බැංකු කොල්ලය සම්බන්ධයෙනි.

බැංකු කොල්ලය සිදු කොට ඉන්දියාවට පලා යෑම පිණිස පේදුරුතුඩුව වෙරළේ සිටියදී 1981 මාර්තු 25 දා රාත්‍රියේ ඔවුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 1983 පෙබරවාරි 24 වැනිදා අධිකරණය විසින් ඔවුන්ට මරණ දඬුවම් නියම කරන ලදී. එම තීන්දුවට එරෙහි ඇපෑලක් ඉදිරිපත් කිරීමෙන් පසු අභියාචනය විභාගයට ගන්නා තුරු ඔවුහු එසේ රඳවනු ලැබ සිටියහ. පනාගොඩ හුදෙකලාව සන්ජන් එකක වැසී සිටිනවාට වඩා බන්ධනාගාරයක රැකවරණය යටතේ පිරිසක් සමඟ සිරගත වීම ජීවිතාරක්ෂාව අතින් වැදගත් යැයි මහේශ්වරන් කල්පනා කළේය. එවකට බන්ධනාගාර කොමසාරිස් වශයෙන් සිටියේ ජේ. පී. දෙල්ගොඩ මහතාය. සී.ටී. ජෑන්ස් නියෝජ්‍ය කොමසාරිස් වශයෙන්ද, ඒ ලියෝද සිල්වා වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා වශයෙන්ද කටයුතු කළේය.

උතුරු නැඟෙනහිර සන්නද්ධ සංවිධාන ගණනාවක් ඒ වනවිට ක්‍රියාත්මකව පැවතියේය. දෙමළ එක්සත් පෙරමුණ පාර්ලිමේන්තුවෙන් පිටමං කර තිබූ අතර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය ලත් තැනම ලොප් වෙමින් බෙදුම්වාදී සටන්කාමී සංවිධාන වර්ධනය වෙමින් පැවතිණි.

ඊට සමාන්තරව දකුණේ ජාතිවාදී උද්ඝෝෂණ රැල්ලක්ද වර්ධනය වෙමින් තිබූ අතර ආණ්ඩුවේ කර්මාන්ත ඇමැතිවරයා වූ සිරිල් මැතිව් ප්‍රසිද්ධියේම ඊට නායකත්වය දුන්නේය. මේ අතර 1983 ජූලි 23 වැනිදා සන්නද්ධ හමුදාවේ නිලධාරීන්ද ඇතුළු හමුදා සාමාජිකයන් 13 දෙනකු යාපනේදී බිම් බෝම්බයකට හසුව මරණයට පත්වීමේ අවාසනාවන්ත සිදුවීම වාර්තා විය. අපකීර්තිමත් කළු ජූලිය බොරැල්ල කනත්තෙන් ආරම්භ විය. කොළඹ නගරය ගිනි ගෙන දැවෙන්නට වූයේය. එය ළැව් ගින්නක් මෙන් දිවයිනේ අනෙකුත් ප්‍රදේශ කරා පැතිර ගියේය. ජූලි 24 වැනිදා උදේ වැලිකඩ බන්ධනාගාරය ගුප්ත නිහඬ බවක ගිලී තිබිණි. එහෙත් පෙ.ව. 10.00 වනවිට එම නිහඬතාව බෝම්බයක් මෙන් පුපුරා ගියේය.
සිංහල රැඳවියන් සිටි චැපල් වාට්ටුවේ ‍ෙදාරවල් හැර දමනු ලැබීය. පොලු මුගුරු රැගත් 500ක් පමණ සිරකරුවෝ දමිළ රැඳවියන් සිටි ඕ3, ඛ්3 ශාලාවල් විවෘත කොට රැඳවියන් එළියට ගෙන දර පොලුවලින් පහර දෙන්නට වූහ. බන්ධනාගාරය යුද පිටියක් බවට පත්විය. තංගතුරෙයි, තේවන්, කුට්ටිමනී, ජෙගන් ඇතුළු දෙමළ රැඳවියන් 35 දෙනකුගේ චප්ප කරන ලද මළ සිරුරු සීසීකඩ විසිර තිබූ අතර ලේ දහරාවන් කානුවලට ගලා යමින් තිබිණි. මස් වැදලි සතර දිග් භාගයේ බිත්තිවල ඇලී තිබෙනු දැකිය හැකිවිය. යුද හමුදාව බන්ධනාගාරය වටා රැකවල්ලා සිටියහ.

