කොළඹ කිරිත් නැති ගමේ කැකිරිත් නැති ශිෂ්‍යත්වයෙන් රට හොල්ලපු මහව පාසල් මෙන්න

  👤  1865 readers have read this article !
By mawbima 2017-10-22

විභාගය උණුසුමක් වන්නේ ප්‍රතිඵල නිකුත් කළ විටදීය. "අම්මලාගේ විභාගය" නමින් නම් ලද ශිෂ්‍යයත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කොට අවසන්ය. ප්‍රතිඵලවල "සොයා බැලීම්" කර අවසන්ය. වයඹ පළාතේ දුෂ්කර අධ්‍යාපන කලාපයක් වන "මහව" කලාපයේ ඉතා දුෂ්කර පාසල් තුනක් මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල තුළින් දිවයිනේ ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන ලබාගත් බව අසන ඔබ පුදුමයට පත්වනු ඇත. ඒ පුදුමය තවත් වැඩි වන්නේ දිවයිනේ හොඳම ප්‍රතිඵල ලබාගත් පාසල් 10න් 9ක්ම වයඹ පළාත සතුවීම යන කාරණයේදීය.
අධ්‍යාපන මිනුම් හා ඇගයුම් ක්ෂේත්‍රයේ පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් වන "ස්ටැනයින් පරිමාණය" අනුව පාසල් සාධන දර්ශකය සකස් කර ඇත. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් මෙම ඇගයීම සිදුකර ඉහළම සාධන දර්ශකය සහිත පාසල් 40ක් ලේඛනගත කර ඇත.

පාසල් සාධන දර්ශකයට අනුව ඉහළම සාධන දර්ශකය සහිත පාසල් 40න් පාසල් 15ක්ම වයඹ පළාතට අයත් ඒවා වේ. බස්නාහිර පළාතේ පාසල් 11ක්, උතුරු පළාතේ පාසල් 5ක්, දකුණු පළාතේ පාසල් 3ක්, උෟව හා සබරගමු පළාත්වල පාසල් දෙක බැගින්ද මධ්‍යම හා නැඟෙනහිර පළාත්වල පාසල් 1 බැගින්ද එම පාසල් 40ට ඇතුළත් කර ඇත.
මහව අධ්‍යාපන කලාපයේ අඹන්පොළ ශ්‍රී මත් හෙන්රි ඕල්කට් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර 2016 වර්ෂයේ පළමු ස්ථානය හිමිකර ගත් ඇහැටුවැව - එරියාව ප්‍රාථමික විදුහලට මෙවර දෙවැනි ස්ථානය හිමිව තිබේ. තෙවැනි ස්ථානයට මහව අධ්‍යාපන කලාපයේ ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය හා කුලියාපිටිය කලාපයේ විශාඛා බාලිකා විද්‍යාලය තේරී පත්ව ඇත. කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී කනිෂ්ඨ විද්‍යාලය හා කුරුණෑගල පිලැස්ස ඇතුගල්පුර කුමාර විද්‍යාලය පස්වැනි ස්ථානයට පත්ව ඇත. යාපනය බොෂ්කොස් විද්‍යාලය හා කුලියාපිටිය කටුමුළුව කනිටු විද්‍යාලය හත්වැනි ස්ථානය හිමිකරගෙන ඇත. නව වැනි ස්ථානය හිමිකර ගෙන ඇති පාසල් වන්නේ ආණමඩුව - වයඹ ජනාධිපති විද්‍යාලය හා ගිරිඋල්ල - රතනාලංකාර මහා විද්‍යාලයයි.

