උමා ඔය ජනතාව අන්ත අසරණයි වතුරත් වන්දිත් ගෙවලුත් නෑ

  👤  1828 readers have read this article !
By mawbima 2017-10-22

හාපත්ගම, කොන්තවෙල, එරනවෙල ආදී ප්‍රදේශවල කුඹුරු අක්කර 3,000ක් ගොවිතැන් කළ පුස්සගල කුඹුර ඔය සම්පූර්ණයෙන්ම හිඳී ගියේ මීට මාස කිහිපයකට පෙරදීය. හිස්ව ගිය පුස්සගල කුඹුර ඔය පසුගිය සතියේ බදාදා වනවිට ගැඹුර අඩි 15කින් පමණ වන්නට ගිලා බැස්මට ලක් වී ඇත. එසේම දවසින් දවස නිවාසවලින් ඉවත්වන ලෙස ලියුමක්ද ලැබෙයි. එරනවල ආශ්‍රිතව දවස් දෙකක් ඇතුළත පවුල් දහ අටකට පමණ ඉවත්වන ලෙස දැනුම් දී තිබේ.
ඒ උමා ඔය ඛේදවාචකයේ අලුත්ම තත්ත්වයයි.

උමා ඔය ඛේදවාචකය බණ්ඩාරවෙල, වැලිමඩ, ඇල්ල, හපුතලේ ආදී ප්‍රදේශ රැසක 28,000කට අධික ජනතාවකට දෛනිකව බලපාන අර්බුදයක් බවට පත්වී ඇත. පානීය ජල හිඟය, සේදීම්, වැසිකිළි අවශ්‍යතා පමණක් නොව වගා කටයුතු සඳහාද ජලය හිඟවීමෙන් ඔවුන්ගේ ජන ජීවිතය අඩාල වී ඇත. ඔවුන්ගේ නිවාසවල බිත්ති පුපුරා ඒවායේ ජීවත් වීමට නොහැකි මට්ටමේ අනාරක්ෂිත තත්ත්වයට පත් වී ඇත. තමන් ජීවිත කාලය පුරා දහදිය හෙළමින් හරි හම්බ කරගත් වතුපිටි, නිවාස, රැකියාව සියල්ල අතහැර දැමීමට මේ මිනිසුන්ට සිදු වී ඇත. අනාගතය පිළිබඳව අද ඔවුන්ට ඇත්තේ අවිනිශ්චිතතාවකි.

රුපියල් මිලියන 600ක් බදුල්ලට යවා ඇති මුත් කූඩාරමක්, ටකරං මඩුවක්, වැසිකිළියක්, තාවකාලික නිවෙසක්, විකල්ප මාර්ගයක් හෝ රු. 15,000ට වැඩි නිවාස කුලිය හෝ රජයේ තක්සේරුකරුවන්ගේ දීමනා කිසිවක් ලබා දී නොමැතිව මේ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ කීර්ති තෙන්නකෝන් මේ අතර චෝදනා කරන්නේය.

ජනතාවට ජලය ලැබෙන්නේ දින 7කට වරකි.
මේ ප්‍රදේශයට දැන් ඊසාන දිග මෝසම් වර්ෂාව ලැබීමට නියමිතය. නොකඩවා මාස තුනක් පමණ අල්ලා සිටින මේ වර්ෂාව නිසා දැනට ගිලා බැසීමට ලක් වී ඇති බණ්ඩාරවෙල ප්‍රදේශය දැඩි බලපෑමකට ලක් වීමට ඉඩ ඇත.

එසේම මේ වනවිට ඒ ප්‍රදේශයේ ගම්මාන 32ක් පමණ නාය යෑමේ අවදානමට ලක් වී ඇති බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පෙන්වා දී තිබේ.
පසුගිය සැප්තැම්බර් 11 වැනි දින ගිණුමේ මුදල් අවසන් නිසා සහන කටයුතු නවතා දැමීමට සිදුවන බවට මහවැලි සංවර්ධන අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිට වාර්තා කිරීමෙන් පසු ජනාධිපතිවරයා පසුගිය සැප්තැම්බර් 13දා රු. මිලියන 100ක් වහාම උමා ඔය සහන කටයුතු සඳහා යොදවා ඇත.
කිසිදු භාවිතයකින් තොරව ජනතාවට මුදල් නිදහස් කරන්නේද නැතුව මාසයකට වැඩි කාලයක් රුපියල් මිලියන 100ක මුදලක් බදුල්ල සහන ගිණුමේ පවත්වාගෙන ගොස් ඇති බවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මාධ්‍ය නිවේදනයකින් දන්වා තිබේ.

