නැන්දත් එක්ක කාක දූපතට ගිය විද්‍යා බියෙන් සලිත වෙයි

  👤  1936 readers have read this article !
By mawbima 2017-10-22

විද්‍යාට නැවත පාසල් යන්නට ලැබීම ගැන හිතේ ලොකු සතුටක් ඇති විය. අෑ තුළ ඉගෙන ගන්නා ආශාව දලුලා වැඩුණේ පාසල් යන්නට වරම් නොලද විටදීය. කුඩා කල ඇය සිතා සිටියේ පුණ්කුඩුතිව් කියන්නේ ලෝකය කියාය. දූපතේ කොයි පැත්තට ගියත් කෙළවර වන්නේ මහ මුහුදෙනි. එක් පැත්තකින් මුහුදේ අෑත එපිට නිල් පැහැති තීරයක් පෙනේ. ඒ නයිනතිව් දූපතය. තවත් පැත්තකින් කයිට්ස් දූපතය. ඒ දෙපැත්තම අත්හැර වෙනත් පැත්තක් බැලුවොත් පෙනෙන්නේ සිතිජයයි. විද්‍යාගේ ළමාවිය පියමන් කළේ ඒ අසිරිමත් දසුන දිනපතා දකිමිනි.

පුණ්කුඩුතිව්වල කවුරුත් එකිනෙකා හා කතා කරන්නේ තරමක් ගැඹුරු උස් හ¾ඩිනි. ඊට හේතුව මුහුදු සුළඟත් එහි ඝෝෂාවත් පරයා හඬ පිට කරන්නට සිදුවීමය. හේතුව කුමක් දැයි නොදනිතත් විද්‍යා අඩුවෙන් කතා කරන දැරියකි. ඕ බිනීමෙහි ලොබ වූවාය. වැඩියෙන් සිතා අඩුවෙන් කතා කරන්නීය. විද්‍යා කලාතුරකින් හිනැහෙන ආඩම්බරකාරියකි. එය ඇගේ සහජ ස්වාභාවය විය. ගමෙන්ද, නෑසියන්ගෙන්ද අෑත්ව ළමා වියේ වසර හතරක්ම දුර බැහැරක ගෙවන්නට සිදුවීමෙන් ඇගේ කුලෑටි බව තවත් වැඩි විය.

එක් අතකට කොළඹ ජීවිතය අතහැර නැවතත් ගමට එන්නට සිදුවීම ගැන ඇයට දුක සිතිණි. කඨෝර පරිසරයක් මැද, අල්ලපු ගෙවල් බිත්තිවලින් වෙන්වී, ඒ ගෙදර කතා බහ මේ ගෙදරට ඇහෙන වේල්ලවීදියේ ජීවිතය අමුතුම එකකි. සෑම නිවෙසකම රූපවාහිනි, ගුවන්විදුලි දැම්මාම ඒ සියලු ශබ්ද කලවම් වී පැය විසිහතරම ඒකාකාරී, ඝෝෂාකාරී සංගීතයක් ඇසේ. කොළඹට පැමිණි අලුත එය මහත් අපහසුවක් ලෙස දැනුණත් ඉතා කෙටි කලකින් ඒ අච්චාරු සංගීතය නොඇසේ නම් අඩුවක් ලෙස දැනෙන තරමට සිත එයට හුරුවේ.
සති අන්තයේ නිවැසියෝ විශේෂයෙන් ගැහැනු උදවිය හා ළමයින් කෑම, අතුරුපසද රැගෙන ගෝල්ෆේස් පිටියට නැත්නම් වික්ටෝරියා පාක් එකේ සිඟිති උයනට යති. විද්‍යාත් ඔවුන් සමඟ එහි ගියාය. ඇය වැඩියෙන්ම ප්‍රියකළේ ගෝල්ෆේස් යන්නටය. ඇය කොළඹ නිවෙසේ නංගිලා මල්ලිලා දුව පැන සෙල්ලම් කරද්දී නැන්දා අසලින් වාඩිවී මහ මුහුද දෙස බලා සිටින්නට ප්‍රිය කළාය. මුහුද දෙස බලා සිටින ඇයට සිහිවන්නේ පුණ්කුඩුතිව් ගම්මානයයි. අම්මා, අක්කා සහ අයියා සමඟ ගෙවූ ජීවිතයයි, කටු පඳුරු ගැවසී තැනිතලාවේ එළුවන් පසුපස දිවගිය සැටියි. ඒ මනෝ ලෝකයේ සැරිසරන්නට ඇය ඇලුම් කළාය.

