පත්වෙලා මාස දෙකෙන් බැංකු කඩපු ආණ්ඩුවක් මේක

  👤  1858 readers have read this article !
By mawbima 2017-10-22

ඔබ දෛවය විශ්වාස කරනවාද?
ඔව්... මම විශ්වාස කරනවා.
මේ වගේ වයසකදී ඔබේ පියාත් හිරේ යනවා. දැන් ඔබත් යනවා එනවා?
ඔව්. තාත්තාත් මේ වගේම අරගලවලට මුහුණ දුන්නා. මාත් හිතනවා මේ දෛවය කියලා. මම ඒකට මුහුණ දෙනවා. එක පැත්තකින් ඒ ගැන සතුටුයි. ඒ අත්දැකීම්, භාග්‍ය හා පළපුරුද්ද ජීවිතයට වටිනවා. අනෙක් පැත්තෙන් දුක්වෙනවා, අපේ රට හැමදාම අවුරුදු දහයකට පහළොවකට පස්සේ මෙහෙම අගාධයන්ට වැටෙන එක ගැන.
පියා දේශපාලනය පටන් ගන්නේ විපක්ෂයෙන්. ඔබ පටන්ගන්නේ ආණ්ඩුවෙන්. ඔබට වඩා පියා "දුෂ්කර" වැඩක් කරනවා? ඔබට හිතුණේ නැද්ද විපක්ෂ දේශපාලනේ කරලා "පොලිෂ්" වෙලා ආවානම් හොඳයි කියලා?
ඇත්තටම ඉස්සර ඒක මට හිතුණා. ඒත් අද තියෙන ආණ්ඩුව දිහා බැලුවාම එහෙම නොවිච්චි එක කොච්චර හොඳද කියලා හිතෙනවා. දැන් රාජ්‍ය පාලනයේ තියෙන අසාර්ථක බව දැක්කම එහෙම නොවුණු එක වාසනාවක්. මම දේශපාලනේට එන්නේ අපේ ආණ්ඩුව දැවැන්ත සංවර්ධනයක් රටට ලබා දෙනකොට.
ඒ දවස්වල හිතුණද මෙහෙම හිරේ යන්න වෙයි කියලා?
දේශපාලනේට ආවේ ඒවාට මුහුණ දෙන්න බලාගෙන. අපි යමක් කරන්න ඕනා අවබෝධයෙන්. ව්‍යාපාරෙකදීත් ලාභාංශ වගේම පාඩුත් තියෙනවා. ජීවිතේ විභාගයක් නම් පාස් වෙනවා. ෆේල් වෙනවා. දේශපාලනයට එනවා නම් ජීවිතේට හිරේ යන්නේ නෑ. අමාරුවේ වැටෙන්නෙ නෑ කියලා ප්ලෑන් කරගෙන එන්න බෑ.
බන්ධනාගාරේ ඉන්න කොට 71 කැරැල්ල ගැන කියෙව්වා කියලා ආරංචියි?
බොහෝ දේවල් කියෙව්වා.
71 කැරැල්ල කියවද්දී ඔබට මොකද හිතුණේ?
කාලෙන් කාලෙට මේ රට 71 අවධියට යනවා කියලා හිතුණා.
71 කැරැලි ගහන තරුණයෝත් 88 කැරැලි ගහන තරුණයෝත් නියෝජනය කළේ මේ රටේ නිර්ධන පරම්පරාව. හැබැයි ඔබ ඇතුළු බොහෝ දේශපාලනඥයන් නියෝජනය කරන්නේ ඊට වෙනස් පරම්පරාවක්?
නිර්ධන පන්තියේ තරුණයා කියලා කෙනෙක් දැන් මේ ලෝකේ නෑ. දැන් ඉන්නේ මධ්‍යම පාන්තික තරුණයෝ. හැමෝම අතේ ෆෝන් එකක් තියෙනවා. හැමෝටම වගේ කොම්පියුටරයක් තියෙනවා. හැමෝම වගේ ඉගෙන ගන්නවා. රැකියා අවස්ථා කොහොම හරි ලැබෙනවා. එදාට වඩා වෙනස්. අද තියෙන්නේ මධ්‍යම පාන්තික තරුණයන්ගේ අරගලයක්.
මෙතැනදී කොටසකට ඇප ලැබෙනවා. ඒත් ප්‍රසන්න රණවීර තවම ඇතුළේ?
ඒක අවාසනාවන්ත තත්ත්වයක්. අපි හැමෝටම ඇප ඉල්ලුවා. මට ඕන වුණේ හැමෝම එක්ක එළියට එන්න. නමුත් අධිකරණ තීන්දුවට අපි ගරු කරනවා. අනෙත් පැත්තෙන් පොලිසිය කොහොමත් නීතිය නවන්න බලාගෙන ඉන්නේ.
ඔහු කියනවා ඔහු එළියට එන එක වළක්වලා තියෙන්නේ සන්ධානෙම හිටපු ඇමැති කෙනෙක් කියලා?
මේ ආණ්ඩුව කරන දේවල් බැලුවාම ඒක පුදුම වෙන්න හේතුවක් නොවේ. අවුරුදු දෙකහමාර තුළ දේශපාලන සිරගත කිරීම්වලට මෙයාලට හොඳ ඉතිහාසයක් තියෙනවා. පළමු දවසේ 28ක් අත්අඩංගුවට ගත්තම උසාවිය ඉස්සරහා, නීතිඥයෝ ඉස්සරහා පොලිසියේ නිලධාරියෙක් එක්තරා ඇමැති කෙනෙක්ට දුරකතන ඇමැතුමක් ගත්තා.
ඔහු ඇමැතිට මොනවාද කිව්වේ?
යාන්තම් සේරම රිමාන්ඩ් කළා කීවා.
කවුද මේ ඇමැති?
නම කියන්න ඕන නෑ. සන්ධානෙම ප්‍රබල ඇමැති කෙනෙක්. එයා විරුද්ධ මට ඇප දුන්න එකට. හැබැයි අන්තිමට ප්‍රසන්න මන්ත්‍රිතුමා එළියට නොදා කළෙත් ක්‍රමන්ත්‍රණයක්. එයාලට ඕන වුණා අපි අතර පවා ගැටුමක් හදන්න. නමුත් අපි මේ කුමන්ත්‍රණ හොඳට දන්නවා.
