උසාවි නියෝග කඩලා උද්ඝෝෂණ කළාම දේශපාලන හිරකරුවො වෙන්නෙ නැහැ

  👤  1795 readers have read this article !
By mawbima 2017-10-22

ඔබලා මූලික වෙලා යහපාලන ආණ්ඩුව හැදුවේ ඇයි?
මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා දූෂණයෙන් භීෂණයෙන් තොර රටක් හදලා රට සංවර්ධනය කරලා රටේ ජනතාවට යහපතක් කරන්න.
දැන් එහෙම සිද්ධ වෙනවද?

අපි මේ රට සංවර්ධනය කරලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා රට ගොඩගන්න උත්සාහ කරනවා.
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නද උද්ඝෝෂකයන්ට පහර දෙන්නේ?
යහපාලනය එහෙම උද්ඝෝෂණවලට පහර දෙන්නේ නැහැ.
යහපාලනය කියන්නේ පාලනයක් නැහැ කියන එකද?

ඒක වැරැදියි. යහපාලනය කියන්නේ පාලනයක් නැහැ කියන එක නොවෙයි. යහපාලනය තේරුම්ගන්න බැරිව ඒකෙන් ඒ නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්න එකයි අද සමහරු කරන්නේ.
හැබැයි එහෙම කියලා උද්ඝෝෂකයන්ට ගහල ප්‍රශ්න විසඳන්න බැහැනේ. ඔබලා බලයට ආවේ සාකච්ඡා මට්ටමෙන් ප්‍රශ්න විසඳනවා කියා. ඇයි පරණ ආණ්ඩු විදියටම හැසිරෙන්නේ?
මේ ආණ්ඩුව බලයට ඇවිත් වසර දෙක හමාරයි. හැබැයි අද මේ ආණ්ඩුවට විසඳන්න වෙලා තියේනේ මීට වසර පහකට පෙර ඉඳන් තියෙන ප්‍රශ්න. මේ කාලය තුළ තිබුණ ප්‍රශ්නවලට පහුගිය ආණ්ඩුව විසඳුම් දුන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රශ්න උද්ඝෝෂණ පෙළපාළි ලෙස විරෝධතා මතු වුණේ අපේ ආණ්ඩුවට.
අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගන්නේ නැතිව විසඳුම් හොයන්න ආණ්ඩුවට බැරිද?
පුළුවන්. හැබැයි දීර්ඝ කාලයක් මේ අයට උත්තර ලැබුණේ නැති නිසා මේ අය ඉක්මනට විසඳුමක් ඉල්ලනවා. එතකොට ඒ ප්‍රශ්නය ඉබේම අපේ පැත්තට එන්නේ අපේ වරදක් විදියට. අබාධිත රණවිරුවන්ගේ ගැටලුව එහෙම එවැනි දේකට උදාහරණයක්. මේ ප්‍රශ්නය පහුගිය වසර දෙක තුළ ඇති වුණ එකක් නොවෙයි. හැබැයි ප්‍රශ්නවලට විසඳුම් නොදී කාලයක් ප්‍රශ්න විදියට තිබෙන්න ඇරපු නිසයි මේ හැම ප්‍රශ්නයක්ම.

ඔබතුමන්ලා බලයට ආවේ මේ ප්‍රශ්න විසඳනවා කියලා?
ඔව්. එහෙම ප්‍රශ්නවලට සාකච්ඡා මට්ටමින් විසඳලා අපි පිළියම් ලබා දිපු අවස්ථා එමටයි.
දැන් කරන්නේ නොවිසඳුණු ප්‍රශ්නවලට ගහල විසඳුම් දෙන එකද?

උද්ඝෝෂණ කරන අයට පහර දීම් කිසි විටෙකත් අනුමත කරන්න බැහැ. හැබැයි උද්ඝෝෂණ කරන්නත් ක්‍රමයක් තියෙනවා. ප්‍රශ්න විස¼දා ගන්නත් ක්‍රමයක් තිබෙනවා. ජනාධිපති මන්දිරයට, අරලිය ගහ මන්දිරයට අධි ආරක්ෂිත කලාපවලට, ජනාධිපති ලේකම් කාර්යාලයට, තානාපති කාර්යාලවලට කඩාපනින හමුදාවක් විදියට ඒ අය උද්ඝෝෂණ කරන්න ආවොත් ඒ වෙනුවෙන් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න පොලිසියට සිද්ධ වෙනවා. ඒ අතරතුරේදි පහුගිය ආණ්ඩුව මට්ටමට පහරදීම් කරලා නැහැ.

