සැප කනේ තියාගෙන හිරේ ඉන්න ජාත්‍යන්තර ප්‍රමිතියට හදපු අපේ අලුත් හිරගෙදර

  👤  1910 readers have read this article !
By mawbima 2017-10-22

සමාජයේම වරදින් උපන් දේ සමාජය විසින්ම නිගාදී බැහැර කරනු ලැබීමට තරම් අද සමාජය බොහෝ ආත්මාර්ථකාමී වී ඇත.
මීතොටමුල්ල කසළ කන්ද, මනුෂ්‍ය ජීවිත ගණනක් බිලි ගනිද්දී 'අපේ ගමට පමණක් කසළ එපා' කියමින් විරුද්ධ වූ සමාජය ඉදිරියේ එදා ගොඩගැසුණේද කසළවලින් අපවිත්‍ර වූ වටපිටාවක් නොවේද?

අඟුණුකොළපැලැස්සේ ඉදිවෙන බන්ධනාගාරයටද එවැනිම විරෝධතාවක් පෑමට සමාජය අමතක නොකළේ ඔළු තුළ ඔද්දල් කරගත් කතිකාවත් හරහා මවා ගත් භීකිතා නිසාමය.
'සිරකරුවාද මනුෂ්‍යයෙකි' යන කියමනට අලගු තබමින් සමාජය විසින් කැළි කසළ විරෝධතාවට නොදෙවැනි විරෝධතාවක් සිරකරුවන් රඳවා තැබීමට ඉදිවන අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයටද එල්ල කරන ලදී.
සමාජයේම වරදක් වූ කැළි කසළවලට එදා සමාජයම උරණ වූ තරම.... සිරකරුවකු බිහිවන්නේද සමාජයේ වරදින් නේද යැයි මා සමාජයට පැවැසුවහොත් සමාජයම පෙරළා ඊට ප්‍රතිවිරෝධී ප්‍රතිචාර දක්වනවා නොඅනුමානය.

නමුදු මනුෂ්‍යත්වයෙන් ඔවුන් දෙස බලා ඔවුන්ගේ ජීවිතවල පොදි බැඳගත්, ඔවුන්ගේ දෑත් අතර මිට මොළවා ගත් දුක්ඛ දෝමනස්සයන් විචාරය කරන්නට ඔය කියන සමාජයම පෙළ ගැසුණහොත්, සිරකරුවන් අබියස සිටගත් සමාජ අසාධාරණත්වයම ඔවුන් සිරකරුවකු බවට පත්කළ කඳුළු කතාව, කාසියේ දෙපැත්ත මෙන් රැඳී තිබෙනු ප්‍රත්‍යක්ෂ කරගත හැකිය.

පාසලක් වැහෙද්දී සිරගෙවල් දාහක් ඇරේ යැයි කියමනක් පැවැතියද, එවැනි සිරගෙවල්වල සිරබත් කන්නේද මනුෂ්‍යයන් බව සිතන්නට අද රටේ පාලකයන්ගේ සිට පොදු මහත් ජනතාවම මැළිකමක් දක්වති.

එසේ ගමකට, නගරයකට සිරකරුවන් රඳවා තබන බන්ධනාගාරයක ආගමනය සමාජ ගැටලුවකැයි සිතීමේ පදනම කුමක්දැයි අප තුළ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මේ ඒ පිළිබඳ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පැවැසූ වදන් කිහිපයකි.
'යම් ප්‍රදේශයක බන්ධනාගාරයක් හැදෙනවා කිව්වහම ඒ ප්‍රදේශයේ ජනතාව බය වෙන්න අවශ්‍ය නැහැ. ඔවුන් සමාජයෙන් කොන් කරනවාට වඩා ඔවුන්ව ඵලදායීව සමාජ සුබසාධනයට යොදා ගත හැකි ආකාරය ගැනයි සමාජයක් විදියට අවධානය යොමු කළ යුත්තේ. ප්‍රදේශයේ විවිධ කටයුතු සඳහා ඔවුන්ව ආරක්ෂිත ලෙස යොදා ගත හැකියි. ආගමික කටයුතු කෘෂිකාර්මික ආදී කටයුතු සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගත හැකියි.