ඔබේ තාත්තා හදිස්සියේ ඡන්දෙකට නොගියා නම් මෑතක් වනතුරු තාත්තා ජනාධිපති නේද?
අනිවාර්යයෙන්ම.
එහෙම වුණා නම් ඔබ තවමත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි?
ඔව්.
ඒක වැරදුණු දේශපාලන තීන්දුවක් නේද?
මම හිතන්නේ ඡන්දෙ තියන එක වරදක් නොවේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය. අද පේනවානේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් නෑ. අනික් පැත්තෙන් ඕනවාට වඩා කලින් මැතිවරණ තියන එකත් එක අතකට වරදක් තමයි. හැබැයි සියල්ලටම වඩා නියමිත කාලෙට තමන් කැමැති දේශපාලන පක්ෂය, නායකයා තෝරාගන්න ජනතාවට නිදහස තියෙන්න ඕනා.
අද ආණ්ඩුව නියෝජනය කරන සන්ධානයේ අය එදා කීවාලු නේද කලින් ජනාධිපතිවරණයකට යන්න එපා කියලා?
නෑ. හැමෝම වගේ කීවේ ඡන්දෙකට යමු කියලා. වැඩිදෙනක් කීවා ජනාධිපතිවරණෙට යමු කියලා. සම්මන්ත්‍රණයකදී එස්.බී. දිසානායක ඇමැතිතුමා යෝජනා කළා අපි ජනාධිපතිවරණයකට යමු කියලා.
* පක්ෂයේ මහ ලේකම් වෙච්ච මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ජනාධිපතිවරණයට යමු කීවේ නෑ නේද?
මොකෝ නැත්තේ, එතුමත් ඒ යෝජනාව ගෙනාවා. මොකද ඒ සම්මන්ත්‍රණයේ එතුමත් හිටියා.
හැබැයි එතුමා කියනවා. ඊට පෙර දීර්ඝ ලිපියකින් නිවැරැදි වෙන්නෙ ඕන දේ කියා සිටියා. ඒත් ඒ ලිපිය නොසලකා හැරියා කියලා?
එහෙම දෙන්න දෙයක් නෑ. එතුමා පක්ෂ මහලේකම්. වැඩබලන ආරක්ෂක ඇමැති. එතුමට ලොකු බලයක් තිබුණා. උදේ හවස මහින්ද මහත්තයා එක්ක කතා කරන්න එතුමාට පුළුවන්. අඩුතරමේ අන්තිමට යන්න කලින් ආප්ප කෑවෙත් මහින්ද ජනාධිපතිතුමා එක්ක එකට. ඒ තරම් සමීපව ඔහු හිටියා.
ඔබ ඔහොම කීවාට තීන්දු තීරණ ගන්න තරම් තැනක් එතුමාට තිබුණේ නෑ නේද?
අපි දන්න තරමට නම් එතුමට ඕන තරම් තැනක් තිබුණා. යුද්දෙ ඉවර වෙන්න ආසන්නම වෙලාවේ හිටපු ජනාධිපතිතුමා එතුමව කොච්චර විස්වාස කළාද කීවොත්, "වැඩ බලන ආරක්ෂක ඇමැතිකම" එතුමාට පවරලයි රට ගියේ. හිතන්න මොන තරම් විශ්වාසයක් තිබුණද. ඔය වැව් තාවලුවල හෝටල් ගහපු අවස්ථාවල ඒවා බේරා ගන්න කතා කරන්න පුළුවන් වෙච්ච එකේ මේ වගේ දේවල් කතා කරන්න බලයක් තිබ්බේ නෑ කියන එක විහිළුවක්.
ඒ කාලේ විපක්ෂය චෝදනා කරපු විදියට ඔබ නිල නොලත් ඇමැතිවරයෙක්?
එහෙම කියන අයට මම කියන්නේ බලපෑම් කරලා කරපු දෙයක් පුළුවන්නම් කියන්න, කියන්නකෝ. ඕවා ඩබල් ගේම් ගහපු අය හිත හැදෙන්න කියන කතා.
සමහරු කීවේ ගිය ආණ්ඩුවේ පරාජයට වගකියන චරිත අතර ඔබත් හිටියා කියලා?
හේතුව
දළදා මාලිගාව ඉදිරියේ නයිට් රේස් පැද්ද චෝදනාවත් ඔබට එනවා?
ඒක සහමුලින්ම බොරුවක්. දළදා මාලිගාව ඉස්සරහා රේස් පැද්දේ නෑ. දැන් ඒකටත් කොමිසමක් දාලා පරීක්ෂණ කළා නම් හරිනේ. සුජීව සේනසිංහ මහත්තයාගේ සහෝදරයකුත් මේ නයිට් රේස්වලට සම්බන්ධයි. ඒ දවස්වල ලැම්බෝගිනි කතා කීවේ අපිට. දැන් බලන්නකෝ කාටද තියෙන්නේ කියලා. දැන් ජාතික නාළිකාවල අන්න දැන් රේස් පෙන්නනවා. ඒවා දැන් හොඳයි.
රගර්වල පවා අධිකාරි බලය ඔබට තිබ්බ බව තමයි චෝදනාව?
අපි රගර්වලට උදවු කළා. එදා රගර් දියුණු තැනක තිබ්බා. අද රගර් කෝ. ඒ වගේම වොලිබෝල්, මලල ක්‍රීඩාත් නැංවුවා. අද හැම ක්‍රීඩාවක්ම අර්බුද ගොඩක.

