මේ වාණිජ සමාජයේ හොඳ දරු පරපුරක් බිහිකිරීම විශාල ප්‍රශ්නයක්

  👤  2582 readers have read this article !
By mawbima 2017-10-18

දරුවන් විභාග සමත් වූ විට විශාල සතුටක් ලබන්නටත්, විභාග අසමත් වූ විට දරුවන් හට අශිෂ්ට ලෙස කරදර හිරිහැර කිරීමටත් රටේ බොහෝ මවුපියන් පෙලඹී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ජනාධිපති සිරිසේන මහතා මේ බව සඳහන් කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ 165 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට පෙරේදා (16දා) එක්වෙමිනි.
රාජකීය විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා විද්‍යාලයීය සිසු දරුවන් විසින් 'හද පැතුම් පිබිදූ - සෝ සුසුම් දුරලූ - හද පහන් දැල්වූ - ඔබයි ජනපතිඳු' යනුවෙන් ගීතයක් ගායනා කරමින් පිළිගනු ලැබුවේ මහත් හරසරින් යුතුවය.
ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වූ ජනාධිපතිවරයා විශිෂ්ටතා දැක්වූ සිසුන්ට ත්‍යාග සහ සම්මාන පිරිනැමීය.
එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

ඔබ අප කවුරුත් දන්නා පරිදි කොළඹ රාජකීය විද්‍යාලය සිය කීර්තිමත් ඉතිහාසයේ විශිෂ්ටයන් විවිධ ක්‍ෂේත්‍රවල රටට හා ලෝකයට බිහි කළ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් බව අවිවාදයෙන් පිළිගන්නවා. ඒ පිළිබඳව අප සතුටු වෙනවා.

විභාග සමත් වීමත් සමඟ ඔවුන් සතුටට පත්වෙනවා වගේම තවත් පැත්තකින් දරුවන්ට තිබෙන භීතිය, සන්ත්‍රාසය, කනගාටුව නොසන්සුන්භාවය ඉහළ ගොස් තිබෙන බව කවුරුත් දන්නවා. අධ්‍යාපන ඇමැතිතුමනි, දරුවන්ට අපි උගන්වනවා වගේම මවුපියන්ට වෙනම පාඩමක් කියා දෙන්නට වැඩපිළිවෙළක අවශ්‍යතාව මා දකිනවා. විභාග සඳහා දරුවන් සූදානම් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව මවුපියන් හැසිරිය යුතු ආකාරය පිළිබඳ මවුපියන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව මම දකිනවා.

රටේ ආර්ථිකය හරහා ඩැහැගන්නා තරගකාරී සමාජයට දරුවා සූදානම් කිරීමේ කාර්යය සැමටම අභියෝගයක්. එක් පැත්තකින් සමාජයට වේගයෙන් ගලා එන මත්ද්‍රව්‍ය, මත්පෙති, මත්කුඩු. ඒවායෙන් අද පාසල් දරුවා බේරා ගැනීමේ ප්‍රධාන වගකීම අප හට පැවැරී තිබෙනවා. කොළඹ නගරයේ පමණක් නොවේ නව තාක්ෂණය සමඟ දියුණුවූවා යැයි කියන ක්‍ෂේත්‍රවල දියුණුව ගැන කොතෙක් කතා කළත් ශිෂ්ටත්වයෙන් යුතු පරපුරක් බිහි කිරීමේ කාර්යය වාණිජ සමාජය තුළ විශාල අර්බුදයක් වී තිබෙනවා.
යහපත් මනසක්, සන්සුන් චරිතයක්, ආදර්ශවත් ජීවිතයක්, විනයගරුක මිනිසෙක් විදියට සමාජයට සිය වගකීම් සහ යුතුකම් ඉටු කිරීමේදී ඒ සඳහා තිබෙන අභියෝග අප පැහැදිලිව අවබෝධ කරගත යුතුයි.
දවසේ පැය 24දී දරුවාට වඩාත්ම ආරක්ෂිත ස්ථානය වන්නේ පාසල තුළ සිටින කාලයයි.
ඒ තත්ත්වය වෙනස් වීම් වාර්තා වන්නේ ඉතාමත් අඩු වශයෙන්. දරුවා සුරක්ෂිත කිරීමේ උතුම් කාර්යයේදී දරුවා පිළිබඳව බරපතළ ප්‍රශ්න මතුවන්නේ පාසලෙන් බැහැරව මවුපියන්ගේ සෙවණ යටතේ ඉන්න විටයි. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගත්විට අපේ සාමූහික වැඩපිළිවෙළක අවශ්‍යතාව දකිනවා.
ලෝකය කොතෙක් දියුණු වුවත් ඒ ලෝකයේ මිනිසාට පාලනය කළ නොහැකි බොහෝ දේ තවමත් තියෙනවා. මානව සමාජයේ පරිණාමය ගත් විට මිනිසා සෑම විටම සටන් කළේ සොබාදහමත් සමඟයි. මිනිසාගේ අවශ්‍යතාවන් ඉටු කර ගන්නට මුල සිටම සොබාදහම සමඟයි සටන් කළේ.