අඟුණුකොළපැලැස්සේ ඉදිවුණු බන්ධනාගාරයටත් මෙවැනි බොහෝ විරෝධතා එල්ල වුණා. නමුත් මේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ඇති සුවිශේෂතා දකින්න ඉදිරිපත් වෙන පිරිස අඩුයි. සිරකරුවෝද මනුෂ්‍යයෝ යැයි සිතා සිරකරුවන්ටද මනුෂ්‍යත්වයෙන් සැලකීම අපේ පරමාර්ථයයි. එවැනි මනුස්සකම් උදෙසා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙරට ඉදිවුණු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය පසුගියදා විවෘත වුණා.'

මේ සුවිශේෂි අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විශේෂතා නොදත් ඔබට කෙරෙන විවරණයකි.
ලාංකේය බන්ධනාගාර ඉතිහාසයේ එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුව ඉදිවුණු ප්‍රථම බන්ධනාගාරය ලෙස මේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය හැඳින්විය හැකිය. අක්කර 45ක් දක්වා විහිදෙන භූමි භාගයක ඉතා ආරක්ෂාකාරීව නිර්මාණය කළ මේ බන්ධනාගාරයෙහි රැඳවියන් 1,300ක් රඳවා තබා ගැනීමේ පහසුකම් පවතී.
රුපියල් මිලියන පන්දහසක වියදමෙන් ස්ථාපිත මේ බන්ධනාගාරය ඉතා උසස් තත්ත්වයේ ක්‍රමවේදයට අනුව සකස් කර තිබේ.

'මානුෂීයවාදී පරිසරයක් තුළ අනාගතය සඳහා මිනිසුන් හැඩගැස්වීම' තේමාව කරගත් මේ බන්ධනාගාරය සැබැවින්ම මානුෂීයවාදීය. එසේම ඔවුන් එසේ හැඩගැස්වීමටද මේ බන්ධනාගාරය භෞතික හා මානව සම්පත්වලින් ගහනය. ඒ නිසාම මේ බන්ධනාගාරය සිය තේමාව යථාර්ථයක් කරවන බන්ධනාගාරයකැයි නිසැකයෙන්ම පැවැසිය හැකිය.
රැඳවියන් පුනරුත්ථාපනය සඳහා විශේෂිත ශාලා ඉදිකොට ඇති මේ බන්ධනාගාරය තුළ ඔවුන්ගේ වෘත්තීය පුහුණුවට අමතරව ඉංග්‍රීසි, පරිගණක ආදී පන්ති පවා පැවැත්වේ.
විශේෂ සිරකරුවන් හා සාමාන්‍ය සිරකරුවන් වෙන වෙනම ස්ථාන ගත කිරීමට ස්ථාන සකසා තිබේ.

මෙරට පවතින අනෙකුත් බන්ධනාගාර ගතහොත් පහසුකම් ඉතා අඩු තත්ත්වයේ පැවැතියද රැඳවියන්ද වෙන් වෙන්ව රඳවා තැබීමේ අවස්ථා සුලබ නොවේ. නමුත් මෙහි විශේෂ සිරකරුවන් රඳවා තබන ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර ඇත.
එසේ වුවත් සිරකරුවන්ට පීඩනයකින් තොරව එහි රැඳී සිටීමේ සියලු පහසුකම් මේ බන්ධනාගාරය සතුව පවතී. සිරකරුවන්ට ඔවුන්ගේ ඇඳුම් පවා තබාගැනීමට සිරමැදිරි තුළ කබඩ් පවා ඉදිකොට තිබේ.

රැඳවියන් බැලීමට එන අමුත්තන් සඳහාද එම බන්ධනාගාරය තුළ විශේෂ පහසුකම් සකසා තිබේ. අන් බන්ධනාගාරවලට වඩා රැඳවියන් කෙරෙහි විවිධ ආරක්ෂිත ක්‍රමෝපායන් තුළින් අවධානය යොමු කරන බව එහි සපයා ඇති ආරක්ෂක විධිවිධාන සහ සැලැසුම් සහගත ක්‍රමෝපායන් හරහා දිස්වේ.
රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් හා රැඳවියා අතර සන්නිවේදන කටයුතු මේ බන්ධනාගාරය තුළ සිදුවන්නේ වෙනස් ආකාරයකටය. වීදුරුවකින් එහා පසට වී කතා කිරීමේ අවස්ථා සපයා දී ඇති අතර කතාබහ සිදුවන්නේ දුරකතන මාර්ග උපයෝගී කරගනිමින්ය. ඒ හරහා කිසිදු ආකාරයේ ද්‍රව්‍ය හුවමාරුවක් සිදු කිරීමේ හැකියාවක් නොමැත.
එහි ආරක්ෂක රාජකාරියේ නියැළෙන නිලධාරීන්ට සිය කටයුතු පහසුවෙන් කරගෙන යෑමට ක්‍රමවේද සකස් කර ඇති අතර මුළු බන්ධනාගාරයේම කටයුතු දර්ශනය වන ආකාරය සී.සී.ටී.වී. කැමරා ආශ්‍රයෙන් රූපගත වන අතර ඒවා නිරීක්ෂණය කිරීමට පැය 24 පුරාම ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක්ද මේ තුළ ස්ථාපනය කර තිබේ.
එසේම බන්ධනාගාරය සතු අවි ආරක්ෂිතව තබා ගැනීමට විශේෂ අවි ගබඩාවක්ද බන්ධනාගාරය සතුවේ. රැඳවියන්ට බන්ධනාගාරයෙන් පැන යෑමට නොහැකි වන ආකාරයට ඉදි කළ ඉතා උස් ප්‍රාකාරයකින් වටවූ මේ බන්ධනාගාරය තුළ සියලු දේ මෙන්ම සියල්ලෝම වඩා ආරක්ෂිතය.