සමහරු කියනවා සුළු ජාතික ඡන්ද මහින්ද මහතාගෙන් ගිලිහී යෑම පරාජයට හේතු වුණා කියලා?
ඔව්. මොකද අපිට දෙමළ, මුස්ලිම් නායකයෝ හිටියේ නෑ. අපිට හිටියේ වෙනත් පක්ෂවල සුළු ජාතික නායකයෝ. ඒ අය ගියාම අපිට කෙනෙක් හිටියේ නෑ. 60 ගණන්වලට පස්සේ අපිට සුළු ජාතික නායකයෝ ගොඩනැඟුණේ නෑ. අද අපිට විතරක් නෙවේ, එක්සත් ජාතික පක්ෂයටත් නෑ. අපි බලයේ ඉන්න කොට මම සිරිසේන මහත්තයාට යෝජනා කළා කිලිනොච්චි මුලතිව්වලට අපේ දෙමළ, මුස්ලිම් අය ඡන්දෙට දාමු කියලා. වික්‍රමසිංහ මහත්තයාටත් මම කීවා ඒ පක්ෂයෙන් අපේක්ෂකයෝ දාන්න කියලා. අපි දෙගොල්ලොම කළේ නෑ. හැබැයි ජවිපෙ දැම්මා. එයාලා ඡන්ද කීපෙකුත් ගත්තා. වතුකරයේ පක්ෂවලින් මම ඉල්ලුවා උතුරට අපේක්ෂකයෝ දාන්න කියලා. දැම්මේ නෑ. දෙමළ සන්ධානෙට තනියම පිච් එක දුන්නා බැට් කරන්න කියලා. මේ තත්ත්වය ඇතුළේ නව ව්‍යවස්ථාවක් ගෙනාවත් පරාදයි.

