‘අඩයාලම්’ ගිනිකුන්දම

  👤  1803 readers have read this article !
By mawbima 2017-10-22

'පොලිසිය හරි තදයි නීතියත් එහෙමයි. වරදක් කළොත් දඬුවම් නියතයි. අපිත් එක්ක සෙල්ලම් බෑ හොඳේ' කියා ලංකාවෙ පොලිසිය වැඩට බැහැලා වැඩ පෙන්වන්න පටන් අරන්ය. එහි සාර්ථකම ජයග්‍රහණය නම් බඩගින්නට කන්න අඹ ගෙඩි තුනක් කඩා ගත්ත මහලු මවක් පැය 24ක් පොලිස් කූඩුවේ සිර කරගෙන බීමට වතුර පොදක්වත් නොදී තබා ගනිමින් අනුරාධපුර, සාලියපුර පොලිසිය කටයුතු කළ බවට වූ සිදුවීමය.

මෙයින් රටටත්, ජනතාවටත් යහපාලකයන් පෙන්වන්නට උත්සාහ කරන්නේ 'නීතිය අපි අකුරට රකිනවා, කාටවත් ඒක කඩන්න දෙන්නෙ නෑ' කියලා විය යුතුය. එය කොයිතරම්ද කියතොත් පොලිස් මූලස්ථානයේ ප්‍රකාශ අනුව ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මිනිස් ඝාතන පිළිබඳ ලැබුණු පැමිණිලි ගණන 502කි. මෙසේ ඝාතනයට ලක්වූවන් අතරින් වැඩිම පිරිස තරුණයන් වීම විශේෂත්වයකි. ඒ තරමටම පාතාලයද ප්‍රබල වී ඇත. අපරාධකරුවන්ද නිදැල්ලේය. ඝාතන සිදු කරන්නට මැළි නොවන තැනකය. වටපිටාවකය.
'කසිප්පු ටිකක් පෙරාගෙන එදා වේල පිරිමහ ගත්ත ගංගොඩේ මිනිස්සුන්ගෙ කසිප්පු වාඩි වටකරලා අල්ලන්න පුළුවන් වුණාට, මහ දවල් මහ බැංකුව බින්ද එව්වො අල්ලනවා බොරු ගොයියෝ' කියා ගමේ ගොඩේ ජනතාව කියන්නේ නීතිය අකුරටම රකින මේ කියන පාලකයන් ගැන හොඳින් දන්නා නිසාය.

රටක මද්‍යසාර භාවිතයෙන් ඒ රටේ නිරෝගීි නොවන පුද්ගලයන් ගණන වැඩිවන බව නොරහසකි. එය නතර කරන්න පසුගිය කාලයේ 'මතට තිත' කියන වැඩසටහන ක්‍රියාත්මක වුණේය. එහෙත් ඒ තිත අමතක කර 'මත ජනගත කරන' තැනට වැඩ සිදු වන තැනකට වැටී ඇත්තේය.
ඒ අනුව යහපාලන ආණ්ඩුවේ මංගල ඇමැතිගේ, මංගල අය වැයෙන් කරන්නට හදන දෙයක් ගැන පුවතක් පළවී තිබුණේ මෙසේය.
'සැර මද්‍යසාර හා කසිප්පු භාවිතයෙන් ජනතාව මුදා ගැනීමේ අරමුණෙන් බියර්වලට පැනවූ බදු ඉවත් කරන්නට සූදානමක්.'
මේ බියර් වසන්තය නිසා ඕනෑම කෙනකුට ඕනෑම කඩයකින් ටොපියක් මිලදී ගන්න තරම් පහසුවෙන් බියර් ටින් එකක්, බෝතලයක් මිලදී ගන්නට හැකි වන්නේය. මෙය, ආණ්ඩුවක් හැටියට 'වෙරි මතින් ගන්න යන තීන්දුවක්ද නැද්ද කියලා අය - වැය ආ පසු බලා ගන්නට පුළුවන.'
'නීතිය යහපාලකයන්ට ඕනෑ හැටියට නැවෙන, නවන තැනක බව ජනතාවට හැඟේ නම්, නීතිය රකින එක තේරුමක් නෑ... කියා හිතන්න ජනතාව පෙලඹෙනවා. ජනතාව එවිට නීතිය අතට අරන් තීන්දු තීරණ ගන්නා තැනට යනවා. ලෝකයේ හැම රටකටම එහෙම අත්දැකීම් තියෙනවා. ඒක නරක තත්ත්වයක්' මධ්‍යස්ථ දේශපාලන විචාරකයන් එසේ විග්‍රහ කරන්නේ නිකමට නොවේ. එහෙව් තත්ත්වයක් පවතිද්දී.. මෙවැනි පුවත්ද පළ වෙන්නේය.