'ඔයා ඉතින් ගෝල්ෆේස් ගියාට සෙල්ලම් කරනවැයි. මා ගාව වාඩිවෙලා ඉන්න එකනෙ කරන්නේ' නැන්දා කියයි.
විද්‍යා ඇඟමැළි කඩමින් සිනා සෙනවා මිස කිසිවක් නොකියයි. තවත් දිනෙක ඔවුහු කෝවිල් යති. කොච්චිකඩේ මහකෝවිල බියත් භක්තියත් ඇති කරවන තැනකි. එහි ඇතුළු වන තැනම දිගු අං සහිත විශාල ගොනකු හෝ දෙදෙනකු බැඳසිටී. එතරම් විශාල පුෂ්ටිමත් ගොනුන් විද්‍යා යාපනේදී දැක තිබුණේ නැත. තනි කළුගලින් නිමවූ කෝවිල දෙවියන් ගැන දැඩි භක්තියක් ඇති කරවයි.

"අපේ නල්ලූර් කෝවිල මීට වඩා ගොඩක් ලොකුයි නැන්දේ' යැයි විද්‍යා කීවාය.
අපිට කොයින්ද ඉතින් එච්චර ලොකු කෝවිල්" නැන්දා ඔලොක්කුවට සිනාසුණාය.
එක් සැන්දෑවක නැන්දා ඔවුන් කේ‍රා් අයිලන්ඩ් බලන්නට කැටුව ගියාය. එය එතරම් සෙනඟ පිරෙන්නේ නැති සුන්දර වෙරළ තීරයකි. නිදහස වැඩිය. සිංහල මිනිසුන් කියන්නේ කාක දූපත කියාය. ගොඩබිමින් අෑත් වූවා සේ පෙනෙන තුඩුවක පිහිටා තිබේ. ත්‍රීවීලරයකින් මෝදර කාලි මෑණියන්ගේ කෝවිලට ගොස්, ඊට පසු 'කේ‍රා් අයිලන්ඩ්' ගොස් එදින රෑ බෝවන තුරුම ඔවුහු වෙරළ උද්‍යානයේ පසුවූහ.

'මෙතැන ඉස්සර මෙහෙම නෑ. මිනිස්සු මේ පැත්ත පළාතෙ එන්න බයයි' නැන්දා විද්‍යා සමඟ කීවේ විදුලි පහන් කණුවක් යට විවේක ගැනීම පිණිස සවිකළ කොන්ක්‍රීට් බංකුවක සිටියදීය. එවේලේ නංගිලා, මල්ලිලා අෑත පෙනෙන මානයේ දුව පනිමින් සිටියෝය.
'ඇයි ඉතින් බය වෙන්නෙ ලස්සනට ලයිට් දාලා තියෙනවනෙ' විද්‍යා ඇසුවාය.

"ඒ ඉතින් දැන්නෙ. ඉස්සර මේ හරියෙ කැලෑව. මිනිස්සු එන්නෙ නෑ. එන්නෙ නරක මිනිස්සු විතරයි.
ඒ කියන්නේ... කුඩුකාරයො, අපරාධකාරයො, බීපු මිනිස්සු..." විද්‍යාට බිය සිතිණි. ඇය නැන්දාට තවත් ළංවී තුරුලු වූවාය. අනතුරුව දෙනෙත් වටා යවමින් දැනුත් නපුරු මිනිසුන් සිටීදැයි විපරම් කළාය.