"අම්මලාගේ විභාගය", ගුරුවරුන්ගේ විභාගය" බවට පත් කර ගත්තෝ වයඹ පළාතේ ගුරුවරුන්ය. මහව අධ්‍යාපන කලාපයේ ගුරුවරුය. වසර ගණනාවක් තිස්සේ නියඟයෙන් බැට කන මහව කලාපයේ දරුවන් දවස පිරිමහන්නේ සහනාධාර මල්ලෙනි. ඔවුන් ඉගෙනුම ලබන්නේ දහසක් දුක් කම්කටොලු හා පීඩාවන් මැදය. එවන් දරුවන්ගේ කඳුළු මුතුකැට බවට පත්කළ ඔවුන් සොයා අපි ගමන් ඇරඹුවෙමු. නියඟය නිමා වී ගහකොළ සිනාසලන්නේ මේ ජයග්‍රහණ නිසා විය යුතුය. වන්නිය වර්ණනීය වී ඇත.
දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ අඹන්පොළ පලාපත්වල ශ්‍රී මත් හෙන්රි ඕල්කට් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයයි. අඹන්පොළ සිට නිකවැරටිය මාර්ගයේ කිලෝ මීටර් 9ක් දුරින් මේ පාසල පිහිටා ඇත. කිලෝ මීටරයක් පමණ දුර අතුරු මාර්ගය කැලෑවෙන් ගහනය. පලාපත්වල යනු වල් අලි තර්ජනයට ලක්වූ ගම්මානයකි. 1959 වසරේ ආරම්භ කළ මෙම පාසල 2000 වර්ෂයේ වැසී යන්නේ විවිධ හේතු සාධක නිසාය. නමුත් 2005 වර්ෂයේ නැවත මෙම පාසල ආරම්භ කරන්නේ එවකට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය වූ අතුල විජේසිංහගේ මැදිහත් වීමෙනි. සිසුන් 17 දෙනකුගෙන් ඇරැඹි මෙම පාසල ශිෂ්‍යත්ව ප්‍රතිඵලයෙන් 2014 වර්ෂයේ දිවයිනේ 14 වැනි ස්ථානයත්, 2016 වර්ෂයේ 10 වැනි ස්ථානයත් හිමිකර ගත්තේය.
සාමුහික ජයග්‍රහණයක් තුළ ප්‍රබල නායකත්වයක් තිබිය යුතුය. එම නායකත්වයට උරුමකම් කියූ හෙන්රි ඕල්කට් කනිටු විදුහලේ වත්මන් විදුහල්පති ධම්මික සමන්ත හේරත් අප සමඟ අදහස් දක්වන්නට එක් වූයේ මෙසේය.

"සාමුහික කැපවීම තුළ ජයග්‍රහණයේ උපරිම පල නෙළාගත හැකි බව අපි ක්‍රියාවෙන්ම පෙන්නුම් කළා. කියා නිම කළ නොහැකි තරමේ බාධකයන් අප ඉදිරියේ තිබුණා. කවදාවත් නැති විදිහට පසුගිය දවස්වල අපි නියඟයෙන් බැට කෑවා. නමුත් අපි ජයග්‍රහණය සඳහා සකස් කළ වැඩපිළිවෙළ ඉදිරියේ ඒ බාධාවන් පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් ගණන් ගත්තේ නෑ. පන්ති භාර ගුරුවරයා වුණු අනුර ධර්මසේන මහතා ඇතුළුව සියලුම ගුරුවරු එක සේ මේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණා. මවුපියන් නොමඳ සහයෝගය ලබා දුන්නා. එසේම හිටපු වයඹ ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා වයඹ පළාත් සභා මන්ත්‍රිවරුන් වන බණ්ඩාර රාජපක්ෂ හා ආනන්ද චන්ද්‍රලාල් යන මහත්වරුන්ගේ මැදිහත්වීම නිසයි මේ විදුහල නැවත ආරම්භ කළ හැකි වුණේ.

