බුද්ධිමය දේපොළ සොරාගත් කම්පාවෙන්ම ගුරු සටනේ රජ්ජුරුවෝ අවසන් හුස්ම හෙළයි

  👤  1840 readers have read this article !
By mawbima 2017-10-22

තාත්තාට අනන්‍ය වූ කැස්සක් අප දන්නා කාලයේ පටන් තිබිණි. ඔහු කැස්සේ උගුරු ඇටයට පහළින් මහපට ඇඟිල්ල තබාය. සෙම ගතිය ඔහු පීඩාවට පත්කළ රෝගී තත්ත්වයක් විය. කාලය වේගයෙන් ගෙවී ගිය අතර බුලත්විට අඩුවක් නොවීය. විවිධ මිතුරන්ගේ යොමු කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස සිංහල බෙහෙත් ද විවිධ අයගෙන් ලබා ගත්තේය. දිනක් රෝග තත්ත්වය තරමක් උත්සන්න වූ හේතුවෙන් ගාල්ල සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් සොයා ගියේ මාද කැටුවය. තාත්තා රෝගය ගැන නිධාන කතාව කීවේය. සිංහල බෙහෙත් බිව් බවද කීවේය. වෛද්‍යවරයාට එම කතාවේ මුල් කොටස් හසු නොවුණද සිංහල බෙහෙත් බිව් කතාව අවධානයට හසු විය. ඔහු ගත් කටටම ඇසුවේ "ඉතින් සිංහල බෙහෙත්ම බොන්න තිබුණානේ මොකටද මෙහෙ ආවේ" යනුවෙනි. රෝගී තාත්තා එය නම් ඉවසුවේ නැත. "මට හොඳයි කියා සිතුණ නිසා සිංහල බෙහෙත් බිව්වා. දැන් හොඳ නැතැයි කියා සිතුණ නිසා ඔහේ ළඟට ආවා" යැයි උත්තර දුන්නේය. මාතර ප්‍රදේශයේ පුද්ගලයකු වූ නිසා තාත්තාගේ භාෂා ව්‍යවහාරය "ඔහේ" යන වදන බොහෝ විට යෙදුණ වදනක් විය. එහෙත් වෛද්‍යවරයා එවැනි වදනක් අපේක්ෂා නොකළේය. "එහෙනම් මට දැන් කරන්න දෙයක් නෑ" විශේෂඥවරයාගේ පිළිතුර විය. එම ප්‍රකාශය තුළ තාත්තා අසරණ වූවා සේම රෝගය පිළිබඳ අනතුර අපේ සිත් තුළටද කා වැදුණි. මේ අතර අහඹු ලෙස විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා හමුවීමත් ප්‍රතිකාර නොමිලයේම ලැබීමත් තාත්තාගේ නොමඳ සතුටට සේම මානසික සුවයටත් විශාල බලපෑමක් විය.

එදා යතුරුපැදියේ නැඟී තාත්තා මා සමඟ කරාපිටිය මහ රෝහලට ගිය අයුරු මට මතක් කර දෙන්නේ සියුම් වේදනාවකට මා පත් කරමිනි. ඉතා ඉක්මනින් ප්‍රතිකාර ලැබ ගෙදර යෑම ඔහුගේ අපේක්ෂාව විය. ශ්වසනය අපහසු අවස්ථාවන්හිදී ඔක්සිජන් ටැංකියක් ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රමයක් සම්පාදනයට උත්සාහ කරන බවත් නාමල් ගමගේ මහතා කිවූ බවත් මා සමඟ ප්‍රකාශ කළේ සතුටිනි. ශ්වසන අපහසුතාවයෙන් පෙළුණු ඔහු ඇතුළත් කළේ වෛද්‍ය නාමල් ගමගේ මහතාගේ වාට්ටුවට නම් නොවේ. අදාළ ටිකට් පතද රැගෙන තාත්තාත් මාත් වාට්ටුවට ගියේ පා ගමනෙනි. තාත්තා විඩාව නිසා අවස්ථා කිහිපයක් මඟ නැවතී විඩාහළ අයුරු මට මතකය. වාට්ටුවට ගිය අපට බොහෝ වේලා බංකුවකට වී බලා සිටීමට සිදු වූ බවත් සාමාන්‍ය රෝගියකුට ලැබෙන සැලකිල්ලේ නියම ස්වභාවය අත්විඳින්නට ලැබුණු බවත් සිහිපත් කරමි. කෙසේ වුවද අටට පමණ ඇතුළත් කළ තාත්තා පරීක්ෂා කරන විට දහය හමාරත් පසුවිය. එතෙක් ඉතා අපහසුවෙන් බංකුවක් මත සිටි තාත්තාට ඇඳක් ලබා ගැනීමට හැකිවූයේ තවත් පැයකට පමණ පසුවය. රෝහලේ ඉතා අපිරිසුදු පසුපස කොරිඩෝවක ලද ඇඳෙහි මෙට්ටය අග රඳවා තිබූයේ තනි ඇඳ පොල්ලකිනි. සැබවින්ම එහි රෝගියකු සැතපුණේ නම් නවතින්නේ ඇඳ පල්ලේය. මෙහිදී වාට්ටු සේවකයකුගේ උදව්වෙන් යම්තම් ඇඳ පොල්ලක් ලබා ගත්තේ කිහිප වරක් ඔහු පසුපස යෑමේ ප්‍රතිඵලයක් ලෙසින්ය.