දුව දන්නෙ නෑ. ඒ කාලෙ 'රීටා ජෝන්ස් කියලා තරුණ නෝනා කෙනෙක් මහත්තයත් එක්ක මේ වගේ හැන්දෑවෙ වෙරළෙ ඇවිදින්න ඇවිත් තියෙනවා. මෙතන හිටපු රස්තියාදුකාරයො ඒ නෝනව ඇදගෙන ගිහින් දූෂණය කරලා මරලා...'

විද්‍යා නැන්දාගේ බාහුව තදින් අල්ලා ගත්තාය.
'එතකොට නැන්දෙ ඒ නෝනගෙ මහත්තය?'
'මහත්තයට ගහල පන්නල. එයා ගිහින් පොලිසිය එක්ක එන කොට ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි. නෝනව මරලා මඩේ හංගල උන් යන්න ගිහින්.'
නැන්දා කියූ කතාවෙන් විද්‍යා බිය වූවාය. මුවැත්තියකගේ මෙන් ඇගේ හද ගැහෙමින් තිබිණි.

අගේ නෙත් කඳුළින් තෙත් විය. ඇයට මතක් වූයේ යාපනේ නවා සිනමා හලේදී අම්මත් සමඟ තෛපොංගල් දවසක බැලූ 'කත්ති' චිත්‍රපටයේ නයනතාරා නමැති ලස්සන නිළියයි. ඇය කාක දූපතේ ලඳු කැලෑ රොදක් අතරින් අඬමින් එන අයුරු විද්‍යාට මැවී පෙනිණි. විද්‍යා ඒ දෙස බලන්නවත් බිය වූවාය.

කොළඹ නගරයේ නිවි නිවී දිලෙන දහසක් විදුලි පහන්වල සුන්දරත්වයට යටින් ඇති බියකරු අනතුරු ගැන පළමු වරට ඇයට අසන්නට ලැබීමෙන් ඇගේ සියුමැලි හද සැලුණි.
ඇගේ ගම පුණ්කුඩුතිව් ඒ අතින් කොපමණ සුන්දරද, අහිංසකද, නිදහස් දැයි ඇය කල්පනා කළාය. එදා ආපසු එද්දී ත්‍රීවීල් රථය පැදවූ අයගේ මුහුණ බලන්නටද ඇය බිය වූවාය.
ඉක්මනින් ගමට ගොස් අම්මලා සමඟ ඉන්නට ඇත්නම් යැයි ඇය දුක් විය. බයක් තනියක් නැතිව නිශාන්තනී අක්කා සමඟ එක පොරෝනය යට ඇඳක එකට ගුළිවී නිදන අයුරු ඇය මෙනෙහි කළාය.

කොහොම නමුත් පුණ්කුඩුතිව් පැමිණීම දැන් යථාර්ථයක් වී තිබේ. විද්‍යා අක්කාත් සමඟ ඇඳෙහි ගුළිවී බොහෝ රෑ වනතුරු තමා ගෙවූ කොළඹ ජීවිතය ගැන එකින් එක විස්තර කීවාය. කොච්චිකඩේ මහ පල්ලිය ගැන, කෝවිල ගැන, වරායේ අහස උසට නැඟුණු ‍ෙදාඹකර ගැන විද්‍යාගේ කතාව කෙළවරක් නැත. එහෙත් 'කේ‍රා් අයිලන්ඩ්' එකේ මරපු නෝනා ගැන නැන්දා කියූ කතාවෙන් පසු ඔවුන් දෙදෙනාගේ කතාව නතර විය. නිශාන්තනී නංගීගේ ඇඟට උඩින් අත දමා ඇය තුරුලු කොට ගෙන නිදන්නට වූවාය.
ගෑස්පහ හන්දියේ ඇලුමිනියම් හා ප්ලාස්ටික් භාණ්ඩ කඩයෙන් පසුපති පිල්ලේ සිවලෝගනාදන් විද්‍යාගේ තාත්තාට ජීවත්වීමට සරිලන ආදායමක් ලැබුණේය. ඔහු මසකට වරක් නිවෙසට පැමිණි අතර ඊට අමතරව අම්මා නමට බැංකුවට මුදල් දැම්මේය. අම්මා විද්‍යා සමඟ හෝ අක්කා සමඟ යාපනේ නගරයට ගොස් අවශ්‍ය දේවල් ගෙන ආවාය. එදිනෙදා අඩුමකුඩුම ගන්නට ඔවුන් ගියේ කයිට්ස්වලටය. විද්‍යා 10 වසරට ඇතුළත් වූ පසු ඇයට අවශ්‍ය පොත්පත් සියල්ලම අරන් දුන්නේ අයියා විසිනි. අයියා පේන්ට් වැඩ කොන්ත්‍රාත්තු භාරගෙන කිහිපදෙනකු යොදවා කළේය. යුද්ධය අවසන්වීමත් සමඟ ගොඩනැඟිලි ඉදිවීම වැඩිවූ නිසා නිශාන්තන්ට ඕනෑ තරම් වැඩ තිබිණි.