'රවිගේ ගේ ගැන කී 'අනිකා' බියෙන් රට ගිහින්. ජීවිත තර්ජන එල්ල වී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් කොමිසමට දැනුම් දෙයි.'
එසේම විවාදාත්මක කරුණු රැසක් හෙළිදරව් වීමෙන් පසුව බැඳුම්කර ගනුදෙනුවේ මගඩියක් පැහැදිලිවම සිදුව ඇතැයි ජනතාවට හැඟී ගොස් ඇත. එවන් තත්ත්වයක් තුළදී අගමැතිගෙන්ද ප්‍රශ්න කළ යුතු යැයි හඬක් නැඟිණි. එය කෙසේ, ඉටුවේ දැයි යන්න සිතාගත හැකි ප්‍රවෘත්තියක්ද මෙසේය.
'සාක්කි විභාගය අවසන්. අගමැති කැඳවන්නේ අවශ්‍ය නම් පමණයි කොමිසම කියයි.'

මේ 'අවශ්‍ය වීම' කොයිතරම් දුරට අවශ්‍ය විය හැකි දැයි යන්න කියන්නට බැරිය. ජනතාව මේ වන විටත් එය වටහාගෙන අවසන්ය.
හොරකම්, මැරකම්, වංචා, දූෂණ අක්‍රමිකතා සොයා බලා හරිහැටි කටයුතු කරන යහපාලන ආණ්ඩුව මේ අතර සමාජයේ දැඩි විරෝධතාවක් මතු කරන සයිටම් රෝහලේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන වශයෙන් පරිපූරක ඇස්තමේන්තුවක් මඟින් රු. කෝටි 9ක් වෙන් කරගෙන ඇත. ඊට අමතරව 'පෝට් සිටිය' සඳහාද රු. කෝටි 36කට වැඩි මුදලක් අනුමත කරවා ගෙන ඇත. මේවා පරිපූරක ඇස්තමේන්තු වශයෙන් ඉදිරිපත් කෙරෙන්නේ 'හදිසි මුදල් අවශ්‍යතා' යටතේය.
මේ මොහොතේ ජනතාවට අත්‍යවශ්‍යම දෑ බොහෝ වුවද ඒ වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් වන්නේ නැත. ගම් මට්ටමේ, බිම් මට්ටමේ දුක් විඳින ජනතාවගේ ගැටලු ඉහළ තලයේ කතා බහටවත් ලක් වන්නේද නැති තරම්ය. ඊට එක් උදාහරණයක් වශයෙන් දඹුල්ල වෑමැ¾ඩිල්ල ජලාශය සඳහා ඉඩම් පවරාගෙන වසර ‍ෙදාළහමාරක් ගතවී ඇතත් එම ජලාශයට ඉඩම් පූජා කළ ගම්මුන්ට මෙතෙක් වන්දි මුදල් ලබා දී නැත. ඔවුන්ට පසුගියදා මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වන්නට සිදුවූයේ කරන්නට දෙයක් නොවූ තැනය.