උමා ඔය ව්‍යාපෘතිය නිසා නිවාස 2,467කට වන්දි ගෙවිය යුතු වුවත් මාස 3ක් ඇතුළතදී නිවාස කුලී දීමනා ගෙවා ඇත්තේ පවුල් 106කට පමණි. බණ්ඩාරවෙල පමණක් නිවාස 1,174ක් හානි වී ඇත. එයින් නිවාස 46කටද ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් නිවාස 59කටද හපුතලේ එක් නිවාසයක් සඳහා රු. 15,000ක නිවාස කුලී ගෙවා ඇත. රුපියල් 25,000ක උපරිමයකට යටත්ව නිවාස කුලී ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතත් එක් අයකුට හෝ රු. 25,000ක් නම් ලැබී නැත.
හානි සිදුවූ නිවාස 2,467න් 565කටම ගෙවා ඇත්තේ රු. 10,000ට අඩු වන්දි මුදලකි. වර්ෂාවත් සමඟ එම නිවාසවලින් ජනතාවට ඉවත්වීමට සිදු වී ඇත. නිවාස 1,120ක් සඳහා රු. 10,000 - 50,000ක් අතර වන්දි මුදලක් ගෙවා ඇත. නිවාස 416කට රු. 50,000ත් 100,000ත් අතර වන්දි ලැබී ඇත. නිවාස වන්දි ලැබූ 85%ක්ම ලැබී ඇත්තේ රුපියල් ලක්ෂයකට අඩු වන්දියකි.

රුපියල් 100,000 සිට 500,000 අතර වන්දි මුදල් ගෙවා ඇත්තේ නිවාස 259කට පමණි. ඔවුන් බහුතරය වහා ඉවත්විය යුතුය. ලක්ෂ 5කින් නිවෙසක් මිලදී ගත නොහැකි නිසා ඒ මුදල්වලින් ඔවුන් නිවාස කුලියට අරගෙන ඇත.
තක්සේරු නිලධාරීන් සඳහා ආහාරපාන ලෙස රුපියල් 168,525ක මුදලක්ද ඉන්ධන වියදම් සඳහා රු. 142,072ක මුදලක්ද වැය කර තිබේ. තක්සේරු නිලධාරීන්ගේ දීමනාද මාස දෙකකින් ගෙවා නැති බව චෝදනාවකි.

