කුඩු ගහලා අපට හැමදාම ගහන තාත්තාව හිරේ දාන්න

  👤  2479 readers have read this article !
By mawbima 2017-10-19

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය

දෛනිකව මත්කුඩු පානය කර නිවෙසට පැමිණ මවට හා තමන්ට පහර දෙමින් හිරිහැර සිදුකරන පියාගේ කරදර අවසන් කිරීමට ඔහුව හිරේ දමන්නැයි බාලවයස්කාර දැරියක් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
දීර්ඝ කාලයක් තිස්සේ හොරොයින් පානයට ඇබ්බැහිවී සිටින දැරියගේ පියා දිනපතාම මත්ද්‍රව්‍ය පානය කර නිවෙසට පැමිණ සිදු කරන පහරදීම විඳදරා ගැනීමට නොහැකි වූ තරුණ බිරියක් අනුරාධපුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකරන ලෙස කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට උපදෙස් දී තිබේ.

ඒ අනුව කොට්ඨාස ළමා කාන්තා කාර්යාංශය තරුණ කාන්තාවගේ හා දැරියගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වහාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට උපදෙස් දී තිබේ.

මව සමඟ පොලිස් ස්ථානයට ගිය 12 හැවිරිදි පාසල් දැරිය එහි නිලධාරින්ට පවසා තිබුණේ තමන්ට හා මවට අමානුෂික අන්දමින් පහර දී වධ හිංසා පමුණුවන පියා අත්අඩංගුවට ගෙන හිරේ දමන ලෙසය. තාත්තා සෑම දිනකම මත්කුඩු පානය කර නිවෙසට පැමිණ මවට පහර දේද්දී මව බේරා ගැනීමට මැදිහත්වන තමන්ට පියා කොණ්ඩයෙන් ඇදගෙන ගොස් බිම පෙරළාගෙන පහර දෙන බවත් උඹ මගේ එකෙක් නෙවෙයි කියමින් බැන වැදීම නිසා පියා කෙරෙහි කිසිදු ආදරයක් සිතෙහි නැති බවත් ඇය පොලිසියට පවසා තිබිණි.
තමන්ට හා මවට හිරිහැර සිදුකරන පියා හිරේ දැමුවේ නැත්නම් නිවෙස අතහැරදා හිස හැරුණු අතේ යන බවද ඇය හඬමින් පොලිසියට පවසා තිබිණි.
පොලිසියට පැමිණිලි කළ බව දැනගත් අනුරාධපුර නව නගරයේ ත්‍රිරෝද රථ රියදුරකු වන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටින බව පොලිසිය පැවසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්