මේ අතර ඉරිදා පුවත්පතකට ප්‍රකාශයක් දෙමින් රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා පවසා ඇත්තේ ඉතිහාසයේ ශක්තිමත්ම ආණ්ඩුව මේක'ය කියලාය. රටේ ජනතාවට ආර්ථිකයේ සුපිරි ක්‍රියාකාරි බවේ උණුසුම හොඳින් දැනෙන බව දන්නා නිසාදෝ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා කීවේ.

'අපි ආර්ථිකයේ මේ මොඩල් එක වෙනස් කරන්න යනවා. අපි අඩිතාලම දාගෙනයි යන්නේ' කියලාය. හර්ෂ ද සිල්වා කියන හැටියට මේ අලුත් ආර්ථික මොඩලයට අනුව පොදු මහජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් තිබෙන්නට ඕනෑය. ජනතාවට තව තවත් සහනයක්, පහසුවක්, ජීවත්වීමට හොඳ වටපිටාවක් හැදෙන්නට ඕනෑය.
මේ අලුත් ආර්ථික මොඩලය කොයි වගේ එකක් දැයි තවමත් දන්නේ නැති වුවද විදුලිබල මණ්ඩලයේ සීමාව ඉක්මවා ගිය වැඩ වර්ජනවලින් තර්ජනය කර වැඩි කරවාගත් 'වැඩි පඩි' ගෙවන්න පාරිභෝගිකයාගේ පොකැට්ටුවට බහින්නට දැන් විදුලිබල මණ්ඩලයද සූදානමින්ය. ඒ නිසා ලයිට් බිලත් හෙට අනිද්දා ඉහළ නඟින ලකුණු පෙනෙන්නේය.
උසුලාගත නොහැකි තරමට දුර්වල වී ආර්ථිකය කඩා වැටෙන්නට ආසන්න තැනකය. රාජ්‍යයට ලැබෙන ආදායම අඩු වෙමින් පවතින්නේය. අපනයන ආදායම් අඩු වෙමින් තිබෙන්නේය. මෙය නිසි පරිදි කළමනාකරණය කර ගන්නට මේ කියන අලුත් ආර්ථික මොඩලයක් ගැන කතා කරන විද්වත් මැති ඇමැතිවරුන්ට නොපෙනෙන්නේය. කෙසේ වෙතත් මේ යන විදියට රට කරගෙන යන්නට නම් තව තවත් ණය ගන්න වීම වැළැක්විය නොහැකිය. රාජ්‍ය ණය ආපසු ගෙවීම් අඩු කළ පසු ශුද්ධ මූල්‍ය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%ක මට්ටමකට පත්වීමට ඉඩ ඇත. කෙසේ වෙතත් එම ශුද්ධ මූල්‍ය හිඟය ද පියවීමට තිබෙන්නේ දේශීය හා විදේශීය ණය ගැනීමෙනි. ඒ හරහා රාජ්‍ය ණය තවදුරටත් වැඩිවනු ඇත. 2018 අය වැයත් සමඟ එය 80%ක් ඉක්මවා යෑම වැළැක්විය නොහැකිය. එබැවින් අලුත් ආර්ථික මොඩලයක් ගැන කතා කරන්නට, ක්‍රියාකරන්නට පෙර 'ණය පිළිබඳව දැඩි විනයක්' ඇති කර ගත යුතුය.
ආර්ථිකය කෙළින් සිටුවා ගැනීමේ මුඛ්‍ය පරමාර්ථ මෙවන් අවිනිශ්චිත තත්ත්වයන් තුළ ඉටු නොවෙද්දී යහපාලන ආණ්ඩුව අලුතින් ව්‍යවස්ථාවක් සකස් කරගෙන, සම්මත කරගෙන, කඩිමුඩියේ යන තීරණාත්මක මෙහෙයුමකය. ආණ්ඩුවේ මේ කියන ව්‍යවස්ථාවක් කඩිමුඩියේ හදාගන්නා 'ගිනිකුන්දම' ගැන ජනතාව නම් කියන්නේ...
'ජනතාවට ජීවත් වෙන්න විදියක් නැතිව අමාරු වෙලා. මිනිස්සු ඡන්දෙ දුන්නෙ ව්‍යස්ථාවක් ඕනෑ කියලා නෙවි. සියලු ජාතීන්ට හොඳින්, යහපත් ජීවිතයක් ගත කරන්න ඉඩ සලසලා දෙන්න' කියලාය.
එහෙත් ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාව හැදිල්ල අත්හරින්නේ නැති තැනකය. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් ව්‍යවස්ථාව ගැන කියන්නේ...
'ආණ්ඩුව හදන්නේ කොළේ වහලා ගහන්න' ය කියලාය. එසේ නම් මෙයින් කියැවෙන්නේ ජනතාවට එක කතාවක් කියා තමන්ට ඕනෑ දෙයක් සම්මත කර ගන්නට යන දෙයක්ය. මේ ගැන ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා කියන්නේ 'නව ව්‍යවස්ථාව ප්‍රබල වංචාවක්. මේ කොළේ වහලා ගැහිල්ලෙන් පේන්නේ ආණ්ඩුව රාජ්‍ය වංචාවක් කර තිබෙන බවයි. එහෙමත් නැත්නම් මේක විද්වත් වංචාවක්. මේක බැඳුම්කර වංචාවට වඩා විශාල එකක්. සල්ලි නම් හොයා ගන්න පුළුවන් කාලයක් ගිහිල්ලා. නමුත් රටක් බෙදුණම එහෙම කරන්න බැහැ. රටක් හොයා ගන්න බැහැ.' කියලාය.
එහෙත් ආණ්ඩුව කියන්නේ නව ව්‍යවස්ථාවෙන් රට කැඩෙන්නේ නැතය කියලාය. නමුත් ද්‍රවිඩ සන්ධානය බි්‍රතාන්‍ය ඇමැති මයික් පිල්ඩ්ට කියා ඇත්තේ උතුර නැඟෙනහිර ඒකාබද්ධ කළ යුතු බවටය.