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට පැවරීමට විරුද්ධව කළ උද්ඝෝෂණයේදී කෙනෙකුගේ කන පළනවා. ඒක හරිද?
ඒක වැරදියි. ඒකනේ එම සිද්ධියට පරීක්ෂණයක් කරන්නේ. නමුත් මේ විදියට උද්ඝෝෂණය කරන්න ඉස්සර යම් පාලනයක් තියෙන්නත් ඕන. මේ උද්ඝෝෂණයේදී ඉන්දියානු කොන්සියුලර් කාර්යාලයට ගොස් සාකච්ඡා කරලා ආපසු යන්න යද්දි තමයි බැරියර් ඉවත් කරලා ආයි ඇතුළත් වෙන්න හදන්නේ. අපි ඒක මාධ්‍යයේ දැක්කා. ඒ වෙලාවේදි පොලිසිය සාමය ආරක්ෂා කරගන්න මැදිහත් වෙනවා.

රජයේ දේපොළ විකුණන එකට සාමකාමී උද්ඝෝෂණයක්වත් කරන්න බැරිද?
පුළුවන්. මේකට විතරක් නෙවෙයි. ඕනෑම දේකට විරුද්ධව උද්ඝෝෂණ කළ හැකියි. ඒකට නිදහස තිබෙනවා. නමුත් මේ උද්ඝෝෂණ කරන්න ඕන යම් සීමාවක් ඇතුළේ. ඉන්දියා කොන්සියුලර් කාර්යාලයට නැවත රිංගීමට යෑම සාධාරණද? වෙනත් රටක කොන්සියුලර් කාර්යාලයට බලෙන් ඇතුළු වෙනවා කියන්නේ ඒ අයගේ ආරක්ෂාව මොකක්ද? අපේ රට ගැන ජාත්‍යන්තරය හිතන්නේ මොකක්ද? ඒ සෑම දේම අපි හිතන්න ඕන. ඉන්දීය කොන්සියුලර් කාර්යාලයට ගිහින් සාකච්ඡා කරලා ඇවිත් තව කොටසක් පහරදෙන එක වැරදියිනේ.

මේ උද්ඝෝෂණයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අත්අඩංගුවට පත් වුණා. ඒක දේශපාලන පළිගැනීමක් විදියටයි අර්ථ දැක්වෙන්නේ?
ඒක නාමල් රාජපක්ෂ හරි තව කෙනෙකු හරි කළත් වැරදි නම් වැරැදියි. මොකද උසාවි නියෝගයක් කඩ කරලා උද්ඝෝෂණය කරලා අත්අඩංගුවට පත් වුණා කියලා ඒක දේශපාලන පළිගැනීමක්, දේශපාලන හිරකරුවො වෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අත්අඩංගුවට ගත්තේ උසාවි නියෝගය කඩ කරමින් කලහකාරී විදියට හැසුරුණු නිසයි. ඒකෙන් නාමල් දේශපාලන හිරකරුවකු වෙන්න උත්සහ ගන්නවා. ඒක වැරැදියි.
ඒ වුණාට ඒ අය කියන්නේ එහෙමයි?
මේ කලහකාරීව හැසුරුණු අයයි අත්අඩංගුවට ගත්තේ. නාමල් කිසිසේත්ම දේශපාලන සිරකරුවෙක් නොවෙයි. මේ උද්ඝෝෂණයට නායකත්වය දුන් කෙනෙක් විදියටයි නාමල්ව අත්අඩංගුවට ගත්තේ. එහෙම නැතිව ඔහු මහින්ද මහත්තයාගේ පුතා කියලවත් පාර්ලිමේන්තු මන්ත්‍රි කියලවත් නෙමෙයි. නාමල් ඇතුළු මන්ත්‍රිවරු අත්අඩංගුවට ගත්තෙ උසාවි නියෝගය කඩ කළ නිසයි.
අත්අඩංගුවට අරගෙන ටික දවසින් ඇප දෙනවා. එතකොට?

