දකුණ හෙල්ලුම් කාපු අද්භූත හඬ අහස එළිය කරපු ගුප්ත ආලෝකය කුමක්ද? කොහෙන්ද?

  👤  1823 readers have read this article !
By mawbima 2017-10-22

දිනය පසුගිය 18 වැනිදාය. වේලාව රාත්‍රි 8.30 පසුවී තිබිණි. එක්වරම අඳුරු අහස මහ හඬකින් හිගුම් දී ගුප්ත ආලෝක ධාරාවක් මතුවී පෙනෙන්නට විය.
මේ අමුත්ත හා හද ගැස්ම වඩාත්ම දැනුණේ දකුණේ ජනතාවටය. දකුණු පළාතේ බොහෝ ජනයා මේ සිදුවීමත් සමඟ බියට පත්වූහ. කලබල වූහ.
"ඒක හිතා ගන්න බැරි තරම් ලොකු ශබ්දයක්. ඊළඟට ලොකු එළියක්. ඒ එළිය විවිධ ප්‍රදේශවලට ගමන් කළේ හරියට අකුණක් පුපුරලා යනවා වගේ..."
මේ ශබ්දය නිසා අපේ ගෙවල්වල වහල සෙලවුණා වගේ දැනුණා. ජනෙල් වීදුරු "සට" "සට" ගාලා සෙලවුණා.
මෙසේ කියන්නේ දකුණු පළාතේ විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවය. සිංහරාජ රක්ෂිතයට යාබදව ඇති ලංකාගම හා නෙළුව ප්‍රදේශයේ ජනතාව මේ 'අමුත්ත' හොඳින් දැක තිබිණි.

"අපි හුඟක් බය වුණා. මුලදී හිතුවේ අකුණක් පුපුරනවා කියලා. ඒත් ඒ ශබ්දය හා විදුලි ආලෝකය අපි මෙතෙක් දුටු අකුණකට වඩා හුඟක් වෙනස්. "මේ අද්භූත සිදුවීමෙන් කලබලයට පත්වූ ජනතාව අතරට දකුණේ හම්බන්තොට, අම්බලන්තොට, අඟුණකොළපැලැස්ස, හා අකුරැස්ස, හක්මණ ආදී තවත් බොහෝ ප්‍රදේශවල ජනතාව එක්වී සිටියහ. විශේෂයෙන්ම මුහුදුබඩ ගම්මානවල ජීවත්වන ජනතාවද අහස කළ මේ ගෝරනාඩුවෙන් කලබලයට පත්වූයේ තවත් ව්‍යසනයක පෙර නිමිත්තක් දැයි සිතමිණි. සුනාමි ව්‍යසනයෙන් බැට කා සිටි මේ ජනතාව තිගැස්මෙන් යුතු අහස දෙස බලා සුසුම් හෙළුවේ දෙවියන්ට කන්නලව් කරමිනි.
"ඒක නිකම් විදුලි කොටනවා වගේ භයානක දර්ශනයක්. පුදුමාකාර ආලෝකයක් තමයි ඒ වෙලාවේ අහසේ තිබුණේ." අම්බලන්තොට හා අඟුණකොළපැලැස්ස ජනතාව පැවැසූහ.
මේ ශබ්දය ආපු හැටියේ මම එළියට පැන්නා. ඒ වෙලාවේ අපි දැක්කා වලිගයක් වගේ දීප්තිමත් එළියක් අහසේ ගමන් කරනවා. අපි හිතුවේ ඒක දේවතා එළියක් කියලයි. මේක ඇත්තටම කවදාවත් අපි අහලා නැති පුදුමාකාර භයානක ශබ්දයක්.
මෙසේ කීවේ ගාල්ල, බද්දේගම හා අම්පේගම, අලුත්වල ජනතාවය.
මීට වෙනස් කතාවක් කියන්නේ ගාල්ල වංචාවල පදිංචි මහින්ද මහා විද්‍යාලයේ ආචාර්යවරයකු වන සිරිවර්ධන මහතාය.
ඔහු පවසන ආකාරයට පිටුපස දිලිසෙන ලොකු එළියක් තමන් මුලින් දුටු බවය. අනතුරුව ඒ එළිය කැබලි වශයෙන් කැඩී බිමට වැටුණු ආකාරයෙන් තමා තැති ගත් බවය.
"ඒ දර්ශනයෙන් මගේ ඇඟේ හිරිගඩු පිපෙන්න ගත්තා. මාව වෙව්ලන්න පටන් ගත්තා. ගෙදරට ඇවිත් ගේට්ටුව අරින්න හදද්දි තමයි මේ බිහිසුණු අවස්ථාවට මම මුහුණ දුන්නේ."
දකුණේ ජනතාව මෙසේ පවසද්දී මේ තිගැස්සීමට මුහුණ දුන් හිඟුරක්ගොඩ හා දිඹුලාගල ප්‍රදේශයේ ගම්මාන කීපයක පිරිස්ද මේ බිහිසුණු අත්දැකීම පිළිබඳව විස්තර කළේ මෙලෙසිනි.

