ධුරවලින් ඉවත් කළ අයට හැදෙන්න ජනාධිපතිතුමා කල් දුන්නා ඇති

  👤  2601 readers have read this article !
By mawbima 2017-10-18

පක්ෂයේ වැඩකටයුතු නොකර වෙනත් පක්ෂවලට ආවඩන සංවිධායකවරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය ඉතාම කාලෝචිත වැදගත් තීරණයක් බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා පවසයි. ඔහු එසේ පැවැසුවේ ගාල්ලේ පෙරේදා (16දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

පක්ෂයක සංවිධායකවරයා කියන්නේ පක්ෂයේ පහළ ක්‍රියාකාරීන් හා ඉහළ නායකත්වය එක් කරන පාලමක්. ඉතින් මේ දම්වැලේ මේ ප්‍රධාන පුරුක් අක්‍රිය නම් පක්ෂයකට ඉස්සරහට යන්න බෑ. කොච්චර නම තියෙන දක්ෂ සංවිධායකවරයෙක් වුණත් ඔහු සේවය කරන්නේ වෙනත් පක්ෂයකට නම් අපේ පක්ෂයට ඔහුගෙන් වැඩක් නෑ. කඩුව රත්රන් කියලා ඇන ගත්තොත් මැරෙනවානේ. මගේ මතයේ හැටියට නම් ජනාධිපතිවරයා මොවුන්ට දීපු කාලය වැඩිත් එක්ක. නිවැරැදි වෙන්න, නිවැරැදි පාරට එන්න හැකිතාක් කල් දුන්නා. ඔවුන්ගේ දක්ෂකම් ගැන, පක්ෂයට කරපු කැපවීම් ගැන හිතා වෙන්න ඕන මේ තරම් කාලයක් දෙන්න ඇත්තේ. මොනවා වුණත් පහුවෙලා හරි මේ ගත්ත තීරණය ඉතාම කාලෝචිතයි.

මීට කලින් මේ තීරණය ගත්තා නම් හොඳයි කියලයි මගේ පෞද්ගලික හැඟීම. ඒ වගේම තවත් එවැනි වැඩ නොකරන, මේ පක්ෂයේ සිට වෙනත් පක්ෂවලට වැඩ කරන සංවිධායකයන් සිටී නම් වහාම ඉවත් කළ යුතුයි. එහෙම නැතිව ඊළඟ මැතිවරණයකට පක්ෂයක් ලෙස මුහුණ දෙන්න අපිට අපහසු වෙනවා. සමහර ශ්‍රී ලනිප සංවිධායකයන් ඉන්නවා වෙනත් පක්ෂවලට සම්මේලනයට ජනතාවට එන්න කියලා ලිපි යවනවා. යටින් දාන්නේ අහවල් ආසනයේ ශ්‍රී ලනිප සංවිධායක කියලා. ඉතින් එහෙම කරන කොට මේ ඉවසපු ඉවසීමත් ඇති. තනි පුද්ගල චරිත නෙවෙයි තියෙන්නේ. සියලු අය බැබළෙන්නේ පක්ෂය නිසා. ඒ නිසා පක්ෂය රැක ගැනීම සියලු දෙනා සිදුකළ යුතුයි.
පක්ෂය නැතිව බැබළිය හැකි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. එහෙම සුවිශේෂී චරිත නෑ කියලා මම කියන්නේ නෑ. නමුත් බොහෝ පිරිසක් වැජඹෙන්නේ පක්ෂය නිසා. ඒ නිසා පක්ෂයට වැඩ කරන්නේ නැත්නම්, පක්ෂය රකින්නේ නැත්නම් ඒ තැන්වලට වෙනත් අය පත් කළ යුතුයි. නැතිනම් පාක්ෂිකයා අතරමං වෙනවා. එම නිසා ජනාධිපතිවරයා සංවිධායකවරුන් ඉවත් කරන්න ගනිපු තීන්දුව කාලෝචිත හා වැදගත්ම තීන්දුවක්.

ඉමදුව - ටී. විතානවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්