රටේ දැවැන්තම දේශපාලන සන්ධානය බිහි කිරීම පොදුජන පෙරමුණේ අපේක්ෂාවයි

  👤  2613 readers have read this article !
By mawbima 2017-10-18

ඉෂාරා සිල්වා

ඉදිරි මැතිවරණවලදී කඳුරට ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කිරීමට තීරණය කර තිබේ.
කඳුරට ජාතික පෙරමුණේ සභාපති වෛද්‍ය රිෂී සෙන්දිර් රාජ් මහතා ඇතුළු පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ (17දා) නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය දිනවීමේ හැකියාව කඳුරට ජාතික පෙරමුණට ඇති බව එහිදී පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් පවසා තිබේ.

එම පක්ෂයේ සභාපති වෛද්‍ය රිෂී සෙන්දිර් රාජ් මහතා එම සාකච්ඡාවේදී ස¼දහන් කර ඇත්තේ නුවරඑළියට අමතරව කෑගල්ල, බදුල්ල, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක සඳහාද අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට තම පක්ෂය සූදානම් බැවින් එම දිස්ත්‍රික්ක සියල්ල පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙයවීමේ ශක්තිය කඳුරට ජාතික පෙරමුණ සතු බවයි. මෙහිදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ, කඳුකර ජනතාව නියෝජනය කරන ප්‍රධානතම දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීම සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.

ආණ්ඩු විරෝධී බලවේග සියල්ල එකට ගොනුකර ගත් රටේ දැවැන්තම දේශපාලන සන්ධානය බිහි කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂාව බැවින් ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව රට වෙනුවෙන් අවංකව හඬ නඟන සියලු බලවේගයන්ගේ පොදු වේදිකාව ලෙස ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව දේශපාලන සන්ධානයට එක්වූ කඳුරට ජාතික පෙරමුණ සතුටින් පිළිගන්නා බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත.
කඳුරට ජාතික පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී වත්මන් රජයට සහාය පළ කළ අතර 2015 වසරේදී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් බිහිවූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ ප්‍රධානතම පාර්ශ්වකරුවෙකි.

එසේම ශ්‍රී ලංකා තව්හිත් ජමාත් සංවිධානය, ලිබරල් පක්ෂය, දෙමළ එක්සත් නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ, ජනතා සේවක පක්ෂය, සාධාරණ සමාජයක් සඳහා වූ පුරවැසි පක්ෂය, කඳුරට මුස්ලිම් සහ ශ්‍රී ලංකා මුස්ලිම් උලමා පක්ෂය අද (18දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට නියමිත බව පැවැසේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්