සමාජය තුළ ඇතිවන විවිධ විෂමතාවන්, දුරාචාරයන්, නීති විරෝධී දේවල් සියල්ලම සොබාදහමේ කොටස් විදියටයි හැඳින්විය යුත්තේ. මේ අභියෝග ජයගන්නට, රටක් විදියට ආදරණීය දරුවන් සමඟ රජයේ කාර්යය එක් පැත්තකින් කෙරෙද්දී මවුපියන්ගේ කාර්යය ඉතා වැදගත් වෙනවා. විදුහල්පතිතුමාත්, ආචාර්ය මණ්ඩලයත් සෑම විටම සිය වගකීම් නිසි ලෙස ඉටු කරන බව පෙනී යනවා. ඇතැම්විට සුළු වශයෙන් අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්. අති බහුතරයක් විශිෂ්ට ලෙස සිය වගකීම් නිසි ලෙස ඉටු කරනවා.
රාජකීය විද්‍යාලයේ 165 වැනි ත්‍යාග ප්‍රදානෝත්සවයේදී මේ තිබෙන සමාජ අභියෝග ජයගන්නට පාසලෙන් එළියට යන දරුවා යහපත් පුරවැසියෙක් ලෙස ගොඩනඟන්නට අපේ සියලු දැනුම, සම්පත් ඒ සියල්ල තුළ පුළුල් වගකීමක් ඉටු කිරීමේ කාර්යය නිසි ලෙස කළ යුතුයි.

වේදිකාව බැලූ විට අග්‍රාමාත්‍යතුමාගේ සිට මැති ඇමැතිවරුන් රාශියක් මේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් වීම මොනතරම් භාග්‍යයක්ද?. රට මෙන්ම ලොව ජයගත් විවිධ ක්‍ෂේත්‍රවල පරිණතයන්, විද්වතුන් සමාජයට දායාද කර ඇති රාජකීය විද්‍යාලයේ අනාගතය සියලු ආකාරයෙන් සාර්ථක වේවා කියා මා සුබ පතනවා.
රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා

අප විද්‍යාලයට ජනාධිපතිතුමාගේ පැමිණීම ගෞරවයක්. මිනිසුන්ගේ සිත්වල තිබෙන අනවශ්‍ය බෙදුම්වාදී හා දුෂ්ට අදහස් පරදවා සියලු ජාතීන් හා එක්ව ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ස්ථාපිත කරන්න අපගේ තරුණ පරපුර මෙහෙයවීම අපේ වගකීමක්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අපගේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ නියමුවකු ලෙස සැමට සාධාරණ වූ මානව හිමිකම් සුරකින පුද්ගලයෙක් වශයෙන් ජාත්‍යන්තර තලයේ හොඳ හිත දිනා ගැනීමට සමත්වීම අපට ආඩම්බරයක්.
පහන් විජේසේකර
ඡායා - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්