තාත්තා එදින රෝහලට පැමිණෙන බව දන්නා නාමල් ගමගේ මහතා අපේ නිවෙසට කතා කොට අප රෝහලට ඇතුළත් වී ඇති බැව්දැන දහවලදී වාට්ටුවට පැමිණීමත් තාත්තාගේ ඇඳ අසලට ගොස් ඔහු සමඟ කතා කිරීමත් හේතුවෙන් තාත්තා පිළිබඳව වාට්ටුවේ අවධානය යොමු වූ ආකාරය තාත්තා සිහිපත් කළේ "ඩොක්ටර්ගේ ඥාතියෙක්ද?" යනුවෙන් සමහර වෛද්‍යවරුන් හා හෙදියන් විමසූ බව අවඥාවෙන් යුක්තව සිහිපත් කිරීමෙනි.

"මම අතන හිටියා නම් මෙලහටත් වළපල්ලට ගිහින්" හෘද රෝග සැත්කම් ඒකකයට ස්ථාන මාරුවක් ලැබ පැමිණි තාත්තා සිහිපත් කළේ සොම්නසිනි. එය අපායේ සිට නිවනට පැමිණීමක් ලෙස තාත්තා හැඳින්වීය. ඉතා පිරිසිදු පරිශ්‍රයක කාරුණික සත්කාර නොමඳව හිමි වීමේ ප්‍රතිඵලය කෙතරම්ද යන්න එම ඒකකයේ අදද පවතින පියසේන කහඳගමගේ අනුස්මරණ පුස්තකාලය සාක්ෂි දෙනු ඇත.

මාසයකට ආසන්න කාලයක් තාත්තා ප්‍රතිකාර ලැබුවද ඔහු ක්‍රම ක්‍රමයෙන් දුර්වල විය. වරින් වර ශ්වසන පහසුව උදෙසා නෙබියුලයිස් කරවීමට අපට සිදුවිය.
මල්ලීත් මමත් තාත්තා අසල මාරුවෙන් මාරුවට ගැවසුණ අතර කහඳගමගේ මහතා ගිලන්ව රෝහලේ බව දන්වමින් පුවත්පතක වාර්තා වීම ඔහුගේ මිතුරන් දැනුවත් කළ පුවතක් විය. දස දෙසින් තාත්තාගේ හිත මිතුරන් තාත්තා බැලීමට වැල නොකැඩී ආවෙන් කතා බහ කිරීම අඩු කරන ලෙස වෛද්‍ය උපදෙස්ද ලබා දෙන ලදී. ඒ මන්දයත් කතාව පවා ඔහු විඩාවට පත් කළ හෙයිනි. ඔහු සැබවින්ම ඉපසූ ධනය මිතුරන්ම විය. එබැවින් රෝහලට පැමිණි පිරිස පිළිබඳව ආදරයෙන් සිහිපත් කරමින් පැමිණි අයගේ නාම ලේඛනයක්ද මා අතට රාත්‍රියේදී පත් කළේය. සමහර විට පැමිණි අය කවුදැයි ලියන්නට සිදු වූයේ මටය. රෝගියෙකු වන කවරෙක් වේවා තම සුවදුක් බැලීමට අන් අයගේ පැමිණීම කෙතරම් අපේක්ෂා කරන්නේද යන්න සිහිපත් කරන්නේද මා දෙනෙත් තෙත් කරමිනි.
මේ අතරවාරයේ සිළුමිණ පුවත්පතට ඔහු ලියන ලද ලිපියක් පළවෙන තෙක් දෑස් දල්වා බලා සිටියේය. දවස සෙනසුරාදා නම් ඉරිදා පත්තරේ ගෙන එන්නැයි උදෑසන සිටම මට පෙරැත්ත කරයි. එම ලිපිය තාත්තාට සිදු වූ අසාධාරණයක් හෙළි කළ ලිපියක් විය. කිසිදු පර්යේෂණයක් සිදු නොකළ ලංකාවේ ප්‍රසිද්ධ අධ්‍යාපන පීඨයක පීඨාධිපතිනියක් "කමත" ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථයේ වූ එක්තරා මුද්‍රණ දෝෂයක්ද ඒ ආකාරයෙන්ම ගෙන අමු අමුවේ කොපි කළ සොරකමක් ද ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි විවිධ පීඩනයන්ට හා පීඩාවන්ට ලක්වෙමින්ද පා රිදෙන තෙක් ඇවිදිමින්ද කුසට අහරක් හෝ පිපාසාවට පැන් බිඳක් නොමැතිවද ඔහු රැස් කළ ජනවහර "සිංහල භාෂාවේ උපකාරක පන්ති ගුරුවරයෙක්" තම ටියුෂන් කඩයේ මුදල් උපයන පොතක් සංස්කරණය කොට අනු පිටපත් කර ආදායම් උල්පතක් කරගෙන ඇති ආකාරයත් හෙළිදරව් කළ ලිපිය එය විය. 2003 අගෝස්තු 16 වන දා උදෑසන හතට පමණ තාත්තාට දැඩි ලෙස අසාධ්‍ය විය. එදින උදෑසන ලබාගත් එක්ස් කිරණ ඡායාරූපයේ ඔහුගේ පෙණහලුවල ගර්ත ප්‍රමාණයෙන් ඉතිරිව ඇත්තේ 30%ක් පමණ බව වෛද්‍යවරයෙක් මා කැඳවා දැනුම් දෙනු ලැබුයේ අප සිත් පීඩාවට පත් කරමිනි. පිටින් බෙහෙතක් ගෙන ඒමට නියම වීමෙන් මඳකට රෝහලෙන් ඉවතට ගිය මා නැවත පැමිණියේද සිළුමිණ පත්තරය ද රැගෙනය. පත්තරේ ගත් මටද ඇති වූ සතුට නිමක් නොවීය. තාත්තාගේ බලාපොරොත්තුව එහි විය. මා රෝහලට ගියේ තාත්තාගේ අවසාන බලාපොරොත්තුව ඉටු කරන අපේක්ෂාවෙනි.

