ඒකාබද්ධය මැතිවරණ කොමිසම වටලයි!

  👤  1823 readers have read this article !
By mawbima 2017-10-22

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

පළාත් පාලන ඡන්දය වහාම පවත්වන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය ලක්ෂයකට අධික ජනකායක් රාජගිරියට කැඳවා මැතිවරණ කොමිෂන් සභාව වැටලීමට යයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පළාත් පාලන ඡන්දය පැවැත්වීමට උනන්දුවක් නොදක්වා ඇමැතිවරයා වෙත බෝලය පාස් කරමින් විවිධ අදහස් පළ කරන බවට චෝදනා කරන ඒකාබද්ධ විපක්ෂය ජනතාවගේ ඡන්ද අයිතිය උදුරාගෙන පළාත් පාලන ඡන්දය පැවැත්වීම දිනෙන් දින කල්හරින බැවින් මෙසේ සිවු දෙසින් ජනතාව සහභාගි කරවා මැතිවරණ කොමිෂන් සභාවට ඡන්දය පවත්වන ලෙස බල කිරීමට සාකච්ඡා කර ඇති බව දැනගන්නට ඇත.
පළාත් පාලන ඡන්ද විමසීම මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් ප්‍රමාද කිරීමට සිදුවූයේ සීමා නිර්ණය කටයුතු ප්‍රමාද වීම නිසා බවත් සීමා නිර්ණය කටයුතු අවසන් වූ පසුව සභික සංඛ්‍යාව ඇතුළත් සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීම විවිධ කරුණු ඉදිරිපත් කරමින් ප්‍රමාද කෙරෙමින් පවතින බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන "මව්බිම"ට පැවැසීය.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට සැබෑ වුවමනාවක් ඇත්නම් මැතිවරණ කොමිසම ඒ සඳහා පවතින ගැටලු එළිදක්වා ඒවා කඩිනමින් විසඳීමට පළාත් පාලන අමාත්‍යාංශය උනන්දු කරවිය යුතුව ඇතත් එවැන්නක් සිදුවන බවක් දක්නට නොමැති බව දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
එම ඡන්දය ප්‍රමාද කෙරෙන තවත් පනත් කෙටුම්පතක් ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් මේ අන්දමට ඉදිරියේදී තවත් සංශෝධන පනත් කීයක් ඉදිරිපත් වෙයිද යන සැකයක් පවතින බවත් හෙතෙම පැවැසීය.

ඡන්ද බලය හිමි සියලු දෙනාම ඡන්දය හිමි නාම ලේඛනයට ඇතුළත් කිරීමට විවිධ වැඩසටහන් මඟින් ජනතාව උනන්දු කරවන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එසේ ඡන්ද අයිතිය ලබා දෙනවා වගේම එම ඡන්ද දායකයන්ට ඡන්දය පාවිච්චි කිරීමට තිබෙන අයිතිය මෙන්ම අවස්ථාව ඡන්දය කල් දැමීමට ඉඩ හැර අහිමි කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

ලබන වසරේ දෙසැම්බර් මාසය වනතුරු පළාත් පාලන ඡන්දය නොපැවැත්වෙන බවට සැකයක් තමා තුළ පවතින බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බවත් නීත්‍යනුකූල අන්දමින් විවිධ අණපනත් ගෙන එමින් අදාළ ගැසට් පත්‍ර ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද කරමින් මේ සිදු වෙමින් පවතින්නේ පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමට ක්‍රමවේදයන් නිර්මාණය කිරීමක් බව පැහැදිලි යැයිද ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්