රට රකින්න හීන දකින පුංචි හිසට සෙවණ දෙන්න

  👤  2045 readers have read this article !
By mawbima 2017-10-20

ඉමදුව - ටී. විතානවසම්

"අනේ අපිටත් ඉන්න ගෙයක් දෙන්න කියන්න මාමේ. අම්මලා මාව දැන් මෙහෙන් අරන් යන්න හදන්නේ. අපේ ලී ගහපු ගේත් දැන් දෙන්න වෙලා තියෙන්නේ." මෙහෙම කියන්නේ මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 183ක් ලබාගෙන ගාල්ල, ඉමදුව, හොරදුගොඩ ප්‍රාථමික විද්‍යාලයේ බී.එල්. නිපුන් හර්ෂණ සිසුවායි.

නිපුන් හර්ෂණගේ පවුලේ සාමාජිකයන් හතර දෙනෙකි. ඔවුන් මේ වන විට ස්ථාන දෙකක සිටින්නේ එකට වාසය කිරීම සඳහා නිවසක් නොමැති නිසාය. නිපුන්ගේ පියා එදිනෙදා කුලී වැඩක් කරමින් මෙම පවුල නඩත්තු කරන අතර නිපුන්ගේ බාල සහෝදරයා මෙතෙක් කල් හොරදුගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී එම විද්‍යාලයෙන් අස්කරගෙන වීරකැටිය ප්‍රදේශයට ගෙන ගොස් ඇත්තේ ජීවත්වීමට ඇති අපහසුතාව නිසාය. මේ වන විට ඔහු නිපුන්ගේ මවගේ මහ ගෙදර සිට වීරකැටිය ප්‍රදේශයේ පාසලකට යන බව නිපුන් හර්ෂණ පවසසි. "දැන් මල්ලි මාත් එක්ක නෑ. අද තමයි එයා ආවේ. මට ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 183ක් තියෙන නිසා ගාල්ලේ පාසලකට යන්න පුළුවන් කියලා අපේ පාසලේ විදුහල්පතිනිය වන බී.ඒ. චන්ද්‍රා මහත්මිය කිව්වා. ඒ වුණාට අම්මා කියනවා අපිට මෙහේ ඉන්න තැනක් නැති නිසා අපේ ආච්චිලාගේ ගෙදරවත් යමු කියලා. පත්තරවල තියෙනවා ඇමැති මාමලා ගෙවල් හදලා දෙනවා කියලා. අනේ අපිටත් පුළුවන් නම් ගෙයක් දෙන්න. එතකොට මටයි මල්ලිටයි එකට ඉදගෙන ඉස්කෝලේ යන්න පුළුවන්." සැබැවින්ම නිපුන් එසේ පවසන විට හොරදුගොඩ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය, නිපුන්ගේ වර්තමාන පන්ති භාර ගුරුතුමිය වන ඩබ්ලිව්.වී.ටී. තුෂාරි මහත්මිය, නිපුන්ගේ මවුපියන් ඇතුළු අපිටත් ඇසින් කඳුළු එළියට පැන්නේ සැබැවින්ම හැඟීම්බර අවස්ථාවක් වූ නිසාය. ස්ථිර එක් ගොඩනැඟිල්ලක් පමණක් ඇති හොරදුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ අඩක් දරුවන් අකුරු කරන්නේද ටකරන් සහිත ගොඩනැඟිල්ලකය. එසේ අකුරු කර ශිෂ්‍යත්ව දිනූ නිපුන් හර්ෂණ අප සමඟ මෙසේද පැවැසීය.

අපේ ලෑලි ගෙදරට ලයිට් නෑ. අපිට ටී.වී.ත් නෑ. රේඩියෝත් නෑ. මට පෞද්ගලික පන්ති යන්න මුදල් තිබුණේ නෑ. මගේ පන්ති භාර ටීචර් උදේ ඉඳලා හවස් වෙනකම්ම පාඩම් කියලා දුන්නා. මම රෑ අට වෙනකොට නිදා ගන්නවා. කුප්පි ලාම්පුවෙන් ඊට වැඩිය වෙලාවක් පාඩම් කරන්න බෑ. උදේ නම් 5.30ට විතර වෙනකොට නැඟිටලා ටිකක් වැඩ කළා. අපේ පාසලේ විදුහල්පතිනියගේ මහත්තයා මට කිව්වා ශිෂ්‍යත්වය පාස් වුණොත් බැටරි දාන සෙල්ලම් කාර් එකක් ගෙනත් දෙනවා කියලා. මට වෙන සෙල්ලම් බඩු නෑ. අපේ මල්ලිටත් නෑ. මම කොහොම හරි පොත් හොයාගෙන කියවනවා. මම දැනට මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ පොත් කීපයක්ම කියවලා තියෙනවා. හමුදාවේ මාමා කෙනෙක් ලියපු නන්දිකඩාල් කියන පොත මම ඔක්කොම කියෙව්වා. මම මගේ රටට, මගේ පාසලට හරිම ආදරෙයි. මම ලොකු වුණාම කැමැති හමුදාවට යන්නයි."
නිපුන් හර්ෂණගේ අනාගත බලාපොරොත්තුව කොතරම් අහිංසක දැයි අමුතුවෙන් කිවයුතු නැත.

නිපුන් හර්ෂණගේ මව වන බි.එල්. නිරෝෂා මහත්මිය සිය පුතු ගැන මෙසේ පැවැසීය.
බොහෝම අමාරුවෙන් තමයි අපි මෙයාව පාසල් යැව්වෙත්. අපිට සමෘද්ධියවත් නෑ. අලුත් සමෘද්ධි සමීක්‍ෂණයට නම් නම ගෙනිච්චා. තාම ආවේ නෑ. නිපුන් පොත් කියවන්න හරිම ආසයි. අර කමල් ගුණරත්න මහත්මයාගේ නන්දිකඩාල් පොත කියෙව්වේ ශිෂ්‍යත්වයට දවස් කීපයක් තියෙද්දී. එයා අනාගතයේ කැමැති හමුදාවට යන්න.

හොරදුගොඩ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය බී.ඒ. චන්ද්‍රා මහත්මිය: අපේ තුෂාරි ගුරුතුමියට තමයි මේ ජයග්‍රහණයේ අයිතිය තියෙන්නේ. සමහර අය බනිද්දීත් හවස් වෙනකම්ම මේ දරුවන්ට පාඩම් කියලා දුන්නා. නිපුන් ගැන අපි විශේෂ බලාපොරොත්තුවකින් හිටියේ. ඉන්න තැනක් නෑ කියලා ගම දාලා යන්න හැදුවේ. අපිත් කියලා ශිෂ්‍යත්ව විභාගය වෙනකම් කියලා තමයි තියා ගත්තේ. දැන් එයාට හොඳ පාසලකට යන්න පුළුවන්. නමුත් ඉතින් ඔවුන්ගේ ආර්ථිකය එතරම් සවිමත් නෑ. කාගේ හරි උදව්වක් ලැබුණොතින් ඔහු ඉදිරියේදී රටටත් ජයග්‍රහණ ගෙන ඒවි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්