රිමාන්ඩ් කර සිටින අලෙවි සහායක කිරිවලට රසායන ද්‍රව්‍යයක් එකතුකර ඇති බවට තොරතුරු හෙළි වෙලා

  👤  2315 readers have read this article !
By mawbima 2017-10-19

ගම්පොළ - මාධව බණ්ඩාර

ප්‍රසිද්ධ සමාගමකට අයත් ගම්පොළ ප්‍රදේශයේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයකින් කාලයක් තිස්සේ කිරි සොරකමේ යෙදීම නිසා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එහි සේවකයකු මෙම ස්ථානයේ කිරිවලට රසායනික ද්‍රව්‍යයක් එකතු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මොහු මෙම කිරි සොරකම් කිරීමෙන් පසු එම අඩුව වැසීම සඳහා කිරිවලට ජලය කලවම් කොට ඇති අතර ඉන්පසු කිරි පරීක්ෂාවේදී එහි ඝනත්වය රැකීම සඳහා මේ අයුරින් කිරිවලට රසායනික ද්‍රව්‍යයක් එකතු කොට තිබෙන බව අනාවරණය වෙයි.

මෙම කිරි සොරකම් කරන අවස්ථාවේදී පොලිසියට හසුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ එම සමාගමේ තොග අලෙවි අංශයේ අලෙවි සහායක ලෙස සේවය කළ අයෙකි.
මොහු රාත්‍රි කාලයේ ඔහු සතු ත්‍රිරෝද රථයෙන් පැමිණ කිරි මධ්‍යස්ථානයේ පිටුපස ජනේලය හැර ඒ තුළින් කිරි ශීතකරණයට බටයක් යොදා කිරි එළියට ඇද සොරකම් කර තිබේ.
මේ ආකාරයට දිනකට කිරි ලීටර් 40 _ 60ක් පමණ ඉවතට ගන්නා මොහු තමන් ගෙනයන ජලය, බටයක ආධාරයෙන් නැවත ශීතකරණයේ කිරිවලට මිශ්‍රකර මෙම රසායනික ද්‍රව්‍ය කලවම් කර තිබේ. මේ පිළිබඳව කිරි එකතු කරන මධ්‍යස්ථානයේ නිලධාරීන්ට ඇතිවූ සැකයක් නිසා රාත්‍රි කාලයේ සැඟවී සිට රාත්‍රි 2 ට පමණ මොහු අල්ලා ගම්පොළ පොලිස් ස්ථානයට භාරදී තිබේ. ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි නුවන් මෙන්ඩිස්, මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍ර. පො. ප. උපාලි සෙනරත් යාපා යන නිලධාරීන්ගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති කපිල බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂණ සිදු කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්