මේ අනුව උතුරු නැඟෙනහිරට ප්‍රාන්ත බලතල ලැබුණහොත් කැටලෝනියාවේ ජනමත විචාරණයට සමාන ජනමත විමසුමක් කර පසු කලෙක බෙදී වෙන්වීමට නීත්‍යනුකූල අයිතියක් ලබා ගත හැකිය. මේ තත්ත්වය මැද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ගේ‍රයිප් මෙරටට පැමිණියේය. ඔහු කැන්ද ගත්තේ යහපාලකයන් විසින්මය. ඔහු පැමිණියේ 'සංක්‍රාන්ති යුක්තිය' පිළිබඳ විමර්ශනය කිරීමකටය.

පැබ්ලෝ ඩී ගේ‍රයිප් මෙරටට පැමිණීමට දින කිහිපයකට පෙර යාපනයේ පිහිටි 'අඩයාලම්' නමැති රාජ්‍ය නොවන සංවිධානය මඟින් විමර්ශන වාර්තාවක්ද ඉදිරිපත් කරමින් කොටි මතය තහවුරු කිරීමක් සිදු කෙළේය. එම වාර්තාවෙන් කියා තිබුණේ මුලතිව්හි සිටින සෑම සිවිල් වැසියන් දෙදෙනකුටම එක් හමුදා සෙබළකු යොදවා සිටින බවය.
මෙරට හමුදාවේ 25%ක් පමණ පිරිසක් මුලතිව්හි සියයට 8%ක ප්‍රදේශයක් පාලනය කරන බවකි. එපමණක් නොව වාර්තාවේ නිර්දේශයන්ද තිබිණි. ඉන් එකක් නම් උතුරු නැඟෙනහිර සියලුම පන්සල් හා බුද්ධ ප්‍රතිමා ඉවත් කළ යුතු බවය. එමෙන්ම උතුරේ දෙමළ ජනයා පිළිබඳව ආරක්ෂක නිරීක්ෂණයක් කෙරෙන බුද්ධි ඒකකවල කටයුතු නතර කරන ලෙසය. මේ එක් 'අඩයාලම්' වාර්තාවක් පමණය. තවත් පොදි බැඳගත් වාර්තා, සැලසුම් සහගතව, එකින් එක එළිදැක්වෙනු ඇත. මෙය කිසියම් රටාවකට අනුව, නියමිත සැලසුමකට අනුව පෙළ ගැස්වෙන්නකි.

