රටේ ප්‍රශ්න අවුළුවන්න ආණ්ඩුවේ සමහර මැති - ඇමැතිවරුත් හවුල්

  👤  2279 readers have read this article !
By mawbima 2017-10-19

ඡන්දයක් ආවාම ගමේ අය දෙකට බෙදිලා ගහගන්නවා. හැබැයි මේ ඉන්න දෙපැත්තේ සංවිධායකවරු එහෙම ගහගන්නවාද නෑ. මහින්ද - රනිල් ගහගන්නවාද නෑ. ඒ අය මොන දේ එළියේ කීවත් ඇතුළේ හොඳයි යැයි ඊයේ (15දා) දින නිකවැරටිය රස්නායකපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.
අද රටේ සෑම ක්‍ෂේත්‍රයකම ප්‍රශ්න ඇති කරන්න ඇතැමුන් උත්සාහ කරනවා. ආණ්ඩුවේ ඉන්න සමහර මැති ඇමැතිවරුන් මේකට හවුල්. නමුත් අපිට තියෙන්නේ ජනතාවට බලපාන ගැටලු සඳහා විසඳුම් සෙවීමයි. ඒ සඳහා තමයි වගා සංග්‍රාමයක් අපි සතියක් පුරාවට ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒවා විනෝද වෙන සල්ලි වියදම් කරන දේවල් එහෙම නෙවෙයි.

මෙම වගා සංග්‍රාම යටතේ ඉදිරි වසර කිහිපය තුළ අපි රටේ උතුරු නැඟෙනහිර පොල් වගාව අක්කර දහස් ගණනක් පුරා ආරම්භ කරනවා. ඉදිරියේදී පන්සල්වල, පාසල්වල වගා කරන ක්‍රමවේදය අපි හදනවා. විශේෂයෙන් පොල්, බෙහෙත් පැළෑටි මේ සඳහා යොදා ගන්නවා. මේ සියල්ල කරන්න ජලය අවශ්‍යයි. ඒ සඳහා රට පුරා වැව් දාහක් ගැඹුරු කිරීම පටන් ගන්නවා. හාල් සීයයි, පොල් සීයයි කියලා කෑ ගගහ ඉන්න එක සමහර අයට හොඳ වුණාට ඇතැම් මහජනතාව මේ හරහා පීඩාවට පත්වෙලා තියෙනවා. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා නීතිය, මැතිවරණය, ක්‍රමය ආදිය වෙනස් කරන්නට කටයුතු කරමින් යනවා, හැකියාවක් ලැබෙනවා. මෙතෙක් එකට එකතු වෙලා වැව නොකරපු අයට පවා වැඩ කරන්න. මෙවැනි මොහොතක කළ යුත්තේ විවිධ පක්ෂ ගොඩනඟන එක නෙවෙයි. සියලු දෙනා එකතු වෙලා රට ගොඩනඟන එක ගැන සිතීමයි. එවිට ශ්‍රී ලංකා යූ.එන්.පී., ජ.වි.පෙ. කියලා භේදයකින් තොරව කටයුතු කරන්න පුළුවන් වෙනවා. පසුගිය කාලේ අපේම ආණ්ඩුව තිබිලත්, ජනතාවගේ හදවත් දිනා ගැනීමට බැරි වුණා. අධිවේගී මාර්ග හැදුවාට, ගුවන් පාලම් හැදුවාට, ගමේ පාරවල් ටික හැදුවාට අපිට ජන හදවත් දිනන්න බැරි වුණා. ඒකට හේතු වුණේ අපි ජනතාව අතරට ගිහිල්ලා හිටියේ නැති නිසා. ආණ්ඩුව ආණ්ඩුවකට ඕනෑ දේවල් කෙරුවා මිස යළි ඡන්දයකින් ජය ගැනීම අවශ්‍යයි කියලා වැඩ කෙරුවේ නැහැ. දැන් ඒක වෙනස් වෙලා මෛත්‍රිපාල ජනාධිපතිතුමයි, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමයි ඒ ජනතා ගැටලු සියල්ල හඳුනාගෙන මුලින්ම රටේ වෙලා තිබුණු ණය ටික ගෙවලා මේ අවුරුදු දෙක තුන තුළ රටේ සංවර්ධනය කරගෙන යන යුගයක් මේ උදාවෙලා තියෙන්නේ. ඒ නිසයි අපි කියන්නේ මැතිවරණය කාලේ වගේම මැතිවරණයකින් පස්සෙත් ජනතාව දිහා බැලිය යුතුයි කියලයි. එහෙම නොකරපු නිසා තමයි අපි දෙපාරක්ම පැරැද්දුවේ.

මේ රටේ තනි පක්ෂයකට බලය ගන්න බැරි නිසා තමයි ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා යහපාලන ආණ්ඩුව හැදුවේ. ඒ නිසා ඉදිරි අවුරුදු දෙක මේ රටේ මහ පොළොව හොඳට අස්වද්දලා රට ස්වයංපෝෂිත කළ යුතුයි. ඒ සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෘෂි කාර්මික කටයුතු සඳහා ලක්ෂ හාරදාස් දෙසීයක් අපි ලබා දීලා තියෙනවා. ඒ හරහා වැව් දාහක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. දෙකන්නේ වතුර නැතිව හරි වැඩ කරන යුගයක් අපි ඇති කළ යුතුයි.

නිකවැරටිය - රසික කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්