මගී තදබදය අවම කිරීමට ලබන වසරේදී දුම්රිය බලවේග කට්ටල 10ක් ගෙන්වීමට පියවර අරන්

  👤  2296 readers have read this article !
By mawbima 2017-10-19

උපතිස්ස පෙරේරා

දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම නිසා පාසල් සිසුන් ඇතුළු පුද්ගලයන් ගණනාවකගේ වටිනා ජීවිත ගණනාවක් පසුගිය කාල සීමාව තුළ අහිමිවූ බැවින් පාපුවරුවේ ගමන් කිරීමෙන් වළකින ලෙස දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා ඉල්ලීමක් කරයි.

දුම්රිය පාපුවරුවේ ගමන් කිරීමේ අනතුරුදායක බව පිළිබඳව පාසල් ළමයින් දැනුවත් කරන ලෙස විදුහල්පතිවරුන් වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින දුම්රිය ආරක්ෂක අධිකාරිවරයා, ඒ සඳහා අවශ්‍ය නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ දායකත්වය ලබාදීමට තමන් සූදානමින් සිටින බව සඳහන් කර ඇත.

ලාබදායී හා කඩිනම් ප්‍රවාහන මාධ්‍යයක් වූ දුම්රිය සේවය උපයෝගී කරගෙන සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට ජනතාව වැඩි වැඩියෙන් පෙලඹීම හේතුවෙන් කාර්ය බහුල වේලාවන්හිදී අධික මගී තදබදයක් ඇති බව පෙන්වා දෙන අනුර ප්‍රේමරත්න මහතා පාසල් සිසුන් ඇතුළු ඇතැම් මගීහු වුවමනාවෙන්ම දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම පුරුද්දක් කරගෙන ඇති බවත් මඳක් කාලවේලා ඇතිව දුම්රියෙන් ගමන් කිරීමෙන් මෙම අවදානම් තත්ත්වයෙන් මිදී තම ගමන් බිමන් සපුරාගත හැකි බවත් සඳහන් කරයි.
මෙම දුම්රිය මගී තදබදය අවම කිරීමට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ වනවිටත් පියවර ගෙන ඇතැයිද එහෙත් එය කඩිමුඩියේ කළ හැකි ක්‍රියාමාර්ගයක් නොවන බවත් පෙන්වා දෙන දුම්රිය ආරක්ෂක අධිකාරිවරයා ලබන වසරේදී දුම්රිය බලවේග කට්ටල 10ක් දුම්රිය එන්ජින් හා මැදිරි මෙරටට ගෙන්වීමට අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇති බවත් ප්‍රකාශ කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්