ඔෟෂධීය ප්‍රතිකාර තාත්තා තරමක් යථා තත්ත්වයට පත් කළ අතර හෙදි සොයුරියන් දෙදෙනකු තාත්තාගේ ඇඟ තෙමා රෙදි කඩින් පිස දමා ඇඳද පිරිසිදු ඇතිරිල්ලක් යොදා සකසා දුන් පසු මම තාත්තාට අදාළ ලිපිය පෙන්වූයෙමි. ඔහුට කියවීමට හැකි වූයේ එහි තිබූ විශාල අකුරින් දක්වා තිබූ දේ පමණි. එබැවින් ලිපිය හඬ නඟා කියවීමට මට සිදුවිය. ඔහුගේ දෑස් දීප්තිමත් විය. කහඳගමගේට සිදුවූ අසාධාරණය රටට හෙළි කරන්නට ඔහුට හැකි විය. මා ලිපිය කියවා අවසන් කළ පසුව නැවත අතට ගෙන තනිවමද කියවීමටද බොහෝ උත්සාහක් ගත්තේය. එය අසාර්ථක ප්‍රයත්නයක් විය. එදා උදෑසන කාලය තුළ පත්තරේ ලිපිය මා කී වරක් කියවූවාදැයි මට මතක නැත. එහෙත් ඔහුගේ දීප්තිමත් ඇස් තුළින් දැන් වූ පණිවිඩය මෙසේ අකුරු කරමි.

"මේවා මා සොයා රැස් කර ගත්තේ බොහෝ දුකසේය. දේශපාලකයන් මා තල්ලු කර දැමූ සෑම තැනකදීම මම විවිධ තොරතුරු රැස්කර ගතිමි. ඒවා නිදිවරා සටහන් කළෙමි. පසුව පොත් බවට පත් කළෙමි. මේ කාර්යයේදී මා කුසට අහරක් පවා නොලැබූ අවස්ථා එමටය. දරු පවුලක කුසගිනි කර්තෘ භාගයෙන් පුරවාලිය නොහැකි වුවද රට ජාතිය සංස්කෘතික අනන්‍යතාව වෙනුවෙන් මාගේ යුතුකම ඉටු කළෙමි. වියළි කර්කශ පොළව හා ගැටී දෙපා වේදනා දුන්නද හිස හිරු රශ්මියෙන් දවා හැරියද ජාතියේ වගකීමක් මා ඉටු කළෙමි. එහෙත් මුදල් උපයා ගැනීමේ පරම චේතනාවෙන් මා ඇතුළු මේ රටේ දුකසේ ජනශ්‍රැතිය ගවේෂණය කළ කරන ලේඛකයන්ගේ ඥානය සොරා නොගනිල්ලා. අවම වශයෙන් එකී ලේඛකයන්ගෙන් එම තොරතුරු ගන්නේ නම් එම ලේඛකයන්ගේ නම හෝ දක්වමින් ලේඛකයන් අගයන මනුෂ්‍යත්වයක් ගොඩනඟා ගනිල්ලා"
"ලොකු පුතේ උඹ ලියන ලිපියක ඕකත් ලියපන්" ඒ මගේ තාත්තා මගෙන් වචනයෙන් නොකළ ඉල්ලීමයි.

නිමි
වසන්ත කහඳගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්