ගිං ගඟ - නිල්වලා ව්‍යාපෘතියේ සිදුවූ රු. මිලියන 4,012ක මුදල් අවභාවිතය වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් අයිවන් ද සිල්වාට වරෙන්තු

  👤  2558 readers have read this article !
By mawbima 2017-10-18

අමිල අබේරත්න

පසුගිය රජය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කරනු ලැබූ 'ගිං - නිල්වලා ව්‍යාපෘතියක් සඳහා අත්තිකාරම් මුදල් වශයෙන් 5%ක මුදලක් චීන සමාගමකට ගෙවීමට පොරොන්දු වී එම මුදල 4.23%ලෙස ගෙවීමට අනුමැතිය ලබාදී ව්‍යාපෘතිය ආරම්භ නොකිරීමට සලස්වා රුපියල් මිලියන 4,012ක මුදලක් රජයට පාඩු සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් අයිවන් ද සිල්වා යන අයට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය පෙරේදා (16දා) වරෙන්තු නිකුත් කළාය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව කොටුව මහෙස්ත්‍රාත්වරිය හිටපු ලේකම්වරයාට වරෙන්තු නිකුත් කළ අතර සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් සහාය නොදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් වීම මඟහැර සිටීම මත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඔහුට එරෙහිව අධිකරණයෙන් වරෙන්තුවක් ඉල්ලා සිටියේය.

විමර්ශන ආරම්භ කර මසක කාලයක් ඇතුළත හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා විදේශගත වී ඇති බවද ඔහු මේ වන විට නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ ජීවත්වන බවට තොරතුරු අනාවරණය වී ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් අධිකරණයට දන්වා සිටි අතර ඔහු නවසීලන්තයේ සිට කිහිප වතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ආපසු ගොස් සිටින බවට තොරතුරු තහවුරු වී ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

සිද්ධියට අදාළව විමර්ශන සිදුකරන නිලධාරියා සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් එක් වතාවක් හිටපු ලේකම්වරයාව දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගත් බවද ඔහු එහිදී සිද්ධිය සම්බන්ධව කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වූ බවද මේ වන විට ඔහු දුරකතනය විසන්ධි කර ඇති බවද සිද්ධියේ විමර්ශන නිලධාරියා වන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක වජිර ලෙව්කේ මහතා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවැසුවේය.

ඔහුගේ අමාත්‍යාංශ පෞද්ගලික ලිපි ගොනුවෙන් ලබාගත් තොරතුරුවලට අනුව ඔහු ශ්‍රී ලංකාවේ පදිංචිව සිටි ස්ථානය සොයා ගැනීමට උත්සාහ දැරූ බවද එම ලිපිනයට අදාළව මෙරට එම ලිපිනයෙහි පදිංචිව ඇත්තේ ඔහුගේ සහෝදරයෙක් බවද එම නිලධාරියා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
විමර්ශන සම්බන්ධයෙන් ඉදිරිපත් වීම හිටපු ලේකම්වරයා හිතාමතාම මඟහැර ඇති බව තහවුරු වීම සලකා වරෙන්තු නිකුත් කරන බවද මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටි අතර ව්‍යාපෘතියට යන මුදල් ගෙවීමට අනුමැතිය දී තිබෙන්නේ හිටපු ලේකම්වරයා විසින් බවට කරුණු තහවුරු වන බවද කොටුව මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටිනු ලැබිණි.
නිකුත් කළ වරෙන්තුව හිටපු ලේකම්වරයා පදිංචිව සිටින නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පිහිටි ලිපිනයට සහ ඔහු මෙරට රැඳී සිටි ලිපිනයකට යොමු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.
ඔහුගේ ආදායම් බදු වාර්තා පරීක්ෂා කිරීමටද නියෝගයක් නිකුත් කරන ලෙසද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළ අතර පොලිස්පතිවරයා විසින් ආදායම් බදු කොමසාරිස්වරයා වෙත ඉල්ලීම ඉදිරිපත් කර ඊට පසු ඒ සඳහා අධිකරණ නියෝග ලබා ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය දැනුම් දෙනු ලැබුවාය.

ගිං - නිල්වලා යන ගංගාවන් එකට එකතු කර ජලය ප්‍රයෝජනයකින් තොරව ගලා යෑම හා අධික වර්ෂාපතනයේදී ගංගා පිටාර ගැලීම වැළැක්වීමට හා හම්බන්තොට ආදී ප්‍රදේශවලට ජලය ලබාදීම සඳහා එම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර ව්‍යාපෘතිය වෙනුවෙන් චයිනා සමාගමට දීමට පොරොන්දු වූ 5%ක මුදල ලබා නොදී 4.3%ක් වශයෙන් ලබාදීම මත චීන සමාගම විසින් ව්‍යාපෘති කටයුතු ආරම්භ නොකර සිට ඇති බවද ඔවුන් අධිකරණයට දන්වා සිටියේය.

චීනයේ සී.ඒ.එම්.සී. (ඛ්ඒර්ඛ්) නමැති ඉන්ජිනේරු සමාගමකට 4.23% අත්තිකාරම් මුදල් ලෙස රුපියල් මිලියන 4012 මුදලක් ගෙවා ඇති බවද එම ගනුදෙනුව හරහා තිරුකුමාර් නමැති මෙරට ව්‍යාපාරිකයකු සම්බන්ධ හොංකොං රටේ පිහිටි රෙඩ් රුක් නමැති සමාගමක් ව්‍යාපෘතිය සම්බන්ධ ගනුදෙනුවලට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

ව්‍යාපෘතියේ මුල් අදියරට අවුරුද්දක කාලයක් සඳහා ජාතික අය - වැයෙන් වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 40ක මුදලක් බවද ඒ සඳහා රුපියල් මිලියන 4,012ක මුදලක් සඳහා අනුමැතිය ලබා නොදී ඇති බවද ඊට විරුද්ධව යමින් හිටපු ලේකම්වරයා භාණ්ඩාගාරයෙන් වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන් කළ මුදලින් ව්‍යාපෘතියට අදාළව චීන සමාගමට මිලියන 4,012ක මුදලක් ගෙවීමට අනුමැතිය දී ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්