දේශප්‍රේමීන්ට අද ඇත්තේ එක සටනයි

  👤  2761 readers have read this article !
By mawbima 2017-10-18

එදා ක්‍රි.පූ. 1 _ 2 සියවස්වල එළාර මේ රට පාලනය කරන කොට දුටුගැමුණු කුමාරයාට ඉඩ තිබුණා එළාරට එහෙම කර ගෙන යන්න දීලා දකුණට සීමා වෙලා තමන්ගෙ පාලනයක් රැගෙන යන්න. නමුත් දුටුගැමුණු කුමාරයා සටන් කළා. ඒ සටන් කළේ නූතන පරම්පරාවට රටක් උරුම කරලා දෙන්න. මේ රට ආරක්ෂා කරපු සභ්‍යත්වය රකින්න.

ඇතැම් පාලකයන් පරදේශක්කාරයන් සමඟ ගිවිසුම් ගහලා පාවාදීම් සිදු කර තිබුණත් අපේ ඉතිහාසයේ විශාල පදාසයක් පිරී තිබෙන්නේ ලක්මාතාව ආරක්ෂා කළ නරපතීන්ගෙන්.
ඉන්දියාව අපේ ගුවන් සීමාව ආක්‍රමණය කරලා හිටපු පාලකයාව යටත් කරලා ඉන්දු _ ලංකා ගිවිසුම අස්සන් කළා. ඒ ගිවිසුම අනුව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වැනි සංශෝධනය රැගෙන ආවා. ඒ යටතේ පළාත් සභා ක්‍රමය හැදුවා. මේ සියල්ල කළේ ශ්‍රී ලංකාවේ වුවමනාවට නොවෙයි ඉන්දියාවේ වුවමනාවට. ඉන්දියාවේ වුවමනාවට පමණක් නොවෙයි ඔවුන්ගේ දැඩි බලපෑමට. ඒක අපි දැක්කා අපේ ජීවිත කාලය තුළ. මැතිවරණ සිතියම හකුළමින් ප්‍රජාතන්ත්‍රවාදය වළ දමා, දේශපාලන පක්ෂ තහනම් කරමින් මේ රටේ මහා ලේවැකි ධවල භීෂණයක් නිර්මාණය කරමින් යන අතරේ තමයි ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව ඉන්දියාවේ බලපෑමට මේ මහා අපරාධය සිදු කළේ.

ඒ වගේම අපේ ජීවිත කාලය තුළ සිංහ කොඩියෙන් වහපු, දේහය වෙනුවට කෙසෙල් කොටයක් දමාපු, තමන්ගේ පුතාගේ මිනී පෙට්ටිය බදා ගෙන දුක් වන අම්මාවරුන්ගේ කඳුළු අපි දැක්කා. ඒ විතරක් නොවෙයි, අපි අපේ ජීවිත කාලය තුළ ඒ විදිහට මිනී පෙට්ටි එවාපු බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජය ගත්තු හැටිත් දැක්කා. මේ රටේ රණවිරුවෝ මේ රටේ ඒකීයභාවයට ලේවලින් පණ පොවපු හැටි අපි අපේ ඇස්වලින් දැක්කා. 2009 මැයි 19 වැනිදා මේ රටේ අම්මලා, තාත්තලා, දූ දරුවෝ සිංහ කොඩිය අතට අරගෙන, ශ්‍රී ලංකා, යූඑන්පී, ජවිපෙ පක්ෂ භේදවලින් තොරව, තමන් ලංකා මාතාවගේ සුජාත දරුවන් ලෙස හිතලා කැවුම්, කිරිබත් කාලා සතුටු වන ජවනිකා අපි අපේ ඇස්වලින් දුටුවා.
අපි හිතුවේ ඒ ජවනිකා දකින්න අපි වාසනාවන්ත වුණා කියලයි. නමුත් ඒ යුදමය වශයෙන් පරදවපු සතුරා දැන් දේශපාලනමය වශයෙන් ප්‍රහාරාත්මක පියවරකට අවතීරණය වෙලා තිබෙනවා. යුද්ධ කරලා බෙදන්න බැරි වුණ අපේ මේ මවු පොළොව ව්‍යවස්ථාවකින්, නීති කෙටුම්පත්වලින් බෙදන ඉරණමට අරන් යන්න පටන් ගෙන තිබෙනවා. දෙමළ බෙදුම්වාදයේ මාර්ග සිතියම හරියට කියවලා බැලුවොත් මොනවද පෙනෙන්නේ? ඔවුන් ටිකෙන් ටික තමන්ගේ ඉලක්කයට ගමන් කරමින් සිටින බවයි.

