කරුණා කරපු අයගෙ අකාරුණික වැඩ හින්දා ශ්‍රී පාද අඩවිය නාය යයි

  👤  1784 readers have read this article !
By mawbima 2017-10-22

සිංහල අලුත් අවුරුද්ද උදාවූ 14 වැනිදා අඩි 180ක් උස මීතොටමුල්ල කුණු කන්දෙහි කොටසක් කඩා වැටුණේ එම ප්‍රදේශයේ ජීවත් වූ මිනිසුන්, දේපොළ හා නිවාස විශාල සංඛ්‍යාවක් පොළොවට සමතලා කරමිනි. මුළු රටම මළ ගෙයක් විය. මෙම ඛේදවාචකයෙන් අනතුරුව පොලිතින්, ප්ලාස්ටික් මෙරටින් තුරන් කරලීමට විවිධ පුද්ගලයන් විවිධාකාර යෝජනා ගෙන ආවේය. සමහර යෝජනා ගෙන එන පමාවෙන්ම ඇකී මැකී ගිය අතර ලන්ච් ෂීට්, ප්ලාස්ටික් කෑම අසුරණ, ෂොපින් බෑග් තහනම නම් මේ වන විට මඳª පමණකට ක්‍රියාත්මක වේ.

කුමනාකාර යෝජනා, නීති රීති ගෙනාවත් අපේ රටේ මිනිසුන්ගේ චර්යාවන් වෙනස් කරලීම නම් ඒ තරම් පහසු කටයුත්තක් නොවේ. එසේ පවසන්නත් හේතුවක් තිබේ. ඒ පසුගියදා තවත් කුණු කන්දක් නාය යෑමක් ගැන නල්ලතන්නිය ප්‍රදේශයෙන් වාර්තා වූ හෙයිනි.

ශ්‍රී පාද - හැටන් මාර්ගයේ නල්ලතන්නියේ සිට උඩමළුව දක්වා වූ මාර්ගයේ මහගිරිදඹ, වැලිවිට වංගුව ප්‍රදේශයේ කුණු කන්දක් නාය ගොස් තිබේ. ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් විසින් උඩමළුව ප්‍රදේශයට මුදාහැර තිබූ අපද්‍රව්‍ය ගොඩගසා තිබුණේ වර්ෂාව අඩු වූ පසු එම අපද්‍රව්‍ය ශ්‍රමදානයක් මගින් පහළට රැගෙන ඒමේ අරමුණිනි. නමුත් එය සිදු කිරීමට ප්‍රථම එම ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසාම කුණු කන්ද නාය ගොස් තිබේ.
මේ ශ්‍රී පාද අවාරයයි. ඒ හේතුව නිසාම කිසිදු ජීවිත හානියක් සිදු නොවූවද පියගැට පෙළට හානි සිදුවී ඇත. මෙම නාය යෑමෙන් ශ්‍රී පාද නල්ලතන්නිය මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ මීටර් පහළොවක පමණ කොටසක් අවහිර වූ බව නල්ලතන්නි පොලිසිය පවසයි.

අපි නම් කිසිදු විටෙක පාඩමක් ඉගෙන ගන්නා ජාතියක් නොවේ. භක්තිය නම් ශ්‍රී පාද කන්ද තරමටම උසය. නුවණ නම් අබ ඇටයක්වත් තරම් වේදැයි සැක සහිතය. මේ ශ්‍රී පාද වන්දනා සමයක් වූවා නම් මොන තරම් ජීවිත හානියක් හෝ දේපොළ හානියක් වූවා දැයි මේ වන විට ගණන් බලමින් සිටිනු ඇත. නමුත් විය යුත්තේ සිද්ධියක් වූ පසු ගණන් බැලීම නොව, ඛේදවාචකයක් වීමට ඉඩ නොතබා අවදානම් ක්‍රියාවන්ගෙන් මිදී සිටීමය.

ආරක්‍ෂක අංශ නිලධාරීන්, රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් හා ස්වේච්ඡා සංවිධාන කිහිපයක් එක්ව මේ වන විට ශ්‍රී පාදයේ නාය ගිය කුණු ඉවත් කර ඇත. යළි කිසිදු දිනෙක කුණු කඳු නාය යෑමක් ගැන හෙවත් රටම කම්පාවට පත්කරන මෙවැනි ව්‍යසන ගැන අසන්නට නොලැබෙන තැනට වැඩ කටයුතු කිරීම අපි සැමගේ වගකීම බව තරයේ සිහිතබා ගත යුතුය.

චාමිණී ගම්මන්පිල, නෝර්වුඩ්-රිද්මි මිලින්දිකා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්