කිලිනොච්චියෙන් ගෙනා කෝටි 2ක කේරළ ගංජා වත්තලදී අල්ලයි

  👤  2396 readers have read this article !
By mawbima 2017-10-19

කොළඹ එම්. සීී. පෙරේරා, බොරලැස්ගමුව - නිඳුවර අබේසිංහ

රුපියල් කෝටි දෙකක් වටිනා කේරළ ගංජා තොගයක් රියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු වත්තල පල්ලිය පාරේදී පෙරේදා (17දා) රාත්‍රි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.
සැකකරුවන් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජාවල බර කිලෝ 137 ග්‍රෑම් 228ක් බව පොලිසිය කියයි.
සුදු පාටට හුරු කුඩා වෑන් රථයකින් ගංජා තොගය ප්‍රවාහනය කරන බවට පොලිසියට ලද තොරතුරක් අනුව එම රථය නවතා පරීක්ෂා කිරිමේදී කාඩ්බෝඩ් පෙට්ටි හතක බහා තිබූ කේරළ ගංජා පාර්සල් හැට පහක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම කේරළ ගංජා තොගය කිලිනොච්චියේ සිට රැගෙන ආ බව හෙළි කර ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියා පැවැසීය.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා තලෙයිමන්නාරම හා කොළොන්නාව පදිංචි වයස අවුරුදු 35 හා 56 අතර පසුවන්නන් බව පොලිසිය කියයි.
වයස අවුරුදු 56 පුද්ගලයා කනත්ත පාර මීගමුව ලිපිනයේ තාවකාලිකව පදිංචිව සිටින අතර අනෙක් පුද්ගලයා කොළඹ 9, දෙමටගොඩ පාර පදිංචිකරුවෙකි.
මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අනෙක් සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අපරාධ, සංවිධානාත්මක දූෂණය හා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ජේ‍යෂ්ඨ නියේජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණ යටතේ පරීක්ෂණ පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්