දන්න කාලෙක ඇමැතිවරයකු පා නොතැබූ වසර 120ක් පැරැණි ඉඹුලේගොඩ කනිෂ්ඨයේ දරුවො දෙන්නෙක් ශිෂ්‍යත්වය සමත්

  👤  2306 readers have read this article !
By mawbima 2017-10-19

'

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ හික්කඩුව අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි ඉඹුලේගොඩ කනිටු විදුහල කිසිවකුගේ අවධානයට යොමු නොවුණු පාසලකි. අධ්‍යාපන ඇමැතිවරයකු හෝ වෙනත් අමාත්‍යවරයකු දන්නා කාලයක මෙම විදුහලට පැමිණ නැත. පාසල පවතින හුදකලා තත්ත්වය මත 2017 වර්ෂයේ පළමු වසර සඳහා කිසිදු දරුවෙක් පාසලට ඇතුළත් වී නැත. පාසලේ විදුහල්පතිවරයා සහ තවත් ගුරුවරියන් 4 දෙනකු අධ්‍යාපන කටයුතු කරන අතර පාසලේ ළමයින් 36 දෙනකු වෙනුවෙන් පන්ති පහක් පැවැත්වේ.

පසුගිය පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ළමයින් දෙදෙනකු අඩු පහසුකම් යටතේ ශිෂ්‍යත්ව කඩඉම සමත් වී ඇත. සිත්රු තිහස් රණසිංහ (171), තරු පබා සෙව්වන්දි (167) ලබා ගෙන පාසලට කීර්තියක් අත් කරදී ඇත. ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව මෙම විදුහල අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන බල ප්‍රදේශයේ තුන්වැනි ස්ථානයත්, හික්කඩුව අධ්‍යාපන කලාපයේ දෙවැනි ස්ථානයත් හිමිකර ගෙන තිබේ. දරුවන් 12ක් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ඇති අතර ඉන් දරුවන් හත් දෙනකු ලකුණු සියයට වැඩියෙන් ලබා ගෙන ඇත. විදුහලේ විෂය සමගාමී කටයුතුවලට අවශ්‍ය උපකරණ නැත. සංගීත විෂය ඉගැන්වීමට ඇත්තේ මීයන්් විසින් කපා දමා ඇති බෙරයක් සහ කුඩා රබානක් පමණි. කුඩා අල්මාරියක පොත් කීපයක් තබා ඇති පුස්තකාලයක්ද දක්නට තිබේ. එහි කියැවීමට පොත් නැත. විදුහල්පතිවරයාගේ පුටුව කැඩී ගොස් ඇති අතර අනෙක් ගුරු පුටු හතරද කැඩී ගොස් ඇත. මෙම පුටු වසර අසූව ඉක්මවා ඇති පුටු බවද පැවැසේ.
1895 ආරම්භ කර ඇති මෙම විදුහල වසර 120කට වඩා පැරැණි විදුහලකි. වසර 29ක් විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇති කේ. ජගත් කුමාර මහතා මෙයට මාස තුනකට පෙර විශ්‍රාම ගොස් ඇත.
පැරැණි ගොඩනැඟිලි කීපයක් ඇති මෙම පාසලේ ගොඩනැඟිිලිවල වහල තැනින් තැන කැඩී ගොස් ඇති නිසා වැස්සට තෙමේ. බිත්ති පුපුරා ඇති අතර වහල අවදානම් තත්ත්වයක පවතී. මැටියෙන් නිම කළ බිත්ති නිසා වේයන් හුඹස් බඳින තත්ත්වයටද පත්ව තිබේ. ගොඩනැඟිලි වටේ පේමන්ට් නැත.
නව විදුහල්පති ශාන්ත අලුත් පටබැඳිගේ මහතා අදහස් දක්වමින්,

මීට මාස තුනකට පෙර හිටපු විදුහල්පතිවරයා විශ්‍රාම ගැනීමෙන් පසු මෙම පාසලේ වැඩ භාරගත්තා. විදුහල්පතිවරුන් කීප දෙනකු මෙම පාසලට පත් කර ඇතත් කිසිවකු වැඩ භාරගෙන නෑ. 2017 වර්ෂයේ එකම දරුවකුවත් පාසලට ඇතුළත් වී තිබුණේ නෑ. මෙය බරපතළ ගැටලුවක් බව මට හැඟී ගියා. ඒ නිසා මම ගෙන් ගෙට ගොස් මවුපියන් දැනුවත් කර 2018 වර්ෂය සඳහා ළමයින් 21 දෙනකු පාසලට ඇතුළත් කර ගැනීමට හැකියාව ලැබුණා. පාසල දියුණු කිරීමට ආදි සිසුන්ද උනන්දුවක් දක්වනවා.
පාසලේ පහසුකම් ඉතාම අඩුයි. දරුවන්ට තූර්ය වාදන භාණ්ඩ කිසිවක් නෑ. උණ ලී, පොල්කටු යොදාගෙන අපි මේ වන විට තූර්ය වාදක කණ්ඩායමක් හදාගෙන යනවා. අම්බලන්ගොඩ කලාප අධ්‍යක්ෂවරිය පාසල ගැන සොයා බලනවා. එතුමිය පාසලේ ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය සඳහා ලක්ෂ පහක මුදලක් ලබාදී තිබෙනවා. ගුරුවරයකුට නිවාසයක් තිබෙනවා. ගුරුවරයකු ලැබෙනවා නම් හොඳයි.

රත්ගම _ ගුණපාල ඉරත්නවල්ලි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්