මේ චෝදනාවලට පිළිතුරු මොනවාදැයි අපි බදුල්ල දිසාපති නිමල් අබේසිරිගෙන් විමසුවෙමු.
ජන සහන ගිණුමේ මුදල් නොමැති බව දැන්වීමෙන් පසු මිලියන 100ක් දැම්මත් එය ජනතාව වෙනුවෙන් යොදවා නැති බවට ඔබට චෝදනාවක් එල්ල වෙලා?
තුන් වැනි වතාවට ඔක්තෝබර් 10 වැනිදා මිලියන 100ක් දැම්මා. ලැබුණු මිලියන 600න් දැන් රුපියල් පනස් පන් කෝටි හතළිස් හත් ලක්ෂ හතළිස් හතරදාස් දෙසිය විස්සයි සත හතළිස් පහක් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට වෙන් කරලා තිබෙනවා. 10.13 වැනිදා වෙනකොට ඉතිරි රුපියල් හාරකෝටි පනස් දෙලක්ෂ පනස් පන්දාස් හත්සිය හැත්තෑ නවයයි සත පනස් පහයි. ජල ටැංකි 2,746ක් මිලදී ගැනීමට බැඳීම් තියෙනවා එක් කෝටි අට ලක්ෂ දහ අටදාස් නවසිය හැට පහයි සත හතළිහක්. දැනට අපේ ඉතිරිව තිබෙනවා තුන් කෝටි හතළිස් හතර ලක්ෂ තිස් හයදාස් අටසිය පනස් හතරයි සත හතළිස් පහක්. තව තක්සේරු වාර්තා දාහකට ආසන්න ප්‍රමාණයක් ලැබීමට නියමිතයි. ඒ අනුව දැනට බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නිවාස එක්දහස් තුන්සිය හැත්තෑවක් සඳහා විසිපන් කෝටි නව ලක්ෂ දෙදාස් හාරසිය විසිපහක් සහ ගෙවල් කුලී සඳහා තිස්තුන් ලක්ෂ පනස් නවදාස් තිස් දෙකයි සත විසි හතරක් නිවාස 46ක් සඳහා සමස්ත වියදම දරා තිබෙනවා.
මිලියන 600 සහන සඳහා ප්‍රමාණවත්ද?
එවා ඇති තක්සේරු වාර්තාවලින් 83%ක්ම රුපියල් 10,000 සිට 100,000 දක්වා තියෙන ඒවා. මේ සංඛ්‍යාවන් මිනිස්සු මුදල් වශයෙන් ආපසු ලබා ගැනීම්වලට කරන්නේ නැතිකමක් තියෙනවා. එතකොට ඒ ප්‍රතිපාදන අපිට මදි නැහැ. ඒ ප්‍රතිපාදන ලබා ගැනීමට අන්තිම දවසක් දීලා තියෙනවා. අදාළ දිනයට ගත්තේ නැත්නම් නැවත පවරාගෙන ඉතිරි කටයුතු සඳහා යොදවනවා.
අවශ්‍ය නිවාස, කූඩාරම්, වැසිකිළි වැනි පහසුකම් කිසිවක් ලබාදී නැති බවට චෝදනා තියෙනවා?
කූඩාරම් අවශ්‍යතාවක් නැහැ. මොකද නිවාසවලින් ඉවත් කරන මිනිස්සුන්ට සහමුලින්ම ප්‍රතිෂ්ඨාපිත වන්දිය ගෙවනවා. ප්‍රතිෂ්ඨාපිත වන්දිය ගෙවනවා කියන්නේ මිලියන 6-7 අතර ගණන් මිනුම් තියෙනවා වන්දි ගෙවන්න. ප්‍රතිෂ්ඨාපිත වන්දිය ගෙවනකොට අපි අපේක්ෂා කළේ අපි ඉඩම දෙන්න, ගෙයක් හදා ගැනීමට ඔවුන්ට හැකිවන පරිදියි. ඒ ගෙයත් ගෙවල් කුලීවලට අමතරවයි.
දැන් ඉඩම් වෙන් කරලා දීලාද තියෙන්නේ?
නැහැ. තියෙන ප්‍රශ්නය මේකයි. සමස්ත බණ්ඩාරවෙලම තියෙන්නේ රතු සිතියමකයි. ඉඩම් දෙකක් අත්පත් කරගත්තා. ඒ ගැටලුව බරපතළ ලෙස තියෙනවා. අපි මාස 6ක ගෙවල් කුලී ගෙවලා තියෙනවා. එවැනි හොඳ ඉඩමක් තෝරා ගැනීමේ ගැටලුවක් තියෙනවා. දැනට කුඹල්වෙල වැල්ලවාය පාරේ තිබෙන ඉඩමක් හඳුනාගෙන තියෙනවා. ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ඒ ඉඩම පරීක්ෂාවට ලක් කරනවා. ඒක සුදුසුයි කියලා හඳුනාගත්තොත් අත්පත්කරගෙන බෙදා දෙන්න බලාපොරොත්තු වෙනවා.
පරාප් සමාගම විසින් රු. 25,000ක වන්දියක් ගෙවන්න සූදානම් වුණත් ඔබ නිසා එය වැළකිලා තියෙන්නේ කියනවා?
කීර්ති තෙන්නකෝන් කියන ඒ කතාව අමු බොරුවක්. පරාප් සමාගම දෙන්නේ රු. 15,000යි. රු. 15,000 මදියි කියන එක මත කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. එක එක පළාත් සභා, ප්‍රාදේශීය සභා හා නගර සභා සීමා තුළ වෙනසක් කරන්න. බිඳුණු නිවාස තක්සේරු කරන්නත් මිලියන 4.6ක් තක්සේරු දෙපාර්තමේන්තුව ඉල්ලලා තියෙනවා. ඒ තීරණය පරිදි වර්ග අඩි 1,000කට වැඩි මාර්ග පහසුකම් තියෙන විදුලිය තියෙන, වතුර තියෙන ගෙයකට ඒ කියන පරාසය ගෙවන්න කියලා. එහෙම දෙයක් වුණාට පස්සේ නැවත එකින් එක තක්සේරු කරන්න දෙන්න වෙනවා. ඒ නිසා අපි ප්‍රාදේශීය ලේකම්වරුන්ට යවලා තියෙනවා ඔවුන් විසින් මේ පරාසයන් පිළිබඳ සෑහීමකට පත් වෙනවා නම් කුලී ගෙවන්න ඇලෝකේෂන් ඉල්ලන්න කියලා.