2005 මහින්ද දිනන උතුර 2010, 2015 පරදිනවා. යුද්ධය ඉවර කරපු මහින්ද ඒ අයට එපා වෙලා නේද?
නෑ. ඒක වැරැදියි. මේ ඡන්දෙදී අපිට උතුරේ සමහර තැන්වල සියයට 22ක ප්‍රතිශතයක් තිබ්බා. හැබැයි උතුරු කොළඹ එහෙම සියයට 18යි. එහෙම බැලුවම කොළඹ නගරාසන්නයට වඩා මහින්ද මහත්තයා උතුරේ ඡන්ද ගන්නවා. අනික තරුණයෝ 60,000ක් මරා ගත්තා කියන චෝදනාව තියෙන ජ.වි.පෙට අදත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 6ක් ඉන්නවා. අදත් අපේ ගමේ මවු පෙරමුණේ අම්මලා තමන්ගේ දරුවා එයි කියලා බලාගෙන ඉන්නවා. එවක ජ.වි.පෙ. මර්දනය කරන්න නායකත්වය දුන්නේ ප්‍රේමදාස මහත්තයා. අද එතුමාගේ පුතා හම්බන්තොටින්ම පාර්ලිමේන්තු එනවා. අපි ඉන්නේ එහෙව් රටක. අපි කොහොමද අවුරුදු 5න් එල්.ටී.ටී.ඊ. මතවාදය බිඳින්නේ. ජාතික ප්‍රශ්නෙට හදවතින් දිගුකාලීන උත්තරයක් දෙන්න මේ කිසිම පක්ෂයකට වුවමනාවක් නෑ. හැමෝටම ඕන ආණ්ඩුවක් හදාගන්න විතරයි.

මහින්ද මහත්තයා පැරදුණාම මෛත්‍රි පාර්ශ්වයෙන් එනවා නේද එතුමට "ගරු තනතුරන්" ලබාදීමේ යෝජනාවක්?
එහෙම එකක් අපිට ආවේ නෑ. සමහරවිට එයාලා සාකච්ඡා කරන්න ඇති. දැනුත් ඉතින් එහෙම සාකච්ඡා යනවානේ.
ඔබට වඩා විවේචනය තියෙන්නේ අගමැති රනිල් ගැනද, ජනපති මෛත්‍රි ගැනද?
දෙන්නම එකයි. මේ ඉන්නේ අපි දන්න මෛත්‍රිපාල සිරිසේන මහත්තයා නෙවෙයි.

