පුංචි ඡන්දය පවත්වන දිනය දෙයියොවත් දන්නේ නැහැ

  👤  2272 readers have read this article !
By mawbima 2017-10-19

ඉදිරි පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය දෙවියන් වහන්සේටවත් පැවැසිය නොහැකි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සහ මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු මණ්ඩලයේ සාමාජික රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.

මාර්තු 12 ව්‍යාපාරය මඟින් ඊයේ (18දා) කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කළේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන පක්ෂ නායකයන් මැතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට වග බලා ගත යුතු බවත් මෙම මැතිවරණය පිළිබඳව මාර්තු 12 ව්‍යාපාරය අවධානයෙන් යුතුව ක්‍රියාකරන බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
එහිදී රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේද පැවැසීය.

මැතිවරණය පවත්වන දිනය කවදාද කියලා දෙවියන් වහන්සේටවත් කියන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ තරමටම දිනය පිළිබඳ අවිනිශ්චිතතාවක් තියෙනවා. කොහොම වුණත් මේ මැතිවරණ ක්‍රමයෙන් කොට්ඨාසයට වගකියන මන්ත්‍රිවරයෙක් ලැබෙනවා. එය සාධනීය තත්ත්වයක්.
මේ මැතිවරණ ක්‍රමයෙන් "මනාපය" සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. ඒ වගේම මේ රටේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩි වෙනවා. ජනතාවට නඩත්තු කරන්න වෙන මහජන නියෝජිතයෝ ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩි වෙනවා. එවැනි තත්ත්වයක් තුළ දේශපාලන හා නිවැරැදිව පළාත් පාලනයට අපේක්ෂකයෝ තේරුවේ නැත්නම් හෙට දවසේ අනාගතය තීන්දු වෙන්නේ අද දේශපාලන පක්ෂ ගන්න තීන්දුව අනුවයි.
දේශපාලන පක්ෂ අපොහොසත් වුණොත් සුදුසු පුද්ගලයන් ලැයිස්තුවලට ගේන්න, මැතිවරණ පැවැත්වීමේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. කාන්තා නියෝජනයට 25%ක් ලබලා දුන්නට වැඩක් නැහැ නිර්මාණශීලී හැකියාවක් තිබෙන දක්ෂ කාන්තාවෝ මේකට ගෙනාවේ නැත්නම්.
ඒ වගේම තමයි නැවත වරක් මේ හරහා එන්නේ දිස්ත්‍රික් මට්ටමේ නායකයන්ගේ හිතෛෂීන් නම් ඔවුන්ගේ පවුලේ උදවිය නම් ඒක නම් නිර්ණායකය පළාත් පාලන මැතිවරණය පවත්වන එකෙන් ජනතාවට කිසිදු සෙතක් වෙන්නේ නැහැ.

ජනතාවට සෙතක් වෙන්නේ නිවැරැදි අපේක්ෂකයෝ මේකට තේරුවොත් විතරයි.
ඒ වගේම තමයි ගම් මට්ටමෙන් ජනතාව හඬ නඟන්න ඕනි දූෂිත නොවන පුද්ගලයන්ව මැතිවරණවලට ඉදිරිපත් කරන්න කියලා. මේ රටේ ජනතාව දේශපාලන පක්ෂ නායකයන්ට ඒ ගැන බලපෑම් කළ යුතුයි. දේශපාලන පක්ෂ මේ ගැන සංවේදී නොවුණොත් අනාගතයේදී මේ රටේ ජනතාව පෙළගස්වන කාරණාව අපි අනිවාර්යයෙන්ම මාර්තු 12 ව්‍යාපාරය විදියට රට පුරා ක්‍රියාත්මක කරනවා.

පළාත් සභා ගණ පූරණය නැති නිසා කල් දානවා. අපි මාධ්‍යවලින් දැක්කා වයඹ සහ මධ්‍යම පළාත් සභාවල නියෝජිතයන් කටයුතු කරන ආකාරය. මේ තත්ත්වය පළාත් සභාවේ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේත් අපි දකිනවා. 70 වැනි සංවත්සරයට කී දෙනෙක් සහභාගි වුණාද කියලා අපි අහනවා. පසුගිය කාලේ ප්‍රධාන අණපනත් පාර්ලිමේන්තුවේ සම්මත වෙනකොට මහජන නියෝජිතයෝ ඒවාට දායක වුණාද කියලා අපි අහනවා. මේ තත්ත්වය අපි වෙනස් කරන්න ඕනි.

මේ පළාත් පාලන මැතිවරණය පවත්වන එක ගැන අග්‍රාමාත්‍යවරයාත් එක් වතාවක් මේ ගැන කියලා තියෙනවා. ජනාධිපතිවරයාත් දෙපාරක් කිව්වා. ඒ දෙකෙන් එකක් වත් වුණේ නැහැ. විෂය භාර අමාත්‍යවරයාත් මැතිවරණය පවත්වන එක ගැන කියපු වාර ගාණ මිනිස්සුන්ට මතක නැහැ. අඩුම කරමින් දහ වතාවකට වඩා කියලා තියෙනවා. දැන් අපි හිතුවා සංස්ථාපන ගැසට් එක ගහලා මැතිවරණය තියයි කියලා. නමුත් දැන් ඒක වෙන්නෙත් නැහැ.

ඒ වගේම තමයි මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පත් කරගෙන යනවා. ප්‍රසිද්ධම කාරණය තමයි ගුරුවරිය දණ ගස්සපු පුද්ගලයාට ආසන සංවිධායක ධුරයක් දීලා තියෙනවා. අපිට දේශපාලන පක්ෂවල ආසන සංවිධායකවරු කවුද කියන එක වැදගත් නැහැ. නමුත් ඔවුන් මහජන නියෝජිතයන් හැටියට පාර්ලිමේන්තු අපේක්ෂකයෙක් බවට පත් වෙනවා නම් පළාත් පාලන අපේක්ෂකයෙක් බවට පත් වෙනවා නම් අපි මාර්තු 12 ව්‍යාපාරය හැටියට අපේ බරපතළ විරෝධය පළ කරනවා.
උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්