"අපි මේ ශබ්දයත් එක්ක තැති ගත්තේ යුද හමුදා කඳවුර තුළ කිසියම් කලබලයක් කියලයි."
"ඊළඟට දිවුලගල කන්ද උඩින් ලොකු ශබ්දයක් එක්ක එළියක් ආවා කියලත් අපට හිතුණා. මේ ශබ්දය හා දීප්තිය තිබුණේ තත්පර ගාණයි."
"ගමේ සමහර අය කිව්වා උල්කාපාතයක් කඩා වැටෙනවා වගේ දැක්ක කියලා."
මේ බිහිසුණු ශබ්දය හා දීප්තිය පිළිබඳව ඇතැම් ප්‍රදේශවල ජනතාව එතරම් නොතැකුවේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසාය. ඔවුහු සිතුවේ අහස ගිගුම් දුන් සිදුවීම සාමාන්‍ය දෙයක් ලෙසටය.

එහෙත් එදින රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රකාශ තුළින් විකාශය වූයේ මේ ගිගුරුම් හඬ සහ ආලෝකයට හේතුව 'උල්කාපාතයක්' බවය.
"මොකක්ද මේ උල්කාශ්මිය?"

අභ්‍යවකාශයේ පාවෙන ගල් කැබලි එකිනෙක ගැටී අළුවීම උල්කා නමින් හැඳින්වේ. එම උල්කා පොළොවට වැටීම උල්කාශ්මිය නමින් හැඳින්වේ. මේ බව අප දැනගත්තේ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගෙන් කළ විමසීමකදීය.

කෙසේ හෝ මේ ආකාරයට කඩා වැටුණු උල්කාශ්මිය දැන් ලොව පුරා බොහෝ තාරකා විද්‍යාඥයන්ගේ අවධානයට හා විමසුමට ලක්වී තිබේ.
මේ අතර ඇමෙරිකාවේ නාසා ආයතනය මේ පිළිබඳව කළ නිවේදනයකින් දන්වා සිටින්නේ තාරකා දෙකක් එකිනෙක ගැටීමෙන් විශ්වය පුරා ගුරුත්වාකර්ෂණය පහත වැටී ඇති බවය. මේ නිසා ඉදිරියේ මේ පිළිබඳව වඩාත් සැලකිල්ල යොමු කරන බවද එහි සඳහන්ය. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙහි බලපෑම ඉදිරියේදී තවත් තීව්‍ර විය හැකි බවය.
කෙසේ හෝ මෙරට සාමාන්‍ය ජනතාවගේ හද ගැස්ම ඇති කළ මේ ගිගුරුම් හඬ සහ ආලෝක ධාරාව පිළිබඳව ඉදිරියේ තව තවත් වග විභාග සිදුවීම අනිවාර්ය බව නාසා ආයතනය පවසා ඇතැයි වාර්තා වෙයි.

එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දන ජයරත්න මහතා මේ නිවේදනය ප්‍රතික්ෂේප කරයි. ඔහු සඳහන් කරන්නේ මාධ්‍ය මඟින් ප්‍රකාශ කරන මෙවැනි නිවේදනයක් නාසා ආයතනය නිකුත් කොට නැති බවය.

පෘථිවියට ඇතිවන විවිධ බලපෑම් පිළිබඳව සොයා ගැනීමට හැකිවනු ඇත. එහෙත් බුදුන් වහන්සේගේ දේශනවලට අනුව ලෝකය තුළ සිදුවන සියලු දේ අපට සොයා ගැනීමට ඉඩක් හෝ මඟක් නිසියාකාරව නැත. අපි ලෝකය ගැන දන්නේ ඩිංගකි. නොදන්නා දේ බොහෝය. ඒ තුළ මෙවැනි ගුප්ත සිදුවීම් එකවර සිදුවීම වළක්වා ගත නොහැකිය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ
හම්බන්තොට _ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
තංගල්ල - සහම්පති මානගේ
හිඟුරක්ගොඩ _ ප්‍රියා
වැලිවිටිය _ උපුල් මහේෂ්
ඉමදුව - ටී. විතානවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්