ගම පුබුදන ජනපති දැක්ම ‘ග්‍රාමශක්ති’ දිරි මෙහෙයුම

  👤  1797 readers have read this article !
By mawbima 2017-10-22

අපිට එක ගමක් හෝ අසරණ භාවයේ සහ දුගී භාවයේ යදම්වලින් නිදහස් කළ හැකි නම් සමස්ත රටටම පොදු පරමාදර්ශයක් ඇති වන්නේය. ගම් කිහිපයක් මෙසේ ගොඩනඟමු. එවිට මම ඒවාට මගේ රටට යැයි කියමි. සැබෑ රට සොයාගත හැකි මාර්ගය එයයි.
බෙංගාලයේ ග්‍රාමීය ජනතාව නඟාසිටුවීම සඳහා කැප වූ තාගෝර් නම් ලෝ පතළ ඉන්දීය කවියා එදා ගැමියන්ට පහසුකම් සලසන්නකු ලෙස ශ්‍රී සිකේතන් නම් සංකල්පය ඉදිරිපත් කරමින් කරන ලද්දේ එවන් ප්‍රකාශයකි.

පසුගිය දශක කිහිපය පුරා අපේ රටේද නගරයට ලැබුණු එහෙත් ගමට නොලැබුණු සංවර්ධනය නිසා ගමේ ජනතාවට ජීවත් වීම සඳහා අවශ්‍ය මූලික පහසුකම්වත් නොමැතිකමින් ඔවුන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇත. ගම්මානයේ ඇති සදාකාලික ගැටලු එම ජනතාවගේ ජීවිත සැමදා අඳුරේ සඟවා ඇත.
එහෙත් ගමේ ජනතාවගේ දුක කඳුළු, සුසුම හඳුනන නායකයකු ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කරන්නේ ගමේ ජනතාවටද අලුත් ලෝකයේ රන් අරුණලු දකින වාසනාව උදා කර දීමටය.

වසර 2020 වන විට ගම් 5,000ක ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් "ග්‍රාම ශක්ති" ජනතා ව්‍යාපාරය ආරම්භ කර තිබේ. සමෘද්ධිමත් ආර්ථික මිනිසකු මෙන්ම වගකීම් උසුලන අයිතිවාසිකම් හඳුනන සමාජීය මිනිසකු බිහි කිරීම ග්‍රාම ශක්ති වැඩසටහනේ අරමුණයි.
ජනාධිපති ලේකම්වරයා යටතේ පිහිටුවා තිබෙන දිළිඳුකම පිටුදැකීමේ ලේකම් කාර්යාලය මඟින් හඳුන්වා දෙන ප්‍රජා පාලිත ග්‍රාම ශක්ති වැඩපිළිවෙළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැලසුම් කර ක්‍රියාවට නංවන්නේ ග්‍රාම නිලධාරි වසම් මට්ටමිනි.

එහිදී අදාළ ජනතාව සහ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක වන සංවර්ධන නිලධාරීන් එම කාර්යයට සහභාගි කරවා ගැනීම සහ ඔවුන් එම සැලසුම්කරණයේ කොටස්කරුවන් බවට පත් කරවා ගැනීම සිදු කෙරේ. ගමෙන් සකස් වන සැලසුම් අනුව ගමෙහි මූලික අවශ්‍යතා සැපිරීම අරමුණු කොටගත් ප්‍රාදේශීය සංවර්ධන සැලැස්මක් ගොඩනැංවීම මෙහි අවසාන ප්‍රතිඵලයයි.

ග්‍රාම නිලධාරී වසම් තුළ ජීවත් වන පූර්ණ දිළිඳු කණ්ඩායම්වල ජීවන අවශ්‍යතා, ග්‍රාම නිලධාරී වසම් තුළ ජීවත් වන සාපේක්ෂ දිළිඳු කණ්ඩායම්වල ජීවන අවශ්‍යතා, කාන්තාවන්, තනි කාන්තා ගෘහ මූලිකයන්ගේ ජීවන අවශ්‍යතා, රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ජීවන අවශ්‍යතා, උතුරු නැඟෙනහිර ප්‍රදේශවලදී යුද්ධයට මැදි වූ ජන කණ්ඩායම්වල ජීවන අවශ්‍යතාවන්, වෙනත් ආකාරයකින් සවිබල ගැන්විය යුතු කණ්ඩායම්, ව්‍යවසායකත්වය සහිත හෝ ව්‍යවසායකත්වයට එළැඹීමට අවැසි පුද්ගලයන්ගේ ජීවන අවශ්‍යතා, ප්‍රදේශයේ ජනතාවගේ ණය බර හා ඉන් මුදාලීමට ඇති අවස්ථා, ව්‍යවසායකත්වය සඳහා වන ප්‍රාග්ධන සපයා ගැනීමේ අවස්ථා හඳුනාගෙන ඇති ජීවන මාර්ග සැපයීමේ අවස්ථාවන්ගේ තිරසරභාවය වැනි අවශ්‍යතා පිළිබඳ අදාළ සැලැස්ම මඟින් අවධාරණය කෙරේ.