ජාත්‍යන්තරයේ රඟ දැක්වෙන මෙම 'කලින් පිටපත සැකසූ නාටකයේ' බොහෝ දේ දැන් ප්‍රකට වෙමින් තිබෙන්නේය. ඒ අනුව එහි කූටප්‍රාප්තියට අවස්ථාව පැමිණ ඇත.
මේ අනුව ද්‍රවිඩ සිරකරුවන් මුදා හරින්නැයි උද්ඝෝෂණය කරන ඊනියා උද්ඝෝෂකයෝ මේ සිරකරුවන් අතර සිටින්නේ මගී ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කළ, හමුදා කඳවුරුවලට පහරදී සෙබළුන් ඝාතනය කළ, අත්අඩංගුවේ සිටි හමුදා භටයන් මරා පිලිස්සූ කොටි ත්‍රස්තයන්ය.
ලොව පුරා තැනින් තැන විසිරී සිටින කොටි අරමුදල්වලින් යැපෙන ඒ ඒ රටවල මන්ත්‍රි නියෝජිතයෝද කිඹුල් කඳුළු හෙළන්නේ 'අලුත් ව්‍යවස්ථාවක් ගෙනැල්ලා ලංකාවෙ දෙමළ ජනතාවම අසාධාරණයෙන් මුදා ගනිල්ලා' කියලාය. මුදා ගනිල්ලා යැයි කීවද ඒ සමඟ අටවන ජාත්‍යන්තරයේ කෙමන කොයි වගේ දැයි ඔවුහු සඟවති.
යහපාලකයන් අතර කිහිපදෙනකුට පමණක් ගායක් වී තිබෙන 'ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ ගිනිකුන්දම' පිටුපස සිටින්නේ දෙමළ ඩයස් පෝරාවේම පිරිසක් විය හැකිය යන්න සිතෙන තරමට මේ උන්දැලාට තිබෙන්නේ පුදුම හදිසියක්ය.

එබැවින් රට පුරා පෙළ ගැහෙන විරෝධතාවල සාරාංශය නම්....
'තිබෙන ව්‍යවස්ථාවේ අඩුපාඩු හදාගෙන ප්‍රශ්නය ගොඩින් බේරගන්නවා ඇරෙන්න රට වාර්ගික විදියට වෙන්වෙන කැඩෙන තැනකට යන අලුත් ව්‍යවස්ථාවක් එපා' යන්නය.
යහපාලකයන් කොයි තරම් අන්ධව කටයුතු කළත්, විදෙස්ගත සහ මෙරට ඩයස්පෝරාවට අනුව ක්‍රියාත්මක වුණත්, නව ව්‍යවස්ථාවට මල්වතු - අස්ගිරි පාර්ශ්වයේ නායක හිමිවරුන්ගෙන් පසුගියදා එල්ල වූ විරෝධය නිසා ඉන් එහාට අඩියක් හෝ තැබීම ආණ්ඩුවට මාරාන්තික වන්නේය. එයට පිටුපා පෙරට යෑමට යහපාලකයන් අතර සිටින දේශද්‍රෝහීන් සිටී නම් ඔවුන්ට වන්නේ ජනතාවගෙන් දඬුවම් විඳින්නටය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්