මහින්දගේ ආණ්ඩුව පෙරළන්න පළමුවැනි ගල ගැහුවේ විමල්

  👤  2278 readers have read this article !
By mawbima 2017-10-20

අද ජනාධිපති කොමිසම හැමෝම දන්නව මොකද වෙන්නෙ කියල. අද විවිධ පුද්ගලයො ඇවිල්ලා සාක්ෂි දෙනවා මේ කොමිසම ඉදිරියේ, කවුද හොරකම් කළේ කියන තොරතුරු අද රටට හෙළිවෙමින් යනවා. අද ආණ්ඩුවේ සමහර අය විවිධ හොරකම් කළා. අපි දැක්ක බැංකු හොරකම්, ඉඩම් හොරකම් කරනවා. ඉන්ටර්නෙට් හරහා හොරකම් කරනවා.
ඒ හැම කෙනකුටම අද නීතිය ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් ආණ්ඩුව තුළ යම්කිසි වරදක් සිදුවෙලා තියෙනවා නම් ඒකට විරුද්ධව කටයුතු කරන්න ජනාධිපති කොමිසමක් පත් කරල තියෙනවා. ඒකට අතිගරු ජනාධිපතිතුමාට හොඳ කොන්දක් තියෙනවා යැයි අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
ඇය මේ බව පැවසුවේ පෙරේදා (18දා) දෙවිනුවර ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ සාමාජිකත්ව ප්‍රදානෝත්සවයේදීය.
ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය මෙසේද පැවැසුවාය.

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරනවා කියන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධ වීමක් නොවෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තියෙන ආදරය ගෞරවය අපේ හිත්වල හැමදාමත් තියෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව පෙරළන්න පළමුවැනි ගල ගැහුවේ විමල් වීරවංශ මහත්මයා. ඔහු එදා කැබිනෙට්ටුවෙ කතා කරන්න අවශ්‍ය දේවල් මාධ්‍යට ඇවිල්ල කීවා. මේ ආණ්ඩුවේ ආර්ථික ඝාතකයෙන් ඉන්න බවත්, අපිට වැඩක් කරන්න බැරි බවත්, සමහර පිරිසකට පමණක් ප්‍රතිපාදන දෙන බවත් පවසමින් ජනමාධ්‍ය හරහා රටේ ජනතාව ආමන්ත්‍රණය කළා.
අද මහින්ද රාජපක්ෂ මැතිතුමා වටේ ඉඳගෙන එතුමා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන උදය ගම්මන්පිල මහත්තය මොකද කෙරුවෙ, ව්‍යවස්ථාව සංශෝධනය කළේ නැත්නම් එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දෙන්නෙ නෑ කිව්වා. උදවු කරන්නෙ නෑ කිව්වා. විමල් වීරවංශයි, උදය ගම්මන්පිල කියන මහත්තුරු තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා වටේ ඉඳගෙන එතුමාගේ පරාජයට පළමුවැනි වෙඩි මුරය තිබ්බේ. ඒකයි අපිට තියෙන කනගාටුව. අද මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්නල ඔවුන් හදන්නෙ ඔවුන්ගේ ඡන්ද පදනම වැඩි කර ගන්න. ඒ නිසා අද අපි බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනෑ.

පළමුවැනි වතාවට තමයි ප්‍රධාන පක්ෂ දෙක අද එකට ආණ්ඩු කරන්නෙ. ඒකටත් මේ රටේ ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේ දී කිසිම පක්ෂයකට එකසිය දහතුනක් දුන්නෙ නෑ. ප්‍රධාන බලයක් දුන්නෙ නෑ. එක්සත් ජාතික පක්ෂයට එකසිය හයක් මන්ත්‍රිවරු ලැබෙනකොට අපිට ලැබුණෙ අනූ පස් දෙනයි. ඒ නිසා තමයි ප්‍රධාන පක්ෂ දෙක එකට ඉඳගෙන ආණ්ඩු කෙරුවෙ.

කිසිම ජනාධිපති කෙනෙක් තමන්ට තියෙන බලය අඩුකර ගත්තේ නැහැ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපතිතුමා මෛත්‍රිපාල සිරිසේන මහතා එතුමාගේ බලතල අඩු කර ගත්තා.

මාතර _ උදය කුමාර රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්