තක්සේරු දෙපාර්තමේන්තුව කරන යෝජනාව තමයි මහවැලි සංවර්ධන අමාත්‍යාංශය කැබිනට් එකට දැම්මේ. කීර්ති තෙන්නකෝන්ලා කියන ගණන් මිමි ගෙවන්න ගිහින් මට ආපහු මගේ කලිසම් රෙදි මගේ බිරියට දෙන්න කියන්න බැහැ බන්ධනාගාරේ ඉන්න මිනිස්සුන්ට. ආණ්ඩුවේ මුදල් වැය කරන ක්‍රමවේදයක් තියෙනවා.
දින 7කට වරක් ජලය ලබා දෙන්නේ කියනවා ඔය ප්‍රදේශයේ?

ගිය 27 වැනිදා ජනාධිපතිතුමාගේ අතින් දෙමෝදර ජල යෝජනා ක්‍රමය විවෘත කළා. ජල යෝජනා ක්‍රමය විවෘත කළාට පස්සේ තමයි දැන් බවුසර් පොයින්ට් හදන්නේ. බවුසර් පොයින්ට් එක අපිට 23 වැනිදා සිට දෙනවා කියලා තියෙන්නේ. ඒ අනුව දවසකට ජලය ලීටර් මිලියන 2ක් දීමට නියමිතයි. මේ කඳුකර ප්‍රදේශවලට අපිට බවුසර් එකක් ගෙනියන්න බැහැ. බවුසර් 67ක් වැඩ කරනවා. එයින් 6ක් විතර හප්පාගෙන තියෙනවා. රියැදුරු මහත්වරු නැහැ. එවැනි ප්‍රශ්න තියෙනවා. ජූලි 17 වැනිදා සිට මේ දක්වා ජල ටැංකි 4,045ක් අරන් දීලා තියෙනවා. අලුතින් ඉල්ලන ලද ජල ටැංකි 2,746ක් ටෙන්ඩර් කැඳවලා තියෙනවා. ඒක නිසා ජනතාවට ආණ්ඩුව ඕනවටත් වඩා පහසුකම් දීලා තියෙනවා.

නමුත් ඔය ප්‍රදේශයේ සිටින ජනතාව දිගින් දිගට චෝදනා කරනවා?
නිකන් ලැබෙනවා නම් ඕන කෙනෙක් පත්තර කියවනවා. ඔය කාන්දුව සිදුවුණු බව හැබෑව. ලෝකයේ අවසාන හා පළමු වැනි කාන්දුවත් ඕක නෙවෙයි. සමනල ව්‍යාපාරයේ කාන්දුව සිදුවුණා. ඒ ව්‍යාපාරයෙන් වැලිපොතේවෙල කුඹුරු අක්කර 2,300ක් අවුරුදු 20ක් තිස්සේ වගා කරනවා. ධන වගේ ඍණ සාධක තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නය ඉන්ජිනේරු මහත්වරුන් ඉවර කරගන්න කලින් මේ ප්‍රශ්නය සමාජගත කරගත්තා ජීවත්වෙන්න ඕන කණ්ඩායම.
මෙතන තියෙන්නේ දේශපාලනික කාරණාවක් කියලද ඔබ කියන්නේ?

