කෝටි ගණන් වංචා කරන අය අත්අඩංගුවට ගැනීමට මැළි වෙනවා

  👤  2288 readers have read this article !
By mawbima 2017-10-19

එප්පාවල _ කුමාර දිසානායක

රුපියල් 7,500ක් වැනි පුංචි මුදලක් ගනුදෙනුවලදී පවා චෙක්පත් අගරු වීමක් සිදුවුවහොත් චෙක්පත ලබාදුන් තැනැත්තා අත්අඩංගුවට ගෙන නිවාඩු දිනයන්හිදී වුවද අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන පොලිස් නිලධාරීන් කෝටි ගණනක මුදල් වංචා කර තිබෙන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මැළිකමක් දක්වන්නේ කුමක් නිසාදැයි තඹුත්තේගම මහෙස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා තඹුත්තේගම පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.
තඹුත්තේගම නගරයේ අරුණලු ෆන්ට් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් නමින් මූල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් මහ බැංකුවේ ලියාපදිංචි නොකර මුදල් ගනුදෙනු කිරීම සම්බන්ධව අදාළ මූල්‍ය සමාගමට විරුද්ධව විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ලැබී ඇති පැමිණිලි පහක් සම්බන්ධව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ නඩුවක් විභාගයට ගනු ලැබූ අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා එසේ ප්‍රශ්න කළේය.

මේ මූල්‍ය සමාගම විසින් කෝටි දෙකකට ආසන්න මුදලක් තඹුත්තේගම අවට පුද්ගලයන්ගෙන් එකතු කර පොලී ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන සමාගමක් බවත් මෙම සමාගම තුළ රජයේ සේවකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් ලක්ෂ දහයේ සිට ලක්ෂ හැට දක්වා මුදල් ආයෝජනය කර තිබෙන බවත් මේ වන විට එලෙස ආයෝජනය කළ මුදල් නැවත ලබා ගැනීමට නොහැකි වීමෙන් එම පුද්ගලයන් දැඩි අපහසුතාවට පත්ව ඇතිබවත් පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලෙව්කේ බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේය. තඹුත්තේගම පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගැනීමේ හා නඩු පැවරීම සම්බන්ධයෙන් මෙහි සිවිල් භාවයක් අනාවරණය වන බැවින් නීතිපති උපදෙස් ලබාගැනීමෙන් පසුව නඩු පැවරීම හා අත්අඩංගුවට ගැනීම සිදු කරන බවයි.

තඹුත්තේගම නගරයේ නාමපුවරු දාගෙන මෙලෙස වංචා සහගත ලෙස මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑමට ඉඩදිය නොහැකි බව අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරයා කෝටි ගණනක් මුදල් වංචා කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලිසිය මැළි වන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කළේය.

මහෙස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට නියෝග කළේ නීතිපති උපදෙස් ලබාගැනීමට කල්' ගතවන බැවින් ඒ වන විට තවත් බොහෝ පිරිසක් මෙම ආයතනයට මුදල් ලබාදී අගතියට පත්විය හැකි බැවින් පොලිසිය වංචාකාරයන් දාන බෝලවලට හසු නොවී විමර්ශන කටයුතු සිදුකරන අතරතුර මෙම මුල්‍ය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන 23දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්