එක් දැරියක් මෙහෙකාර සේවයේ යෙදවූ කතක් අත්අඩංගුවට

  👤  2337 readers have read this article !
By mawbima 2017-10-19

චාමර අමරසූරිය, මුල්ලේරියාව- ඉරෝෂන් මුදලිගේ

දින තුනක කාලයක් අතුරුදන්ව සිටි වැල්ලම්පිටිය, සාලමුල්ල සක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි 14 හැවිරිදි දැරියක මෙහෙකාර සේවයේ යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ බිරියගේ මව වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (18දා) පස්වරු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අතුරුදන් වීම සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අනුව හෙළිදරව් වූ කරුණු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව උසස් පොලිස් නිලධාරියකු 'මව්බිම' කළ විමසීමකදී පැවැසීය.

එසේම අතුරුදන්ව සිටි දහනව හැවිරිදි එක්දරු මව සහ 15 හැවිරිදි පාසල් සිසුවිය ඊයේ පෙරවරු 8.30ට පමණ වැල්ලම්පිටිය පොලිසිය වෙත මෙලෙස භාර වී තිබිණි.
දාහතර හැවිරිදි පාසල් සිසුවිය ඊයේ පැය කිහිපයකට පසුව තවත් කාන්තාවක සමඟ ගම්පහ පොලිසිය වෙත පැමිණ භාර වූ බවද පොලිසිය සඳහන් කරයි.
මෙම පිරිසගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් සංජීව මහතාට ඊයේ (18දා) මධ්‍යම රාත්‍රි 12.30ට පමණ පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබී තිබේ.
අතුරුදන් වූ දැරියන් අතර සිටින 15 හැවිරිදි පාසල් දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන 17 හැවිරිදි තරුණයකු එම දැරිය සමඟ දුරකතනය හරහා සබඳකම් පවත්වන බව එම තොරතුරෙන් කිය වී ඇත.

ඒත් සමඟම වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම තරුණයාව රාත්‍රියේම පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ප්‍රශ්න කර ඇත. අනතුරුව අතුරුදන්ව සිටි මෙම තිදෙනා අවස්ථා දෙකකදී මෙලෙස පොලිස් ස්ථාන වෙත භාර වී තිබේ.
වැල්ලම්පිටිය පොලිසිය මඟින් අනතුරුව මෙම 17 හැවිරිදි තරුණයාව සහ 19 හැවිරිදි එක්දරු මව අත්අඩංගුවට ගෙන තිබේ.
17 හැවිරිදි තරුණයා පාසල් යෑම හමාර කොට ත්‍රිරෝද රථ ගරාජයක සේවය කරන බවද පොලිසිය කියා සිටී.

ඉකුත් 15 වැනි දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අතුරුදන්වන මෙම තිදෙනා ගම්පහ ප්‍රදේශයේ නිවෙසක සැඟවී සිටි බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම තිදෙනාගේ ප්‍රකාශ පරස්පර බැවින් ඊයේ පස්වරුව වන විටත් ඔවුන්ගෙන් පොලිසිය ප්‍රකාශ ලබා ගනිමින් සිටියේය.
14 සහ 15 හැවිරිදි දැරියන් දෙදෙනා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමටද පොලිසිය කටයුතු යොදා තිබේ.
වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් සංජීව මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්