වරකාපොළ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි රෝගියකු 4 වැනි මහලෙන් බිමට පැන මියගිහින්

  👤  2002 readers have read this article !
By mawbima 2017-10-20

නෙළුන්දෙණිය - පතිරත්න බණ්ඩාර

වරකාපොළ නව රෝහලේ 11 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු ඊයේ (19දා) අලුයම 3ට පමණ එහි හතර වැනි මහලෙන් බිමට පැනීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇති බව වරකාපොළ පොලිසිය පවසයි. උදරයේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීම පිණිස පසුගිය 17 වැනි දින රෝහලට ඇතුළත්ව සිටි දංඕවිට - කාඹුගල විසූ අතුල සම්පත් නිශ්ශංක නම් අවිවාහක පුද්ගලයකු මෙලෙස දිවි හානි කරගෙන ඇත. රාත්‍රි කාලයේ නිදා සිටි රෝගියා අලුයම 3.00ට පමණ ඇඳෙන් නැඟිට එක්වරම එහි ජනේලයක් විවෘත කර පිටතට පනින අයුරු තමන් දුටු බව රෝහල් කාර්ය මණ්ඩලය පොලිසියට පවසා ඇත.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි හදිසි මරණ පරීක්ෂක නන්දසේන වික්‍රමආරච්චි මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මියගිය අයගේ සිරුර කෑගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරි වෙතට යොමුකරවන ලෙස පොලිසියට නියෝග කළේය.
වරකාපොළ රෝහල් පොලිසියේ උ.පො.ප. ආරියරත්න, පො.සැ. පතිරණ (27888), පො.සැ. ජයසේන (17170) යන නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්