ව්‍යවස්ථා කමිටුවේ අතුරු වාර්තාව අල්ලගෙන සමහරු බිල්ලෙකු මවා රට රවටනවා

  👤  2307 readers have read this article !
By mawbima 2017-10-19

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ අතුරු වාර්තාව අඩුම තරමින් ව්‍යවස්ථාවක දළ කෙටුම්පතක්වත් නොවන බැවින් ඒ පිළිබඳ බොරු බිල්ලන් මවා රට විනාශ නොකරන ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි.
දැනට ඉදිරිපත් කර ඇත්තේ සාකච්ඡා කර ඇති සාරාංශයක් මිස කෙටුම්පතක් නොවන බව ස්වාමින් වහන්සේ අවබෝධ කරගත යුතු බවත්, රටේ ජනතාව එම බොරු බයෙන් මුදාලිය යුතු බවත් මන්ත්‍රිවරයා පවසයි.

එමෙන්ම ජනතා විමුක්්ති පෙරමුණ එදා සිට අද වනතෙක් පළාත් 2ක් හෝ ඊට වැඩි ගණනක් එකතු කිරීමට විරුද්ධ වන අතර ඉදිරියේදීත් රට බෙදන කිසිදු කාරණයකට ඉඩ නොදෙන බව පවසන ඒ මහතා කියා සිටියේ ඉදිරියට රටට විධායක ජනාධිපතිවරයෙක් හෝ විධායක අගමැතිවරයෙක් අවශ්‍ය නැති බවයි.
ඔහු පවසන්නේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාරය කරමින් නැවත පරණ කොටි හමට තළමින් කොටි නියපොතු ගැන කතා කිරීමෙන් ජාතික සමඟිය ඇති කළ නොහැකි බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට විධායක ජනපති ක්‍රමය පවත්වාගෙන යෑමට තවදුරටත් කිසිදු සදාචාරාත්මක බලයක් නැති බවත් ඔහු ඒ පිළිබඳ කිසිත් නොකියා රට පුරා පාසල්, පන්සල්, කෝවිල්වල චාරිකාවේ යෙදෙමින් සිටින බවටත් හෙතෙම චෝදනා කරයි.
ඊයේ (18දා) සිය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ මන්ත්‍රි විජිත හේරත් වැඩිදුරටත් පැවසුවේ වත්මන් ආණ්ඩුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපාලනයක් නොවන අතර මෙරට බැංකු කොල්ලකා ජාත්‍යන්තර බැංකුවලටද අත ගැසූ දූෂිතයන්ගෙන්, මැරයන්ගෙන්, නාස්තිකාරයන්ගෙන් පිරි දූෂිත පාලනයක් බවයි.
මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ විවිධ ප්‍රකාශ මතුවලා තිබෙනවා. රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. එය සම්පාදනය කළ යුතුයි. 2015 ජනවාරි 08 මේ රටේ ජනාධිපතිවරණය පැවැත්වූවේ, එවකට ඇමැතිවරයෙක් ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඊට ඉදිරිපත් වුණේ, විධායක ජනපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කරනවා කියන පොරොන්දුව මතයි ජනවරම ලබා ගත්තේ.

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම, නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම, සංහිඳියාව ඇති කිරීම ඇතුළු තවත් කරුණු ගණනාවක් සංශෝධනය විය යුතුව තිබෙනවා. ඒ අනුව මෙහෙයුම් කමිටුව සකස් කළ අතර එයට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඇතුළත් වෙනවා.
මේ අතුරු වාර්තාව කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ දළ කෙටුම්පතක් නොවෙයි. යම් සාකච්ඡාවක කරුණුවල සාරාංශය පමණයි.
සමහර බංකොළොත් දේශපාලන කණ්ඩායම් රට බෙදනවා, රට කඩනවා, ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනවා කියලා ගිරිය පුප්පගෙන කෑ ගහනවා. ජවිපෙ කියන්නෙ මේ වනතෙක් ජාතික සමඟිය, සංහිඳියාව වෙනුවෙන් කැපවීම් කළ පක්ෂයක්. මවුබිම වෙනුවෙන් 60,000ක් ජීවිත පරිත්‍යාග කළ පක්ෂයක්.