හෙන්රි ඕල්කට් විදුහලේ පහ ශේ්‍රණිය පන්ති භාර ගුරුවරයා වූයේ අනුර ධර්මසේනය. ඔහු සිය කතාව අපට කීවේය.
"මෙවර ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 47ක් පෙනී සිටියා. ඒ 47 දෙනාම ලකුණු 130ට වඩා ලබා ගත්තා. සිසුන් 29ක් ලකුණු 164 සීමාව පැන්නුවා. ලකුණු 180ට වඩා ලබාගත් සිසුන් 6 දෙනෙක් සිටිනවා. විදුහල්පතිතුමා අපිට නිවැරැදි මඟ පෙන්වීම් ලබා දුන්නා. ගණිත විෂය ප්‍රගුණ කරවන්න එතුමා විශේෂ සහයෝගයක් දුන්නා. ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා එක ලෙස කැපවීම් කළා. මවුපියන් නොමඳ සහයෝගය ලබා දුන්නා. අපි පාසල් කාලයට පෙර හා පසු වේලාවන් යොදාගෙන විෂය නිර්දේශ ආවරණය කළා. බාහිර පොතපතට වඩා අපි විෂය නිර්දේශය හා පෙළපොත් පරිශීිලනය කළා. අවට පාසල් සහභාගි කරවාගෙන විශේෂ පන්ති හා සම්මන්ත්‍රණ කඳවුරු පැවැත්වුවා. විශේෂයෙන්ම 2016 වසරේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ඇහැටුවැව එරියාව ප්‍රාථමික විදුහල සමඟ ඒකාබද්ධව අපි විවිධ වැඩසටහන් කළා. අපේ පාසලේ කිසිදු දරුවෙක් ටියුෂන් පන්ති ගියේ නෑ. ෆොටෝ කොපි ගහන්න අඹන්පොළටම යන්න ඕන. පහේ ළමයි තහඩු ගහපු පන්ති කාමරේක ඉගෙන ගත්තේ. ගොඩනැඟිලි මදි. මේ වගේ අඩුපාඩුකම් ගොඩකුත් අප සතුව තිබෙනවා. ඔහු පැවැසුවේය.

දිවයිනේ දෙවැනි ස්ථානය ලබාගත්තේ ඇහැටුවැව, එරියාව ප්‍රාථමික විද්‍යාලයයි. වර්ෂ 2016 දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගත්තේද මේ පාසලයි. මේ පාසල රට පුරා ප්‍රසිද්ධියට පත්වූයේ අති දුෂ්කරතා මැද ජයග්‍රහණය හිමිකරගත් නිසාය. "මව්බිම" පුවත්පත හරහාද අපි ඒ පිළිබඳව කීප විටෙකම කතා කළෙමු.
මහව අධ්‍යාපන කලාපයට ජයග්‍රහණයේ අරමුණ රැගෙන ආවේ ජේ. එම්. අමිල ප්‍රසාද් ජයසේකර ගුරුතුමාය. ඒ හරහා ගොඩනැඟුණු තරගකාරී බව මහව කලාපයේ සියලුම ජයග්‍රහණවලට තවත් හේතුවක් බව අපට හැඟී ගියේ ඔවුන්ගේ කතාබහ තුළය.