88 _ 89 මහින්ද රාජපක්ෂ මහතා "මවු පෙරමුණ" හදාගෙන මානව හිමිකම ගැන කතා කරනවා. ඉන්දියාවේ කල්කටා "විශ්ව භාරති" සරසවිය මානව අයිතිවාසිකම් සුරැකීමේ කටයුතු වෙනුවෙන් ඔහුට සම්මාන ආචාර්ය පදවියක් ප්‍රදානය කරනවා. ඒත් ආණ්ඩුව කාලයේ එන චෝදනාව තමයි මානව හිමිකම් කඩ කළා කියන එක?

ඇත්තටම එදා ගෝලීය දේශපාලනය තුළ ආසියාව ගැන ලොකු අවධානයක් යොමුවෙලා තිබ්බේ නෑ. දකුණු ආසියාතික මුහුදු තීරයේ වටිනාකම එයාලා තේරුම් අරන් තිබ්බෙත් නෑ. හැබැයි ක්‍රමානුකූලව ලෝක දේශපාලනය තුළ කලාපීය වැදගත්කම ගැන අවධානය යොමු වුණා. ඒ එක්කම මේ රටවල තමන්ට අවනත නායකයෝ බිහි කරන්න ලෝක දේශපාලන ප්‍රබලයන්ට ඕන වෙනවා. ඉතින් ජාතිකත්වයට ආදරේ කරන, ලාංකේය අභිමානයට සලකන නායකයෙක් ඉන්න එක එයාලට කරදරයක්.
ඔබ දැන් විරෝධතා දක්වනවා හම්බන්තොට චීනෙට වික්කා කියලා. නමුත් ඔබේ ආණ්ඩුවත් කළේ මේ විකිණිල්ලමයි නේද?

නෑ. අපිට සැලැස්මක් තිබ්බා. ඒ විකුණන සැලැස්ම නොවෙයි. අපි යන්න හිටියේ බී.ඕ.ටී. සැලැස්මකට. ඇයි මේ ආණ්ඩුව එහෙම දේකට නොයන්නේ. වරායේ දැනට කරලා තියෙන්නේ අදියර දෙකයි. තුන හතර අදියර තාමත් කරන්න තියෙනවා. මෙයාලා හදපු දෙක දෙනවා. ආණ්ඩුව කීවේ මේ වික්ක මුදලින් ණය ගෙවනවා කියලා. ණය ගෙවන්නෙත් නෑනේ. ජනාධිපතිවරයා පොරොන්දු වුණා වරාය සේවකයන්ට බෝනස් දෙන්න. කෝ දුන්නද. අගමැති කීවා කපිලවස්තුපුරට ඩොලර් මිලියනයක් දෙනවා කීවා. දුන්නද? මේ ණය වරායේ බැලන්ස් ෂීට් එකෙන් මුදල් අමාත්‍යාංශ බැලන්ස් ෂීට් එකට ගන්නවා. මේ ණය ඊළඟ අවුරුදු 30 තුළ බදු සල්ලිවලින් ගෙවන්න ඕන.
චීනෙත් එක්ක එදත් ඕනවට වඩා කිට්ටු වෙලා ඉන්දියාව තරහා කරගන්නවා. මානව හිමිකම්වලදී අපි හිරවෙන්නේ ඒ නිසා නේද?
2010ට පස්සේ තමා ඒක වුණේ. මොකද අපි ඒ වෙනකොට හිතුවේ සංවර්ධනයට සල්ලි තියෙන තැනට කිට්ටු වෙන්න. ඒ නිසාම ඉන්දියාව අපෙන් අෑත් වුණා.
හැබැයි මානව හිමිකම් ප්‍රශ්නෙදී ඉන්දියාව ලංකාව පැත්තේ හිටගත්තා නම් සමහරවිට තාමත් ආණ්ඩුව ඔබලගේ වෙන්න තිබ්බා?
නෑ. ඉන්දියාව ඒ වෙලාවේ අපේ පැත්ත ගන්නේ නෑ. තමිල්නාඩුව මධ්‍යම ආණ්ඩුවට බලපෑම් කළා.

