මැතිවරණ වියදම් සීමා කරන ජනාධිපතිගෙ යෝජනාවට

  👤  1766 readers have read this article !
By mawbima 2017-10-22

රටේ මැතිවරණ වියදම් පාලනය කිරීමට හා වියදම් පිළිබඳ විනිවිදභාවයක් තහවුරු කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි. මොකද පසුගිය කාලය පුරාවටම පැවැත්වූ මැතිවරණවලට කළු සල්ලි යොදවපු ආකාරය තහවුරු වී තිබෙනවා. මේ වන තුරුත් ඇතැම් ඒවා හෙළිදරව් වෙමින් තියනවා. එක් උදාහරණයක් තමයි මිලියන 600 සිල් රෙදි නඩුව.
එවැනි නීති විරෝධි ලෙස කරන වියදම් නැති කිරීමටත් සිදු කරන ගනුදෙනු විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමටත් අවශ්‍ය වන්නේ ඒ ඒ හේතු බලපෑ නිසයි.

නමුත් සමහර නීති රීති තුළින් පවා රිංගීමට
ඉඩකඩක් පවතින හෙයින් මේ පිළිබඳ ගැඹුරින් හදාරන්න ඕනෑ. ඒ වියදම් නැවැත්විය යුතුයි. අපි ඒකට කිසිම විරුද්ධත්වයක් නෑ. ඉදිරියේදීත් අපි අපේ අදහස් හා තොරතුරු සෘජුවම ඉදිරිපත් කරන්න ලෑස්තියි. නමුත් මේ ගැන සියලු දේශපාලන පක්ෂවල මතය ඉතාම වැදගත්.

කළු සල්ලි
විසි කිරීම සීමා කිරීමට හැකි වෙනවා

මැතිවරණ වියදම් සීමා කිරීම පිළිබඳව මේ වනවිට ඉදිරිපත් කර තිබෙන පනතක් කෙටුම්පත ඉතාම හොඳ දෙයක්. මෙය ලංකාවට අලුත් දෙයක් නම් නෙවෙයි. මෙය මීට පෙරත් ලංකාවේ ක්‍රියාත්මක වුණා. ඒ වගේම මෙම ක්‍රමවේදය විදෙස් රටවල පවා ක්‍රියාත්මක වන ඉතාමත් යහපත් ක්‍රමවේදයක්. මේ මඟින් ලංකාවේ මේ වන විට මැතිවරණ සඳහා කළු සල්ලි විසිකිරීම සීමා කිරීමට හැකියාව ලැබෙනවා. එම නිසා මෙය තවමත් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම ඉතාම හොඳ දෙයක්.

දේශපාලනඥයෝ මේ සීමා බිඳින්න වෙන ක්‍රමයක් හොයා ගනියි

මැතිවරණයකදී කෝටි ගණන් වියදම් කරන්න, නාස්තිකාර මැතිවරණ කටයුතු සීමා කිරීමට ජනාධිපතිවරයා ගෙන ආ මේ යෝජනාව මම පෞද්ගලිකව අනුමත කරනවා. සමාජය තුළ කැපී පෙනෙන සේවාවක් කළ පුද්ගලයන් පවා අසීමිත ලෙස මුදල් වියදම් කිරීමේ ක්‍රමය හරහා අඩු වශයෙන් ප්‍රාදේශීය සභාවකටවත් තේරී පත්වෙන්නේ නැහැ. දේශපාලනඥයා ජනතා කැමැත්තෙන් මිස මුදල්වලින් ජයග්‍රහණය නොකළ යුතුයි.

මම පෞද්ගලිකවම රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළේ මුදල් වියදම් කරලා නෙවෙයි. හැබැයි එහෙම වෙන්නෙ සුළු වශයෙන්. මුදල් සිමා කළත් දේශපාලඥනයා මේ සීමා බිඳින්න නව සොයා ගැනීම් කරයි. හොඳම උදාහරණය ඇතැම් දේශපාලනඥයකුට පුළුවන් ඔහු නමින් වෙනත් කෙනකුට මුදල් වියදම් කරන්න. ඒ නිසා එලෙස මුදල් වියදම් කළ නොහැකි සීමාත් ගෙනෙන්න ඕනි.