ඇහැටුවැව එරියාව ප්‍රාථමික විදුහලේ විදුහල්පති ආර්. එම්. තිලකරත්න මෙසේ අදහස් දැක්වූවේය.
විවිධ දුෂ්කරතා මැද ගිය වසරේ ප්‍රථමයා වූ අප මෙවර දෙවැනි ස්ථානය ලැබුවා. විභාගයට වාඩි වූ දරුවන් 20 දෙනාගෙන් 13ක් ශිෂ්‍යත්ව විභාග කඩයිම් ලකුණු පහු කළා. ගිය වසරේ තරම්ම උපරිම කැපවීමක් කළා. දෙවැනි ස්ථානයේ රැඳී සිටීමට ලැබීමත් සතුටක්. පන්ති භාර ගුරුතුමිය ඇතුළු සියලුම ගුරු භවතුන් සහ මවුපියන් උපරිම කැපවීමක් කළා.
එරියාව ප්‍රාථමික විදුහලේ 5 ශේ්‍රණියේ පන්ති භාර ගුරුතුමිය ඩබ්. එම්. එස්. කේ. විජේකෝන්ය. ඇය අපට කතා කළාය. "මෙවර ප්‍රථමයා වීමට නොහැකි වීම ගැන කනගාටුයි. නමුත් මේක දරුවන් සමඟ කෙරෙන ගනුදෙනුවක් නිසා දෙවැනි ස්ථානය ලැබීම සතුටක්. අමිල සර් තමා අපිට මේ ඉලක්කය පෙන්වා දුන්නේ. මේ ජයග්‍රහණය සාමූහික කැපවීමක්. මම මේ දරුවො බාරගත්තේ 3 වසරෙදි. 1 සහ 2 ශේ්‍රණිවලදී ගුරුවරිය ප්‍රසූත නිවාඩු ගත් නිසා 3 වසරේදී මට නැවත විෂයයන් ආවරණය කරන්න වුණා. 3 වසරේදී ළමයි 11 දෙනකුට අකුරු බැරිව හිටියා. මම මේ දරුවෝ විසි දෙනාට ඉගැන්නුවේ විසි ආකාරයකට. ගණිත පාඩමක් පවා මම ආරම්භ කළේ සෞන්දර්යාත්මක ප්‍රවේශයකින්. මම මේ වසර තුනටම ලබා ගත්තේ නිවාඩු 3යි. ඒ නිවාඩුවත් මට ගන්න වුණේ මගේ අක්කා මිය ගිය නිසා. මගේ ගෙදර සැමියා දරුවො දෙන්නා පවා ලොකු කැපකිරීමක් කළා මට ශක්තිය ලබා දෙන්න. ගිය වසර ප්‍රතිඵලය නිසා ඒ හරහා හඳුනාගත් බොහෝ දෙනා මට සහාය වුණා." ඇය කීවේ හැඟීම්බරවය.

මහව අධ්‍යාපන කලාපයට ජයග්‍රහණයේ අරමුණ ඉලක්කයක් බවට පත්කර දුන්, ඔහුගෙන් අදහස් නොවිමසාම බැරිය. මේ ජේ. එම්. අමිල ප්‍රසාද් ජයසේකර ගුරුවරයාය.
මෙවර මහව කලාපයේ ජයග්‍රහණයට 2016 වසරේ අපේ ජයග්‍රහණය හේතුවක් වුණා. කුඩා පාසල් අතර තරගාකාරීත්වයක් ඇති වුණා. කිසි දවසක ශිෂ්‍යත්ව විභාගය සමත් නොවූ පාසල්වල දරුවන් පවා මෙවර සමත් වී තිබෙනවා. මුල් ස්ථාන තුනම මහව කලාපය තුළ රැඳීම පිළිබඳ අප්‍රමාණ සතුටක් මා භුක්ති විඳිනවා. මීට පෙර වසරවල දිවයිනේ ප්‍රථම ස්ථාන ගත් පාසල් තම ජයග්‍රහණ රඳවා ගන්න ආකාරයක් මා දුටුවේ නෑ. ඒ අනුව බලන විට නියම ජයග්‍රහණයේ උරුමකරුවන් අප බවයි මා සිතන්නේ. ඒ පිළිබඳව මට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්.