ජනතාවාදී කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නාමල් මහත්තයා හිරේ ගිහින් ඇවිත් ලොකු කතා කියනවා. එහෙම කියන නාමල් මන්ත්‍රිතුමා ඇප ගත්තේ පාර්ලිමේන්තුවට යන්නවත්, ජනතා සේවයටවත් සමාජ සේවා වැඩක් කියලවත් නොවෙයි. රුසියාවේ පැවැත්වෙන තරුණ සමුළුවකට යන්න. ඒකට ආරාධනා මටත් ආවා. මම පාර්ලිමේන්තු සැසිය නිසා යන්නේ නැහැ. එම සමුළුව එතරම් වැදගත් එකක් නොව්. දේශප්‍රේමී නාමල් උසාවියෙන් ඇප අරගෙන රුසියාවේ යන්නේ පාටි දාන්න. අනික නාමල් විතරක් නෙවෙයි ගොඩක් අය අත්අඩංගුවට ගත්තනේ. ඒ අයවත් පාවාදීලා නාමල් ඇප ගත්තේ රුසියාවේ ගිහින් පාටි දාන්න.

පුතාට කෑම දෙන්න ගිය අම්මා කෙනෙක්, පාසල් ළමයි, මේ සේරමත් හිරකරලා.
පුතාට කෑම අරගෙන ගිය අම්ම ඒ ගමන යන්නේ නැතිව මේ ගුටිකෙළියට යන්නේ නෑනේ. පාසල් යන ළමයින් අත්අඩංගුවට ගන්නවා කියන්නේ මේ අය උද්ඝෝෂණවලට පාසල් ළමයිනුත් යොදා ගත්තා වෙන්න පුළුවන්. කොහොම වුණත් දේශපාලන වශයෙන් වාසි ගන්න එක එක ඒවා කිව්වට එතැන සිදුවූ දේ හරියටම දන්නේ පොලිසිය. නාමල්ගේ ඉල්ලීමට ඒ අයත් උද්ඝෝෂණයට ගියාද දන්නේ නැහැනේ. කොහොම හරි අන්තිමට තමන් වෙනුවෙන් පෙනීහිටි අයවත් අතරමං කරලා නාමල් රුසියාවේ ගියා පාටි දාන්න. ඒකයි ඇත්තම කතාව.

සයිටම් ප්‍රශ්නයටත් ඔබතුමන්ලාටත් හරි විසඳුමක් නැහැනේ?
විසඳුමක් තියෙනවා. අපි ඒක ඉදිරිපත් කරලා තිබෙනවා.
සයිටම් ප්‍රශ්නය එළියට දාලා ආණ්ඩුව පැවැත්ම හදාගන්න එකයි කරන්නේ?
නැහැ. සයිටම් ප්‍රශ්නයත් අපි දාපු එකක් නොවෙයි. අද සයිටම් එපා කියා ඒ වෙනුවෙන් පෙනී සිටින දිනේෂ් ගුණවර්ධන මහතා තමයි සයිටම් ඕන කියන යෝජනාව පාරිලිමේන්තුවට ගේන්නේ. පහුගිය ආණ්ඩුවේ පව් තමයි අපි කරගහන්නේ. ඒ ප්‍රශ්න විස¼දන්න ගියාම ආණ්ඩුවට වෙන වැඩක් කරගන්න අමාරුයි. ඒ නිසා පහුගිය ආණ්ඩුවේ වැරදිවලටත් අපට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒක ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් යොදා ගන්නේ නැහැ. අපි සයිටම් ප්‍රශ්නයට විසඳුමක් දෙන්නයි උත්සාහ කරන්නෙ.
මොකක්ද විසඳුම?

අපි සයිටම්වලට විසඳුමක් දෙන්න උත්සාහ කරනවා. පෞද්ගලික අධ්‍යාපනය මේ රටේ තිබිය යුතුයි කියන ප්‍රතිපත්තියක අපි ඉන්නවා. සයිටම් මූලික කරගෙන සටන් වදින ජවිපෙ මෙන්ම පෙරටුගාමි අයගේ මතය වෙන එකක්. ඒ අය කියන්නේ පෞද්ගලික අධ්‍යාපනය එපා කියලා. නමුත් අපි කියන්නේ අනෙක් විෂයයන්වලට වගේම වෛද්‍ය විද්‍යාවටත් පෞද්ගලික අධ්‍යාපන ක්‍රමයක් තිබුණට වරදක් නැහැ කියායි.
යහපාලනය ආවේ රටේ හැමෝටම නීතිය පොදුයි කියලයි?
ඔව්.

