රාජ්‍ය පිළිවෙත් සැකැසීම හා ක්‍රම සම්පාදනය පසෙකලා දේශපාලනඥයන් සඟරුවනට ගැරහීම තරයේ හෙළා දකිනවා

  👤  2323 readers have read this article !
By mawbima 2017-10-19

සිදත් මෙන්ඩිස්

රාජ්‍ය ප්‍රතිපත්ති සැකැසීම සහ ක්‍රම සම්පාදනය පසෙකලා දේශපාලනඥයන් භික්ෂුන් වහන්සේ පාලනය කිරීමට යොමු වී ඇති බවත් භික්ෂුන් වහන්සේට ඔවුන් විසින් සිදු කරනු ලබන ගෞරවයෙන් තොර ආමන්ත්‍රණ සහ ගැරහීම් තරයේ හෙළාදකින බවත් සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
භික්ෂුන් වහන්සේ පාලනය කිරීම ගිහි පිරිසට අයත් නොවන කාර්යයක් බැවින් ඉන් ඔබ්බට ගොස් කටයුතු කරන දේශපාලනඥයන් අතින් රට පරිහානියට පත්වන බව අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ. කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවැරී ඇති බලතල අනුව බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ වගකීම උසුලන ජනාධිපතිවරයා සංඝයා වහන්සේ ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවද එහි සඳහන් වෙයි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන සභාපති ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාගේ අස්සනින් යුතු එම නිවේදනයේ මෙසේද දැක්වෙයි.
බෞද්ධයන් වන අපි මහත් වූ ශ්‍රද්ධා භක්තියෙන් හා දිවි හිමියෙන් බුද්ධ, ධම්ම, සංඝ යන මේ ත්‍රිවිධ රත්නය රැකීමට ක්‍රියා කරන්නෙමු. ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශිත උතුම් වූ ධර්මය මුළු මහත් ලෝකවාසී ජනතාවට පිළිගත හැකි පොදු ධර්මතාවකින් යුතු සුවිශේෂී දහමකි. එම දහම ආරක්ෂා කරමින් තවත් ශත වර්ෂ ගණන් ඉදිරියට රැක ගැනීමේ උදාර කර්තව්‍යයක නියැළී සිටින බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ලෙස සැලකෙන මහා සංඝරත්නයේ මඟ පෙන්වීම මත සිදු වේ. මහා සංඝයා වහන්සේ නොවන්නට මේ වන විටත් බුදු දහම අපට අහිමි වී ඇත. රාජ්‍ය පාලනය පැවැති වසර 2500ක් තරම් අපගේ ශාසන ඉතිහාසයේ මහා සංඝයා වහන්සේ විසින් රාජ්‍ය පාලකයාට එනම් රජතුමාට උපදෙස් හා අනුශාසනා කරමින් රාජ්‍ය තන්ත්‍රය පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු සිදු කොට ඇති බව මනාව පිලිබිඹු වෙයි. එවැනි පසුබිමක් මත හෙයින් මහා සංඝයා වහන්සේ අතිශය ගෞරවයෙන් යුතුව ගරු බුහුමන් කරමින් රැකගැනීමට බෞද්ධයෝ පුරුදු පුහුණුව සිටිති. එමෙන්ම අනෙකුත් පුරවැසියන්ද මහ සංඝයා වහන්සේට එක ලෙස ගෞරව බුහුමන් දැක්වීමට පුරුදුව ඇත. ශ්‍රී ලංකාවේ මෑතකදී සමහර බෞද්ධාගමික මෙන්ම අන්‍යාගමික දේශපාලනඥයන් උතුම් වූ බුද්ධ, ධම්ම, සංඝ වශයෙන් සැලකෙන ත්‍රිවිධ රත්නය නියෝජනය කරන මහ සංඝයා වහන්සේට අගෞරව වන පරිදි සැර පරුෂ වචනයෙන්, චීවරධාරීන් යනුවෙන් සංඝයා වහන්සේ ආමන්ත්‍රණය කිරීමට පෙලඹීම බෞද්ධයන්ගේ මහත් සිත් වේදනාවට පත්වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්