අඹ හොරකමට උසාවි දැමූ කාන්තාවට ඇප

  👤  2339 readers have read this article !
By mawbima 2017-10-19

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

අසල්වැසි නිවෙසකින් අඹ ගෙඩි දහනවයක් අනවසරයෙන් කඩා ගත් බවට අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ කාන්තාවක රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂන් කැකුණවෙල මහතා නියෝග කළේය.
ලබන වසරේ ජනවාරි මස 30 වැනි දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකාර කාන්තාවට තවදුරටත් නියෝග කළේය. මෙසේ ඇප මත මුදා හැරියේ අනුරාධපුර සාලියපුර ජයන්ති ග්‍රාමයේ පදිංචි කාන්තාවකි.

තම ගෙවත්තේ ඇති අඹ ගසකින් අඹ ගෙඩි 19ක් සොරකම් කළ බවට අනුරාධපුර සාලියපුර ජයන්ති ග්‍රාමයේ වෙරළදෙණියේ විදානලාගේ උදේනි පෙරේරා නමැත්තිය අනුරාධපුර මූලස්ථාන පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි. පසුව සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට සිදු විය. සැකකාර කාන්තාව අනවසරයෙන් අසල ගෙවත්තකින් කඩා ගත් බවට සැක කෙරෙන අඹ ගෙඩි 19ක් ද පොලිස් භාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස ලේඛන ගත කර තිබේ. තමන් අනවසරයෙන් අඹ ගෙඩි දහනවයක් නොකැඩූ බවත් අඹ මාළුවක් සඳහා තමන් අනවසරයෙන් කඩා ගනු ලැබුවේ අඹ ගෙඩි තුනක් පමණක් බවත් සැකකාර කාන්තාව සිය කටඋත්තරය මඟින් පොලිසියට ප්‍රකාශ කරනු ලැබුවාය. මේ අතර මෙම සිද්ධිය දැනගත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතාට දුරකතනයෙන් අමතා පවසා ඇත්තේ මෙම සිදුවීම දෙස අතිශය මානුෂීය අයුරින් සලකා බලා දෙපාර්ශ්වයම සමථයකට පත් කර සිද්ධිය අවසන් කිරීමට උත්සාහයක් ගන්නා ලෙසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්