උතුරේ උද්ඝෝෂණවලටත් උසාවි නියෝග තිබ්බා. දකුණටත් තිබුණා. උතුරේ අය උද්ඝෝෂණ කළා. කිසි අවුලක් නැහැ. දකුණේ අයට ගැහුවා. එකම රටේ නීති දෙකක් ඒ ඇයි?
එහෙම දෙයක් වුණා නම් එහෙම වෙන්න හොඳ නැහැ. ඒක උතුරේ, දකුණේ, නැඟෙනහිර, බටහිර, සිංහල, දෙමළ, මුස්ලිම් කාට වුණත් නීතිය එක හා සමාන විය යුතුයි. එහි විවාදයක් නැහැ. හැබැයි අපේ සමහර අය උතුරේ දෙයක් වුණොත් ඒක ගණන් ගන්නේ ජාතිවාද කෝණයෙන්. දකුණෙත් එහෙමයි. ඒක කොළඹ වුණා නම් සාමාන්‍ය දෙයක්. ජාතිවාදී කෝණයෙන් බලලා ඒකෙන් දේශපාලන වාසි ගන්න කොටසක් උත්සාහ කරනවා. විවාදයක් නැහැ. රටේ හැම කෙනාටම නීතිය පොදුයි.
අලුත් ව්‍යවස්ථාව ගැන විවිධ කතා එනවා. ෆෙඩරල් දෙනවා කියලත් කියනවා. විරෝධතා මැද ව්‍යවස්ථාව සම්මත කරන්නද හදන්නේ?

අලුත් ව්‍යවස්ථාවක් ලබාදෙන්න වරමක් අපට ලැබිලා තියෙනවා. මේ ජනවරම අනුව කිව්ව දේ කරන ආණ්ඩුවක් විදියට අපි සාධාරණ පියවර වගයක් අරගෙන තියෙනවා. ඒක ජනමත විචාරණයකට යොමු කරලා ජනතාවගෙන් අහනවා අලුත් ව්‍යවස්ථාව හොඳද නරකද කියලා.
ඔබලට ජනවරම ලැබුණේ රට බෙදන්න නොවෙයිනේ?
කවුද රට බෙදනවා කිව්වේ. මීට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා නම් කියන්න.
13 වැනි සංශෝධනය හොඳයි කියලනේ ඒකාබද්ධය කියන්නේ?
13 එපා කිව්වා. ඉන්දියාවේ අතකොළු කිව්වා. පස්සේ ඒ අයම 13+ දෙනවා කිව්වා. දේශපාලනික වශයෙන් වාසි ගන්න ඕනෑ දෙයක් මේ අය කරනවා. තාම යෝජනා විතරයි. කෙටුම්පත හදලා ජනමත විචාරණයකට ගිහින් තමයි අලුත් ව්‍යවස්ථාව හදන්නේ. පාර්ලිමේන්තුව තමයි ව්‍යවස්ථාදායක සභාව වන්නේ. මුළු පාර්ලිමේන්තුව කමිටු හයකට පත්කරලා කමිටු හයේ වාර්තාවන් හදලා තියෙනවා. මේ වාර්තාවන් ටික මෙහෙයුම් එකට යොමු කළා. මෙහෙයුම් කමිටුව ඒ අයගේ වාර්තාවත් ලබන 30, 31, 01 වැනිදා පාර්ලිමේන්තුවේ විවාද කරනවා. මේ අතරතුර නොයෙක් අදහස් හුවමාරු වෙනවා. තවත් එම අදහස් වෙනස් වෙන්න ඕන නම් තව දින දීලා හරි මේ ගැන සාකච්ඡා කළ හැකියි. ඉතින් මීට වඩා වෙන සාධාරණ ක්‍රමයක් තව තියෙනවාද? කියන එකයි අපට තිබෙන ප්‍රශ්නය. තවමත් අවසන් නොවුණු කෙටුම්පතකට තමයි ඒකාබද්ධය දඟලන්නේ. ඒකාබද්ධයේ අය වතුර වීදුරුවෙත් කුණාටු හොයන එකයි කරන්නේ.

බහු මතවලට ඇහුම්කන් නොදී හදන ව්‍යවස්ථාව පලක් වෙයිද?
බන්දුල ගුණවර්ධන මහත්තයත් එක කමිටුවක සභාපතිවරයෙක් විදියට අස්සන් කළා. එහෙම කරපු අය දැන් හදන්නේ කකුල් මාට්ටු.
ඡන්දය කල් දාන්නේ ඇයි?
අපි ඡන්ද කල් දාන්නේ නැහැ.