2003 වසරේ එවකට ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ අමාත්‍ය බන්දුල බස්නායක මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක කනිටු විදුහල ශිෂ්‍යත්ව ප්‍රතිඵල අතරින් දිවයිනේ තෙවැනි ස්ථානය ලබාගත් පාසලයි. මෙම පාසල 2007 වර්ෂයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් පාසලයි. අනතුරුව 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015 සහ 2016 වසර කීපය තුළම මෙම විදුහල දිවයිනේ මුල් පාසල් දහය අතර රැඳී සිටීම විශේෂිත කාරණයකි.
මෙම විදුහලේ සිසුන් 107ක් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අතර එයින් සිසුන් 49ක් ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ පසු කළ අතර ලකුණු 180ට වැඩි සිසුන් 19 දෙනෙකි. වැඩිම ලකුණ වූ ලකුණු 191ක් ලබාගත් ඩබ්. එම්. සඳලි තරුෂිකා වන්නිනායක සිසුවිය මෙසේ පැවැසුවාය. උදේ 6 සිට සවස 6 වනතුරු අපි හිටියේ පාසලේ. ගුරුවරු සියලුම දෙනා අපි වෙනුවෙන් කැපවුණා. අපිට ලොකුම කරදරේ අලි කරදරේ තමයි. අපි පොතේම ඇලී ගැලී හිටියේ නෑ. බාහිර විෂය ක්‍රියාකාරකම් ඕන තරම් කළා.

මෙම විදුහලේ විදුහල්පති ව.මු. අරුණ බණ්ඩාර මහතා අප සමඟ අදහස් ඉදිරිපත් කරන්නට එක්විය. මෙම ජයග්‍රහණය සාමූහික වූවක්. ටී. එම්. චන්දන තෙන්නකෝන්, එම්. එම්. එල්. මාරසිංහ, ඊ. එම්. සී. මල්කාන්ති යන ගුරුවරු ගුරුවරියෝ තමා 5 ශේ්‍රණිය භාරව කටයුතු කළේ. ඔවුන් තිදෙනා ඇතුළුව සියලුම ගුරුවරු ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණා. මවුපියන් විවිධ කැප කිරීම් කළා. මහව අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂතුමා ඇතුළු සියලු බලධාරීන් මේ සඳහා අපට නිසි මාවත පෙන්වා දීමට එක්වූවා යනුවෙන් පැවැසුවේය.
මහව අධ්‍යාපන කලාපයේ නියමුවන් වන මහව කලාප අධ්‍යක්ෂ ඩබ්. එම්. අරුණ ශාන්ත නිහතමානී ආඩම්බරයකින් අපට මෙසේ පැවැසුවේය.

දිවයිනේ පළමු, දෙවැනි හා තෙවැනි පාසල් ත්‍රිත්වයම මහව අධ්‍යාපන කලාපය තුළ රඳවා තබා ගන්නට ලැබීම සතුටක්. ප්‍රාථමික විෂය භාර අධ්‍යක්ෂතුමා ඇතුළු කණ්ඩායම මේ මොහොතේ මා සිහිපත් කරනවා. අපි කරන්නේ මඟපෙන්වීම පමණයි. බර අදින්නේ පාසල්වල විදුහල්පතිවරු හා ගුරුවරුන්. ඒ නිසා මෙහි උපරිම ගෞරවය ලැබිය යුත්තේ ඔවුන්ටයි. දාහක් අඩුපාඩු, දුක් කම්කටොලු, බාධක සියල්ල අභිභවා ජයග්‍රහණය වෙත යෑම ලේසි පහසු කටයුත්තක් නොවේ.

ජීවිතය රසවත් වන්නේ අභියෝග වැඩිවන තරමටය යන කියමන සැබෑවක් කළ මේ පාසල් ත්‍රිත්වයේම ගුරුවරු රටේ ගෞරවාදරයට ලක්විය යුත්තෝය. අහිංසක දරුවන්ගේ අනාගත ජීවිත සිහිනය සැබෑවක් කර ගැනීමේ පදනම නිර්මාණය කර දෙන්නට ඔවුන් කළ කැප කිරීම් අප්‍රමාණය. ගුරුවරයා යන්නෙහි අර්ථයද එයම නොවේද?
අඹන්පොල - ශ්‍රීමතී විජේරත්න සුරනිමල තෙන්නකෝන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්