විද්‍යා හැන්දෑ වරුවේ යෙහෙළියන්ගේ නිවෙස්වලට ගොස් 10 වසර පාඩම් ගැන විස්තර අසා දැන ගත්තාය. ඇයට දැනට පාඩම් අතපසු වී ඇති තැන දක්වා පහසුවෙන් අල්ලා ගත හැකි වූයේ අක්කා ගෙදරදී ඒවා ඉගැන්වූ හෙයිනි. අක්කා නගෝ දෙදෙනාම ගියේ පුණ්කුඩුතිව් මහ විද්‍යාලයටය.

දෙමළ මාධ්‍ය පාසලක් වූ පුණ්කුඩුතිව් මහා විද්‍යාලයේ සිංහල භාෂාව කතා කරන්නට දන්නා කිසිවකු සිටියේ නැත. විද්‍යා වසර කීපයක් කොළඹ සිටියත් ඇයට අසීරුවෙන් නමුත් හැකි වූයේ කොළඹ දෙමළ භාෂාවට හුරු වන්නටය. කොළඹ දෙමළ භාෂාව මුස්ලිම්වරුන් කතා කරන දෙමළ භාෂාවත් සමඟ මිශ්‍රවීමෙන් යාපනේ දෙමළ භාෂාවට වඩා වෙනස්වී තිබේ. විද්‍යා සමත් වූයේ එයට හුරුවන්නට පමණි. විද්‍යා පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූයේද පුණ්කුඩුතිව් මහා විද්‍යාලයෙනි. ඒ වන විට පාසලේ සිටි දක්‍ෂම ශිෂ්‍යයන් කීපදෙනා අතර විද්‍යාද සිටියාය.

විද්‍යාගේ තාත්තා කියා සිටියේ ඇය ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව යාපනේ වෙම්බඩි බාලිකා විද්‍යාලයට ඇතුළත් කළයුතු බවය. අම්මාත් අක්කාත් දෙදෙනාද ඊට කැමැති වූහ. එහෙත් එවකට විදුහල්පතිවරයා වූ ධර්මලිංගම් මහතා පාසලේ දක්‍ෂ සිසුන් පාසල හැරයනවාට විරුද්ධ විය. විද්‍යා එම පාසලේම තබන ලෙස ඔහු විද්‍යාගේ මව වූ සරස්වතී සිවලෝගනාදන්ව පාසලට කැඳවා ඉල්ලීමක් කළේය. විද්‍යා ඒ ඉල්ලීමට කන්දෙමින් වෙම්බඩි බාලිකා යන අදහස අත්හැර දැමුවාය. එහෙත් යුද්ධය සියල්ල කණපිට හරවා විද්‍යා වන්නියටත් අනතුරුව කොළඹටත් පලවා හැරියේය. දැන් සියල්ල වටයක් කැරකැවී නැවතත් ආරම්භ වූ තැනටම පැමිණ තිබේ. විද්‍යා පුණ්කුඩුතිව් මහා විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ ලියන්නට සූදානම් වන්නීය.

තව කොටසක් ලබන සතියේ
උදේනි සමන් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්