එනවා කිව්ව ඡන්දය කෝ. මැතිවරණ කොමසාරිස්වරයාත් කියනවා ලබන දෙසැම්බර් වෙනකම් ඡන්ද නැතිවෙයි කියලා?
මම හිතන්නේ පුළුවන් තරම් ඉක්මනට පළාත් පාලන ඡන්දයත් තියන්න ඕන කියලයි. මොකද ශ්‍රීලනිපයෙන් කණ්ඩායම් දෙකක් එන නිසා එජාපයට වාසියි. මේ ඡන්ද පරක්කු වෙන්නත් හේතුව පහුගිය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නිසා. පනත හරියට සංශෝධනය කරලා තිබුණේ නැහැ. සීමා නිර්ණය හරියට කරලත් නැහැ. මේ ගැටලු තියාගෙන පනත සම්මත කරලා තමයි ඒ අය වැඩ කරන්න ගියේ. ඒ ගැටලු විසඳගන්න වුණෙත් මේ ආණ්ඩුවට.
අවුරුදු 2 1/2ක් ඔය වැඩේට කල් ගත්තා නේ?

ඔව්. මෙතන නුවරඑළිය සහ අඹගමුව ප්‍රාදේශීය සභා දෙකක ප්‍රශ්නයක් තිබෙනවා. ඒවත් ඉක්මනින් නිරාකරණය කරලා පෙබරවාරි විතර ප්‍රාදේශීය සභා ඡන්දය තියන්නයි හිතාගෙන ඉන්නේ.

එතකොට පළාත් සභා තියන්නේ නැත්තේ?
ඉස්සර වෙලාම අවශ්‍ය පළාත් පාලන ඡන්දයනේ. එක මාසෙම ඡන්ද දෙකක් තියන්න බැහැනේ. ඒ නිසා පළාත් සභා ඡන්දය ලබන වසරේ මැද හරියේදි එහෙම නැත්නම් මාස 6ක් මාස 8ක් ගියාම තියෙන්න පුළුවන්.

20 සම්මත කරගෙන වෙන ගේමක් ගහන්නනේ ආණ්ඩුව හදන්නේ?
එහෙම ගේමක් නැහැ. තව අවුරුදු පහක් බලන් ඉන්නවට වඩා මාස 8ක් බලන් ඉඳලා ඡන්දයකට යන එක හොඳයි. කොට්ඨාස නිර්ණය කරලා කාන්තා නියෝජනය ඇතුළත් කරලා කොට්ඨාස ක්‍රමයටම පළාත් සභා ඡන්දය තියෙන එක හොඳයි කියන එකයි මගේ මතය.
බැඳුම්කර ප්‍රශ්නයේදී ආණ්ඩුවට අප්‍රසාදයක් එල්ල වෙනවා. වසර 3ක් හිරේ යන කෙනා සති දෙකෙන් එළියේ. අඹගෙඩි තුනක් කඩපු අම්මට වෙනම නීතියක්. සාමාන්‍ය මිනිහට එක නීතියක්. දේශපාලකයන්ට තව එකක් ඇයි මේ?

නීතිය ගැන කතා කරනකොට මමත් ඒ ගැන කනගාටු වෙනවා. මුළු අධිකරණ පද්ධතියම අලුතින් හිතලා නවීකරණය කළ යුතුයි. දේශපාලන කාරණා විතරක් නෙවෙයි හැම කාරණයකදීම මේ කාරණාව පොදු විය යුතුයි. ඒකට කමිටුවක් පත් කරලා තියෙනවා.
විජයදාස මහත්තයා එළවලා තලතා ඇමැතිතුමිය ගෙනාවෙත් ඒකටනේ?
ඔව්. අනිවාර්යයෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ නඩුවලට විතරක් නෙමෙයි හැම නඩුවක්ම ඉක්මනින් විභාග කළ යුතුයි. ඒකට අධිකරණ සහ විනිශ්චයකාරවරු වැඩි කරන්න ඕන. එහෙම නැත්නම් රටේ සම්පත් සහ කාලය අපතේ යනවා.

තරුණ මන්ත්‍රිවරු ආණ්ඩුවේ නීතියට කලකිරීමෙන් ඉන්නේ. හර්ෂණ රාජකරුණාත් එහෙමද?
යම් යම් දේවල්වලට ඉතා සතුටෙන් ඉන්නවා. යම් යම් දේවල්වලට කලකිරීමක් තියෙනවා.

ප්‍රගීත් සම්පත්
ඡායාරූප _ කැලුම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්