ඒත් 2005 තමිල්නාඩුව නොසලකා හරිමින් ඉන්දියාව මහින්ද ආණ්ඩුවට උදවු කළා?
ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි සෝනියා ගාන්ධිගේ ආණ්ඩුව පෙරළුණේ.
සයිටම්, උමා ඔය, මත්තල, පෝට් සිටි වගේ ගිය ආණ්ඩුවේ පවුවලට කරගහන්න වෙලා තියෙන්නෙ තමන්ට කියලා ආණ්ඩුව කියනවා?
ඕවා එයාලාගේ ප්‍රතිපත්තිවල තියෙන ප්‍රශ්න. පොහොර සහනාධාර දෙන්න සල්ලි නැති ආණ්ඩු, පඩි ගෙවන්න සල්ලි නැති ආණ්ඩු මේ මනුස්සයෙක්ගේ රෝහලක් ආණ්ඩුවට අරගෙන මාසිකව සල්ලි දෙනවා. මේ ආණ්ඩුව දුවන්නේ එදාවේල ටුවර් එකක්. ඉතින් ආණ්ඩුවට කොන්දක් තියෙනවා නම් පුළුවන්නේ තීරණයක් ගන්න. එක්කෝ සයිටම් වහනවා. එක්කෝ තියෙනවා. කෝ තීරණ. සරසවි සිසුන් පාරට ආවේ සයිටම් වහන්න කියලා. මෙයාලා කළේ සයිටම් රෝහල පවරා ගන්න එක. කවුද රෝහල පවරාගන්න කීවේ.

ආණ්ඩුව ඔබේ වුණානම් මොකක්ද ගන්න තීරණය?
අපි හිටිය නම් ඕක මෙහෙම වෙන්නේ නෑ. සියලු දෙනා එක්ක කතා කරලා සාධාරණ තීන්දුව ගන්නවා.
මොකක්ද සැලැස්ම?
ප්‍රමිතිය, බ¼දවා ගැනීම, විභාග වැනි සියල්ල විධිමත් කරනවා.

ඔබ ඔහොම කීවත් ඒ වකවානුවේ තමයි දරුවන්ට බාහිර උපාධිය හදාරන ඉඩකඩ පවා අවහිර කරලා සංකීර්ණ කළේ?
ඒක විශ්වවිද්‍යාල සිසුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, සහ එස්.බී. අමාත්‍යවරයා එකතුවෙලා ගත්ත තීන්දුවක්. ඉසෙඩ් ස්කෝර්වලින් එක දෙක වෙන අය කැම්පස් ගිහින් උපාධිය අරගෙන එනවා. එස් තුන තියන අය එළියේ ඉ¼දලා ඒ උපාධියම ගන්නවා. ඒක අසාධාරණයි. සයිටම්වලට වඩා ඒක අපරාධයක්.
ඔබ ආණ්ඩුවට චෝදනා කරනවා පළිගැනීම් කරනවා කියලා. ඒත් ආණ්ඩුව බැඳුම්කරය වැනි මහා වංචාවන් ගැන පර්යේෂණ සිදු කරනවා නේද?
මෙතැන වෙන්නේ අධිකරණය තමන්ගේ කාර්යය හරියට කරනවා. හැබැයි ඉතින් බටලන්දෙත් මෙහෙම හරස් ප්‍රශ්න එහෙම අහලා රිපෝට් හැදුවා. ඒකට අනුව රනිල් වික්‍රමසිංහ වැරැදිකරුවෙක්. ඒත් වෙච්ච දෙයක් නෑනේ.

බටලන්ද විමර්ශන කළේ ඔබේ ආණ්ඩුවෙන්?
නෑ. චන්ද්‍රිකා මැතිනියගෙ ආණ්ඩුවෙන්. දැන් එතුමිය රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක යාළුයි. එදත් සමහරවිට යාළුකම තියෙන්න ඇති.
සමහරු කියන්නේ චන්ද්‍රිකා එක්ක තියෙන ඩීල් එකට වඩා ඩීල් එකක් වික්‍රමසිංහ මහතාට මහින්ද එක්ක තියෙනවා කියන එක?
නෑ. නෑ. මහින්ද මහත්තයා කවුරු එක්කත් හිතවත්. චන්ද්‍රිකා මැතිනි එක්කත් හිතවත්. හැබැයි එතුමිය හිතවත්ද කියලා දන්නේ නෑ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්