පනාගොඩ මහේශ්වරන් රඳවා සිටි ච්3 මැදිරිය සහ වාට්ටු කැරලිකරුවන්ට ගොදුරු නොවූයෙන් ඔහුගේ ජීවිතය බේරී තිබිණි. එම සිරමැදිරි උඩුමහලේ වීමද ඔවුන්ගේ දිවි රැකෙන්නට හේතුවක් විය. දෙමළ රැඳවියන් 62 දෙනකුගෙන් 27 දෙනකුගේ දිවි රැකී තිබිණි. 1983 ජූලි 25 වැනිදා පස්වරුවේ බොරැල්ල කනත්තට බැකෝ යන්ත්‍රයක් රැගෙන පැමිණි හමුදාව දැවැන්ත වළවල් දෙකක් හාරනු ලැබීය. එදින සන්ධ්‍යාවේ ටිපර් රථයක පටවාගෙන එනු ලැබූ මළ සිරුරු 35ක් එක් වළක් තුළ දමා වසා දමන ලදී.
ජූලි 26 වැනිදා බන්ධනාගාර අධිකාරි ලියෝ සිල්වා හමුවීමට අවසර ලබාගත් පනාගොඩ මහේශ්වරන්, පරන්තන් රාජරත්නම් සහ ඩග්ලස් දේවානන්දා දෙමළ රැඳවියන්ගේ ආරක්ෂාව ගැන තීරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටියහ. එහෙත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වීමක් සිදුවූයේ නැත. ජූලි 27දා රාත්‍රිය එළැඹියේය. ජූලි 27 වැනිදා අලුයම 1.00ට පනාගොඩ මහේශ්වරන් ඇතුළු දෙමළ රැඳවියන් සිටි මැදිරි කරා පැමිණි බන්ධනාගාර නිලධාරීහු සිර මැදිරි විවෘත කොට රැඳවියන් 18 දෙනකු බිම් මහලේ පිහිටි තරුණ වරදකරුවන්ගේ සිර මැදිරි කරා ගෙන ගියේය.

‍ෙදාස්තර සෝමසුන්දරම්, පනාගොඩ මහේශ්වරන් ඇතුළු රැඳවියන් 9 දෙනකු උඩුමහලේ පිහිටි සිර මැදිරියක ඉතිරිවිය. උදෑසන 7.30 පමණ වෙද්දී පහත මාලයේ ඝෝෂාව ඇසෙන්නට විය. විලාප හඬ මැද පනාගොඩ මහේශ්වරන් ඇතුළු පිරිස බලා සිටියේ තමන් මරා දමන්නට පැමිණෙන පිරිසට මුහුණ දී ජීවිතය බේරාගන්නට ගත හැකි අවසන් පියවරට සූදානමිණි. යකඩ පොලු ආදියෙන් සන්නද්ධ වූ මැර පිරිස එක පොදියට උඩුමහලට පැමිණියෝය.

මැදිරියෙහි අගුලට පහර දෙන පිරිසට ඔවුහු තමන් අත වූ මුගුරුවලින් පහර දුන්හ. පනාගොඩ මහේශ්වරන් දෑතේ ශක්තිය යොදා සිර මැදිරියේ යකඩ ‍ෙදාර විවර කළ නොහැකි වනසේ අල්ලාගෙන සිටියේය. ඩග්ලස් දේවානන්දා මැදිරියට සමීප වන අයට පෙරළා පහර දුන්නේය. යකඩ ‍ෙදාර විවර කරන්නට නොහැකි වනසේ අල්ලා ගෙන සිටි පනාගොඩ මහේශ්වරන්ගේ අතට එල්ලවූ මුගුරු පහරකින් ඇඟිලි පුරුකක් කැඩී ඉවතට විසිවී ගියේය. එහෙත් ඔහු ‍ෙදාර අත්හළේ නැත. සාමයෙන් කතා කරන්නට ‍ෙදාරටුවට ළං වූ ‍ෙදාස්තර සෝමසුන්දරම්ගේ හිස දෙපළු වූයේය. සිර මැදිරියේ ‍ෙදාර ගැලවී යන්නට මොහොතක් තිබියදී යුද හමුදා කොමාන්ඩෝ බළකායේ සෙබළු එහි කඩා වැදුණෙන් මැර පිරිස පලා ගියෝය. එදින 19 දෙනකුගේ මළ සිරුරු වැලිකඩ බන්ධනාගාරයේ තැන තැන විසිර තිබෙනු දක්නට ලැබිණි. මරණ පරීක්ෂණවලින් පසුව 27 සන්ධ්‍යාවේ මළ සිරුරු 19ක් බොරැල්ල කනත්තේ කල් ඇතිව කපා තිබූ ඉතිරි වළට දමා වසන ලදී.

පනාගොඩ මහේශ්වරන් ඇතුළු ඉතිරි වූ සිරකරුවන් 8 දෙනා එදිනම සන්ධ්‍යා භාගයේ ගුවන් මඟින් මඩකළපුව බන්ධනාගාරයට ගෙන යනු ලැබීය. පනාගොඩ මහේශ්වරන් එහි වැඩි කලක් සිටියේ නැත. දෙවැනි පලායෑම සැලසුම් කෙරිණි. එහි රඳවා සිටි යාපනේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් වූ නිත්‍යානන්දන් මහතා සහ නිර්මලා නිත්‍යානන්දන් මහත්මියද ඇතුළු සිරකරුවන් පිරිස එක් රාත්‍රියක බෝට්ටු මඟින් පැමිණි සටන්කාමීන් විසින් මුහුදු මඟින් යාපනයට රැගෙන ගියේ මඩකළපු බන්ධනාගාරය යටත් කර ගැනීමෙනි. එසේ පලායෑමෙන් කලකට පසු තමිල් ඊළාම් හමුදාව විසිරුවා හළ පනාගොඩ මහේශ්වරන් යුරෝපා රටකට ගියේය. හෙදියකගේ වෙස්ගත් නිර්මලාද කටුනායක ගුවන්තොටුපොළින්ම ඉන්දියාවට ගියාය.

උදේනි සමන් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්