ග්‍රාම ශක්ති ව්‍යාපාරයට අයත් ග්‍රාමසේවා වසම් තෝරාගත් පසු ඒවායේ ජනතා සමාගම් පිහිටුවා ග්‍රාම සංවර්ධන සැලසුම් සකස් කර ක්‍රියාත්මක වීමෙ ක්‍රියාවලිය පහසුකරණය, ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වන රේඛීය ආයතන සහ පෞද්ගලික අංශයේ වැඩසටහන් තෝරාගත් ග්‍රාමසේවා වසම් වෙත යොමු වීමට සමායෝජනය සහ අඛණ්ඩව ප්‍රගතිය පළාත් කමිටුව විසින් වාර්තා කරනු ඇත. ප්‍රාදේශීය ලේකම්, සැලසුම් අධ්‍යක්ෂ, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, පෞද්ගලික අංශයේ නියෝජිතයන් ලෙස එහි සංයුතිය සකස් වේ.
අපේ රට තුළ පූර්ණ දිළිඳුභාවය අවම තත්ත්වයකට ගෙන ඒම සිදුවී නැති නමුදු දිළිඳුභාවය අවම කිරීමේදී එහි තිරසරභාවයක් සාක්ෂාත් කර ගැනීමේ අවශ්‍යතාව ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය හරහා අපේක්ෂා කෙරේ. රට තුළ පූර්ණ දුගීභාවය අවමව ඇති තත්ත්වයක් තුළදී පවා තවමත් පූර්ණ දිළිඳුභාවය සාපේක්ෂ දිළිඳුභාවය මෙන්ම කුඩා දරුවන් අතර මන්ද පෝෂණය ඉහළ මට්ටමක පවතී. රට තුළ වෙසෙන දිළිඳු කණ්ඩායම් සීමාව ආසන්නයේ ජීවත් වන ජනතීරු නැවතත් දිළිඳුභාවයේ සීමාවෙන් පහතට වැටීමේ අවදානමක්ද සහිතය.
දශක 07කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන සමාජ සුබසාධන වැඩපිළිවෙළ හරහා පමණක් සමාජ දිළිඳුභාවය අවම කිරීමට නොහැකිය. ආර්ථික සමෘද්ධිමත් බව කියැවෙන දිස්ත්‍රික්ක තුළ පවා සැවොම ඇතුළත් ආර්ථික සංවර්ධනයක් (ධ්දජතභඵඪමඥ ට්පධඹබඩ) හඳුන්වා දීමට නොහැකි වීම නිසා නගරය සහ ගම තිරස්ව සම්බන්ධ කරමින් පූර්ණ දිළිඳු කණ්ඩායමට හෝ සාපේක්ෂ දිළිඳු කණ්ඩායමට හෝ දිළිඳුකම ආසන්නයේ ජීවත් වන ආර්ථික කණ්ඩායම්වලට සංවර්ධනයේ හා ආර්ථිකයේ ප්‍රතිලාභ සහ සම්බන්ධ කරවීමට මේතාක් දුරට නොහැකි වී තිබේ.