දේශපාලනයේ නිරත වන කාන්තාවන්ට හුඟක් හොඳ වැඩක්

ගොඩක් හොඳ වැඩක්. ලෝකයේ බොහෝ රටවල මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. දේශපාලනය තුළ පෞද්ගලික චරිත ජනප්‍රිය වෙන්නෙ මුදල් කියන සාධකය මතයි. සෘජු තීරණ ගන්නා, අවංක, ජනතාවට හිතවත් මුදල් නැති දේශපාලනඥයා මුදල් නොමැතිකමින් දේශපාලනය තුළ අතරමං වෙනවා. විශේෂයෙන් මැතිවරණයේදී මුදල් සීමා කිරීම කාන්තාවන්ට ගොඩක් හොඳ දෙයක්. රටට ආදරය කරන, රටට වැඩදායි පිරිසක් පාලනයට සහභාගි කරවගන්න මේ තුළින් ජනතාවට වැඩි ඉඩකඩක් ලැබෙනවා. දේශපාලන තරගකාරීත්වය නැති කරන්න හොඳ ක්‍රමයක් ජනාධිපතිතුමා යෝජනා කරලා තිබෙන්නෙ. දේශපාලනඥයා ජනතාව අතරේ ජනප්‍රිය වෙන්නෙ ඉතා අසාධාරණ ලෙසයි. ඒ නිසා යම් ප්‍රමාණයකට මුදල් පාලනය කිරීම අපි සියලුදෙනා අගය කළ යුතුයි. ඒ සඳහා ප්‍රශංසා කළ යුතුයි.

සාකච්ඡා කරලා පක්ෂයේ ස්ථාවරය කියනවා

මැතිවරණයට අදාළ වියදම් සීමා කිරීම් හා වියදම් පිළිබඳ එවැනි කෙටුම්පත් හදලා තියනවා. නමුත් තවම අපි ඒ ගැන සාකච්ඡා කර නෑ. ඒ සම්බන්ධව පුළුල් සාකච්ඡාවක් සිදු කර අපි අපේ ස්ථාවරය ප්‍රකාශ කරන්න සූදානම්. විශේෂයෙන්ම මේ කෙටුම්පත පිළිබඳ පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමට වගේම ඒ ගැන අධ්‍යයනය කිරීම වැදගත්.
ඒ අනුව අපි සාකච්ඡා කර පක්ෂයේ ස්ථාවරය දැනුම් දෙන බවට මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දුන්නා.
ඒ වගේම ජවිපෙ මේ වනතුරු සියලු තොරතුරුවල නිවැරදි දත්ත අවශ්‍ය වෙලාවට ලබාදී තිබෙනවා. මේ ගැනත් අපි කරුණු දක්වන්න සූදානම්. කිසිදු විරුද්ධත්වයක් නෑ.

සල්ලිවලින්
ඡන්ද කරන්නේ නැති
සමාජයක් බිහිවේවි

මැති ඇමැතිවරු හොරකම් නොකරන, හොරකම් කළ බවට චෝදනා එල්ල නොවන දේශපාලන ප්‍රවාහයකට මුල පුරන හොද ක්‍රමයක් ජනාධිපතිවරයා යෝජනා කරලා තිබෙනවා. ගැටුම් ඇති කර ගන්නේ නැති, කාගේ හරි සල්ලිවලින් ඡන්දය කරන්න යොමුවන්නේ නැති දේශපාලන සමාජයක් රට තුළ නිර්මාණය කරන්න මේ සීමා කිරීම හරහා සිදුවෙනවා. මුදල් සීමා කළාට පසුව මින් ඉදිරියට ඇතිවෙන්නෙ නැහැ ජනතාවගේ ඡන්දය මුදල්වලට ගන්න පුළුවන් යුගය. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට තමයි ජනාධිපතිවරයකු විසින් කැබිනට් මණ්ඩලයට මෙවැනි යෝජනාවක් ගෙනාවේ. මේ ක්‍රමය හරහා ඉදිරියේදී ප්‍රාදේශීය සභාවට, පළාත් සභාවට, පාර්ලිමේන්තුවට, ගමේ සාමාන්‍ය මිනිසුන්ට, උගත් බුද්ධිමත් අයට මුදල් නොමැතිව එම ආයතන නියෝජනය කරන්න පුළුවන් වෙයි. ජනාධිපතිතුමා ගෙනා මේ යෝජනාවට අත ඔසවන්න කැබිනට් මණ්ඩලයේ සිටීම ගැන පෞද්ගලිකව සතුටු වෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්