පැහැදිලිවම මේකෙන් පේන්නේ ඒකනේ. නැත්නම් අපිට ප්‍රශ්නයක් වුණහම අප සියලු දෙනා එකතු වෙලා සාධනීය විසඳුමක් කතා කරන්න එපැයි. මේක පිහිටුවාගෙන තියෙන්නේ බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතිය කියලානේ. අනෙක් එක කවුරුත් කතා කරන්නේ නැහැ මේ පිටාර ගිය වතුරින් පහළ උෟවේ හඳපාන්ගල ජලාශයේ කවදාවත් නැතුව යල කන්නයේ 200%ක වගා සූක්ෂ්මතාවකින් යුක්තව මිනිස්සු කුඹුරු කළ බව. කවුරුවත් ඒ කතා කියන්නෙම නැහැ.

ඔය ප්‍රදේශයේ ජනතාවට බොන්න වතුර නැහැ කියන එක ඊට වඩා ප්‍රබලයි නේද?
ඒක පැහැදිලියි. ජලය තත්ත්පරයකට ලීටර් 1,400ක් කාන්දු වුණා. දැන් ලීටර් 460 ගාණේ අඩු වෙලා. හෑරීම් ක්‍රමය වැරැදි නම් නෝර්වේ විශේෂඥයන් ඇවිත් ඒ ක්‍රමය පිළිබඳ වෙනසක් කරලා දැන් ඒ තත්ත්වය කරගෙන යනවා. ඒක නිසා පොඩි පොඩි දේවල් සිද්ධ විය හැකියි. සමස්ත බදුල්ලම 80%ක් අස්ථාවරයි. ආපදා අවදානම වැඩිම දිස්ත්‍රික්කය බදුල්ල. එසේ තිබියදී මේ උමා ඔය පමණක් නොවෙයි ප්‍රශ්නය තියෙන්නේ. එවැනි ආපදා විනාශකාරී තත්ත්වයකින් පොඩි ටිකක් විතරයි උමා ඔය කියන්නේ.
ඉදිරියේදී ලැබීමට නියමිත වර්ෂාවත් සමඟ විය හැකි ආපදා තත්ත්වයන්ට සූදානමක් තියෙනවාද?

අපි කොහොමත් ඕනෑම ආපදාවකට සූදානම්. කතා කරන මිනිස්සු තමයි කටින් බතල හිටවන්නේ. අපිනේ වැඩ කරන්නේ. ඒ ගොල්ලෝ කිසි වැඩක් කරන්නේ නෑනේ.
නමුත් එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි උද්ඝෝෂණවලට සහභාගිවෙලා හිටියේ? අපි දැක්කා බහුතරයක් ජනතාව එතැන ඉන්නවා?

ජනතාව කියන අයගෙන් 10ක් ගෙනත් දෙන්න. තක්සේරුව 100,000ට වඩා අඩු පිරිස 83%ක් විතර ඉන්නවානේ. ඔය 83% කුළු ගන්වන සාධක තමයි මේ ඊයේ පෙරේදත් උද්ඝෝෂණයක් කළේ. අද මිනිස්සු උද්ඝෝෂණය ජීවත් වෙන්න කරවන වැඩක් වෙලානේ. මාධ්‍ය හෝ අපි කවුරුත් එකතුවිය යුත්තේ මොකක්ද අප විසින් කළයුත්තේ කියන එක කතා කරන්නයි. ප්‍රශ්නයක දෙපැත්තක් තියෙනවා. දෙපැත්තෙන් තියෙන කාරණා කවුරුවත් ඇහුවේ නැහැ.
ඒක තමයි මේ කරන්නේ?

කරන්න ඕන විනාසය කරලා දැන් අහලා වැඩක් නැහැ. මාධ්‍යක මැදි පිළිවෙත රැකගන්න උත්සාහ ගන්න. මින් පස්සේ මම මාධ්‍යට කතා කරන්නේ සම්මුඛව කරන සාකච්ඡාවලට විතරයි.

රසිකා හේමමාලි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්