වේගයෙන් ආ වාහනයක් නවතන්න පාරට පැනපු රාලහාමි කැබ් රියකට බිලි

  👤  2606 readers have read this article !
By mawbima 2017-10-18

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

අම්බලන්තොට නගරයේ පාලම අසලදී රාජකාරියේ නියැළී සිටි පොලිස් සහායක නිලධාරියකු බන්ධනාගාර නිලධාරීන් ගමන් ගත් කැබ් රථයක ගැටීමෙන් පෙරේදා රාත්‍රි 10ට පමණ එම ස්ථානයේදීම මියගොස් තිබේ.

ඔහු වේගයෙන් පැමිණි වාහනයක් නතර කිරීම සඳහා මාර්ගයට පිවිසි අවස්ථාවේ මෙම කැබ් රථයේ ගැටී තිබේ.
අදාළ කැබ් රථය කොළඹ බන්ධනාගාර මූලස්ථානයට අයත් එකක් වන අතර රිය අනතුර සිදු වන අවස්ථාවේ එහි බන්ධනාගාර සහකාර අධිකාරිවරයකුද ගමන් ගෙන තිබේ.
කැබ් රථයේ වැදීමත් සමඟ කැබ් රථයට විරුද්ධ දිසාවෙන් පැමිණි කුඩා ලොරි රථයකද මෙම නිලධාරියා ගැටී ඇති අතර එම ලොරි රථය පලා ගොස් ඇත. පසුව එම කුඩා ලොරි රථය අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි රියැදුරු පොලිසියට භාර වී තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්තොට පොලිසියට අනුයුක්තව සේවය කළ අම්බලන්තොට වලේවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක් වූ මොහාන් රත්නායක නමැති සිවුදරු පියෙකි.

අනතුර සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානයට අයත් කැබ් රථයේ රියැදුරු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මියගිය නිලධාරියාගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා ඊයේ (17දා) අලුයම 02ට පමණ අම්බලන්තොට රෝහලේ සිට හම්බන්තොට රෝහලට රැගෙන යන ලදී.
රිය අනතුර සිදු කළ බන්ධනාගාර කැබ් රථයේ හා කුඩා ලොරි රථයේ රියැදුරු අම්බලන්තොට පොලිසිය විසින් අද හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්