මේ වනවිට තංගල්ල බන්ධනාගාරයේ රැඳවියන් මේ බන්ධනාගාරය වෙත රැගෙන විත් රඳවා තිබේ. පවතින ඉඩ පහසුකම් පරිදි වෙනත් බන්ධනාගාරවල වෙසෙන රැඳවියන්ද මේ බන්ධනාගාරය වෙත රැගෙන ඒමට සැලසුම් කර තිබේ. ඒ අතර මරණ දණ්ඩනය සඳහා නියම වූ සිරකරුවන්ද සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා අප හා පැවැසුවේය.
එසේම බන්ධනාගාරය තුළ ඉදිකර ඇති බේකරියේ රැඳවියන්ගේද සහායෙන් නිෂ්පාදනය කරන පාන්, බනිස් ආදිය අවට ප්‍රදේශවලට සහනදායී මිලකට අලෙවි කරන අතර ඒවා විකිණීම සඳහා බන්ධනාගාරය ඉදිරිපිට කඩ හා සාප්පු සංකීර්ණයක් ඉදි කර තිබේ.
රැඳවියන් අතින් නිර්මාණය වන විවිධ අත්කම් ඇතුළු නිෂ්පාදන අලෙවි කිරීම මේ සාප්පු සංකීර්ණය තුළ සිදුවේ.
මේ බන්ධනාගාර පරිශ්‍රයේ පිහිනුම් තටාකයක්, ගෘහස්ථ ක්‍රීඩාංගණයක් හා ක්‍රීඩාංගණ පහසුකම් සපයා තිබේ. ඒවා පරිහරණයට රැඳවියන්ට ඉඩකඩ නොලැබුණද බන්ධනාගාර නිලධාරීන්ට, ප්‍රදේශයේ ජනතාවට හා විවිධ ආයතනවල සේවකයන්ට ඒවා භාවිත කිරීමේ පහසුකම් තිබේ.
මෙවැනි පහසුකම් සමුදායක් සමඟින් ශ්‍රී ලාංකේය බන්ධනාගාර ඉතිහාසයට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය නව මුද්‍රාවක් තබා ඇත. ඒ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙරට ඉදිවූ ප්‍රථම බන්ධනාගාරය ලෙසයි.

මේ නවීන පහසුකම් රැගත් බන්ධනාගාරය ඉදිකිරීමේ කටයුතු 2014 වර්ෂයේ ඇරැඹුණු අතර ප්‍රදේශවාසීන්ගේ සහ විවිධ දේශපාලනඥයන්ගේ දැඩි විරෝධතා හා විවේචන මැද සියලු වැඩකටයුතු නිමාකොට පසුගියදා විවෘත කෙරිණි.
එල්ල වූ විරෝධතා මධ්‍යයේදී මේ බන්ධනාගාරය ස්ථාපනය කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ඩී.එම්. ස්වාමිනාදන් මහතාගේ මැදිහත් වීමෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් ප්‍රශංසනීය සහාය අගය කළ යුතුමය.

මන්ද අද මේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය බන්ධනාගාරයක් ලෙසින් විවෘත වීමට මේ දැක්වූ සහාය සුවිශේෂි නිසාය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතාට අපගේ ස්තූතිය
හර්ෂණී අර්සකුලරත්න
කුමුදු උපුල් ශාන්ත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්