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ඉහත කී සියලු අභියෝග සඳහා දෘෂ්ටිමය, මූලෝපායික, ආයතනික හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් විකල්ප විසඳුම් ලබාදීම අරමුණු කොට හඳුන්වා දෙනු ලබයි.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගයෙන් හා පහසුකම්කරණයෙන් යුතුව, බිම් මට්ටමේ වගකීම් දරන ප්‍රජාතන්ත්‍රවාදී සහ කාර්යක්ෂම ආයතන ජාලයක් ගොඩනැඟීම, එම ආයතන දිළිඳු මහජනතාවගේ ඉදිරිපත් වීමෙන් ඔවුන්ගේ සහභාගිත්වයෙන් හා ඔවුන්ගේ තීන්දු තීරණ මතින් ක්‍රියාත්මක කිරීම, ජනතා ආර්ථික හා සංවර්ධන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා සහභාගිත්ව සංවර්ධනය හා සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මනා පරිචයක් සහිත පසුකාරකයන්, සංවිධාන හා ජනතාව සමඟ යෙදවීම ජනතා සමාගම් එකතු කොට නිෂ්පාදන, සේවා ඒකාබද්ධ සමාගම් පිහිටුවීම, එම ඒකාබද්ධ සමාගම් දැනටමත් පවතින පොදු ජනතා ආයතන සමඟ සම්බන්ධ කිරීම, ජනතා සමාගම් සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නන් සඳහා තාක්ෂණික කළමනාකරණ හා පොදු ප්‍රතිපත්ති මෙහෙයවීමට අදාළ පුහුණුව ලබාදීම හා ඒ සඳහා වන ආයතන බිහි කිරීම, සංවිධාන අතර අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩසටහන් හඳුන්වා දීම ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය හරහා සිදු කෙරේ.
ජනතා සමාගම් ගොඩනැඟීමේදී දැනටමත් ගැමිදිරිය වැඩසටහන යටතේ පිහිටුවා ක්‍රියාත්මක වන ජනතා සමාගම් මෙම වැඩපිළිවෙළට බද්ධ කොට ගැනීම සිදු කෙරෙන අතර ග්‍රාමශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය නිලධාරීන් සහ පහසුකම් සපයන්නන්ට නිරන්තර ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව හා සඵලදායකත්වය ඉහළ දැමීමේ සාකච්ඡා සහ පුහුණු වැඩසටහන් හඳුන්වාදීම සිදුවේ.
එමෙන්ම ගොඩනැඟෙන ජනතා සහභාගිත්ව ආර්ථික හා සංවර්ධන ක්‍රියාවලිය සැලසුම්ගතව ක්‍රියාත්මක කරන ප්‍රාදේශීය ක්ෂුද්‍ර ආර්ථික වැඩපිළිවෙළෙහි ඉලක්කගත වැඩපිළිවෙළකි. එකී ජනතා ආර්ථික හා සංවර්ධන ක්‍රියාවලිය තිරසරභාවය සහතික කිරීම සඳහා ජනතා ආයෝජනය සහතික කිරීම සහ ඒ සඳහා ප්‍රජා දායකත්වය සහිත ප්‍රජා ඉතුරුම් ක්‍රම සහ බාහිර ආයෝජන ක්‍රම හඳුන්වාදීම සිදු කෙරේ.

එමෙන්ම ව්‍යවසායකත්ව සංවර්ධනය, අගයදාම කළමනාකරණය, සැපයුම්දාම කළමනාකරණය හා යෙදවුම් බාහිර මූලාශ්‍රකරණ සහතික කිරීම සඳහා පෞද්ගලික අංශයේ මැදිහත් වීම සහතික කිරීම, කළමනාකරණ උපදේශන සේවා සහතික කිරීම, සානුබල සැපයුම හා ධනාත්මක ව්‍යවසායක පරිසරයක් නිර්මාණය කිරීම, සැලසුම්කරණයට අධීක්ෂණයට හා පසු විපරමට නිරන්තරයෙන් ලක් කිරීම විශේෂත්වයකි.

දුගී බවින් මිදී ව්‍යවසායකත්වයට පරිවර්තනය කිරීමේදී මෙය ක්‍රමානුකූල වැඩසටහනක් වන අතර ව්‍යවසායකත්වයට පිවිසීමේදී මානව සාමූහිකත්වය ඉස්මතු කරන ජනතා ව්‍යාපාරයක් මේ හරහා ගොඩනැඟේ. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්වැල් බැඳගැනීම තුළ දිළිඳුකම පිටුදැකීම සඳහා සංවර්ධන හා පර්යේෂණ පහසුකම්ද සැලසේ.
එක්ව නැඟිටීමට ගම සංවිධානය කරන "ග්‍රාම ශක්ති" ජනතා ව්‍යාපාරය ජනගත කිරීමේ ජාතික උත්සවය පසුගිය 20 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පී.ඒ.එස්. ප්‍රදීපිකා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්