දැන් කෑගැහුවට 2005.11.19 ඡන්ද ප්‍රතිඵල ආවට පසු ඒ මස 26 මහින්ද රාජපක්ෂ නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා උතුර, නැඟෙනහිර එක් කළ යුතුයි කියලා. 2006 ජවිපෙ ශේ‍ර්ෂ්ඨාධිකරණයට ගිහින් නඩුවක් පැවරුවා මේ සම්බන්ධව. ලාංකේය ඓතිහාසික නඩු තීන්දුවක් වූ මේ නඩුවෙන් උතුරු, නැඟෙනහිර පළාත් 2ක් ලෙස නීත්‍යනුකූලව වෙන් කළේ අපි. අපි නැවත උතුරු නැඟෙනහිර එකතු කරන්න කිසිසේත්ම ඉඩදෙන්නෙ නෑ. ඒ වගේම නැඟෙනහිර මුස්ලිම් ජනතාවත් මේකට ඉඩ දෙන්නෙ නෑ. ඔවුන් ඔවුන්ගේ භූමි වෙනස් වෙනවට කැමැති වෙයිද? නමුත් සමහරු ඉදිරිපත් කරලා තියෙනවා ඒ ප්‍රදේශ ඒකාබද්ධ කළ යුතුයි කියලා. මේ අතුරු වාර්තාවට අපි අපේ නිර්දේශ 9ක් ඉදිරිපත් කරලා තියෙනවා.

මාධ්‍යවලින් ඇසූ ප්‍රශ්න සඳහා මෙසේද පැවැසීය.
ප්‍ර. - විධායක ජනපති ක්‍රමය ඉවත් කිරීම හරහා රටේ ආරක්ෂාවට බලපෑමක් නැද්ද?
පි. - එය වැරැදි මතයක්. විධායක ජනපති ක්‍රමය හරහා ආරක්ෂාවක් තියෙනවා කියලා රටේ මතයක් හදලා තියෙනවා. විධායක බලයම ඕනෑ නෑ රට ආරක්ෂා කරන්න. ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා ඉද්දි තමයි යුද්ධය තිබුණේ. ඒ විධායක ක්‍රමය යටතේ නෙවෙයිද?

ප්‍ර. - මොකක්ද මේ ජවිපෙ නායකයාට තියෙන මුදල් සම්බන්ධ චෝදනාව?
පි. - මොන චෝදනාවද?
ප්‍ර. _ ඇමැති මලික් සමරවික්‍රමගෙන් කෝටි ගණන් මුදල් ජවිපෙ නායකයා ගත්තා කියන චෝදනාව?
පි. _ කවුද චෝදනා කරන්නේ?
ප්‍ර. _ මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු
පි. _ කවුද මේ ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ. එදා මහින්ද රාජපක්ෂ පාලනයේ වරදාන වරප්‍රසාද විඳලා ඒවා අහිමි වුණු ජොන්ස්ටන්ගෙ කේන්තිය අපිට හිතා ගන්න පුළුවන්. සතොස කෝටි භාගයක බඩු පන්නපු චෝදනාව වහන්නද මෙහෙම බොරු ප්‍රකාශ කරන්නේ?
අද ජවිපෙ ගැන ලොකුª කේන්තියක් තියෙනවා මේ අයට. එතුමන්ලට අපි අනුකම්පා කරනවා. වීරවංශලා, ජොන්ස්ටන්ලා විවිධ අවලාද මඩ ගහනවා. වීරවංශ කියනවා ජවිපෙ නායකයා කියන්නේ ගෙදර ඇති කරන සුරතල් සතෙක් කියලා. එදා වීරවංශලා මහින්ද ළඟ බලු කුක්කො වගේ හිටියේ. මහින්දට, නාමල්ට, බැසිල්ට හැමෝටම සර්, සර් කිය කිය හිටිය උදවිය මේ. ඒ වගේම ජොනී මහත්තයෝ ඔබේ කේන්තියට, වියරුවට කියන්න තියෙන්නෙ අපිත් ලේසියෙන් අත්හරින්නෙ නෑ කියලා.
ජවිපෙ පළාත් සභා මන්ත්‍රි (නීතිඥ) සුනිල් වටගල _
මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපි ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අපහාසය සම්බන්ධ මිලියන 500ක නඩුවක් පවරනවා. අපහාසාත්මක නඩුවක විශේෂත්වය හරස් ප්‍රශ්න විමසීමේ හැකියාව.
ප්‍ර. _ විමල් වීරවංශ මන්ත්‍රිවරයා රූපවාහිනි වැඩසටහනකදී කිව්වා ජවිපෙ නායකයා සමඟ ව්‍යවස්ථාව ගැන ඕනෑ විවාදයකට ලෑස්තියි කියලා.
මන්ත්‍රි විජිත හේරත් _ මඩේ ලැගපු උෟරෙක් එක්ක විවාදයක් ජවිපෙට නෑ. නමුත් ව්‍යවස්ථාව ගැන ඕනෑම වෙලාවක අදහස් ඉදිරිපත් කරන්න අපි සූදානම්.
අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්