ලොව වැඩිම මුදලක් උපයාගන්නා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ස්මිත් පෙරමුණේ

  👤  2265 readers have read this article !
By mawbima 2017-10-19

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ නායක ස්ටීවන් ස්මිත් වර්ෂයකට වැඩිම මුදලක් උපයා ගන්නා ලොව ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පෙරමුණ ගැනීමට සමත්ව ඇති අතර, ශ්‍රී ලංකාවේ ඇන්ජිලෝ මැතිව්ස්ද එම නාම ලේඛනයේ 5 වැනි තැනට ඇතුළත්ව සිටීමද විශේෂත්වයකි.

ඒ අනුව වැඩිම මුදලක් උපයා ගන්නා ක්‍රීඩකයන් අතර ඉහළින්ම සිටින ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් කොන්ත්‍රාත්තු හා තරග දීමනාවලින් වර්ෂයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.469ක (රුපියල් විසි දෙකෝටි තිස් දෙලක්‍ෂ අසූ අට දහසක පමණ) ආදායමක් උපයා ගන්නා අතර, එහි දෙවැනි තැන සිටින එංගලන්තයේ ජෝ රූට් වර්ෂයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.38ක (රුපියල් විසි කෝටි අනූ හත් ලක්‍ෂ හැට දහසක් පමණ) ආදායමක් උපයා ගන්නා බවද වාර්තා වේ.

එම නාම ලේඛනයේ තෙවැනි තැනට පත්ව සිටින ඉන්දියාවේ විරාත් කෝලි වර්ෂයකට ඩොලර් මිලියන 1ක (රුපියල් පහලොස් කෝටි විසි ලක්‍ෂයක් පමණ) ආදායමක් උපයා ගනිද්දී ඇන්ජිලෝ මැතිව්ස් වර්ෂයකට ඩොලර් මිලියන 0.32ක (ශ්‍රී ලංකා රුපියල් හතර කෝටි අසූහය ලක්‍ෂ හතලිස් දහසක පමණ) ආදායමක් උපයා ගන්නා බවද පැවැසේ.
කෙසේ වෙතත් ටෙස්ට්, එක්දින හා විස්සයි-20 තරග ක්‍රීඩා කිරීමේදී වැඩිම මුදලක් හිමිවන කණ්ඩායමද මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇති අතර, එහිදී ටෙස්ට් තරගයක් සඳහා වැඩිම මුදලක් ලැබෙන්නේ ඉන්දියානු කණ්ඩායමටය. ඒ අනුව ඉන්දියානු ක්‍රීඩකයකු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළහොත් ඩොලර් 23,380ක මුදලක් (රුපියල් තිස්පන් ලක්‍ෂ පනස් තුන් දහස් හත්සිය හැටක පමණ) හිමිවන අතර, එක්දින තරගයක් සඳහා ඩොලර් 9352ක මුදලක් (රුපියල් දහහතර ලක්‍ෂ විසි එක් දහස් පන්සියයක් පමණ) හිමි වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයකු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළහොත් ඩොලර් 5,000ක (රුපියල් හත් ලක්‍ෂ හැටදහසක් පමණ) මුදලක්ද එක්දින හා විස්සයි-20 තරගයක් ක්‍රීඩා කළහොත් ඩොලර් තුන්දහසක් බැගින්ද (රුපියල් හාර ලක්‍ෂ පනස් හයදහසක් පමණ) හිමිවීමට නියමිතය.

මේ අතර පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ වර්ෂයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 58ක (රුපියල් කෝටි 660ක පමණ) ආදායමක් උපයා ගනිමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්