ජේ. ආර්. ජයවර්ධන පාලනය සමයේ හිටියා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් ආපු මන්ත්‍රිවරයෙක් දේවනායගම් කියලා. ඔහු ස්වදේශ කටයුතු ඇමැතිවරයා හැටියට පත් කළා. ඔහු සිය ඇමැති බලතල යටතේ පළාත් සිතියම් නිර්මාණය කරන විට නැඟෙනහිර පළාත් සිතියම තම බෙදුම්වාදී වුවමනාව අනුව වෙනස් කළා. එහිදී තමයි එතෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් වෙලා තිබුණු පුල්මුඩේ ප්‍රදේශය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අෑඳුවේ. ඒ විදියට දෙමළ ඊළාම් සිතියමට වුවමනා විදියට නැඟෙනහිර පළාත් මායිම් නිර්මාණය සිදු කොට ගැසට් නිවේදනයක් මඟින් එය නීතිගත කරන්න දේවනායගම් ඇමැතිවරයා එදා කටයුතු කළා. එදා කාටවත් නොතේරුණත් ජේ. ආර්. ගේ ආණ්ඩුව ඇතුළේ දේවනායගම් ඉටු කළේ දෙමළ බෙදුම්වාදී ගමනේ මූලෝපායික අවශ්‍යතාවක්. ලොව අනගිතම ඛනිජ වැලි තිබෙන පුල්මුඩේ උතුරු නැඟෙනහිරට අයත් කර ගැනීම, ලංකාව වටා මුහුදෙන් 1/3ක් උතුරු - නැඟෙනහිර පළාත්වලට අයත් කර ගැනීම, ඉතාමත් සූක්ෂ්ම ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය ලබා ගත්තු දේවනායගම් සිදුකර දුන්නා. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි, දෙමළ, ජාතිවාදී බෙදුම්වාදය පියවරෙන් පියවරයි ඉදිරියට අඩිය තැබුවේ කියා. ගෙඩිය පිටින් කිසිවක් ගත්තේ නැහැ. ප්‍රභාකරන් නම් ආවා ගෙඩිය පිටින් ගන්න. එහෙම ආවොත් නම් බේරා ගන්න ලේසියි. ඒක තමයි 2009 මැයි 19 වැනිදා අපේ රටේ සූජාත දූ පුතුන් ඔප්පු කරලා පෙන්වූයේ.

'13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් පළාත් සභා ක්‍රමයත් මේ රාජ්‍යයේ ඒකීයභාවය අහිමි කළා' කියන පදනමේ සිට රහසිගත දේශපාලන ව්‍යාපාරයක් ලෙස සිටියදී වුව ජනතා විමුක්ති පෙරමුණ එදා ඊට එරෙහි දේශප්‍රේමී අරගලයක් ඇරැඹුවා.

ඒ අරගලය තුළ 'දේශද්‍රෝහීන්ට දඬුවම මරණය' කියා කිව්වා. එදා පළාත් සභා මැතිවරණයට තරග කළ එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් වාමාංශික පෙරමුණේ නියෝජිතයන් දේශද්‍රෝහීන් ලෙස සලකා මරා දැමුණා. එදා ඒ මරා දැමීම සාධාරණීකරණය කළේ 'නුඹලා ඉන්නේ බෙදුම්වාදය පැත්තේ, අපි ඉන්නේ රාජ්‍යයේ ඒකීයභාවය සුරැකිය යුතුයි කියන පැත්තේ. ඒ නිසා නුඹලා දේශද්‍රෝහීන්. අපි දේශප්‍රේමීන්' කියලයි. එදා මිනීමරු යූ.එන්.පී. ආණ්ඩු ඒ අරගලයට පණ පෙවූ දේශප්‍රේමීන් ඇතුළු මේ රටේ දූ පුතුන් 60,000ක් අමු අමුවේ මරා දැම්මා. ඒ මිනීමරු ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමැතිවරයෙක් අද මේ රටේ අගමැති. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් බලය, පොලිස් බලය පළාත් සභාවලට දුන්නා. ප්‍රඥප්ති හැදීමේ බලයත් දුන්නා. සමගාමී ලැයිස්තුවක් කියා එකක් හඳුන්වා දුන්නා. එහි තිබුණේ අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි මධ්‍යම ආණ්ඩුවට සහ පළාත් සභාව යන දෙකටම නීති හැදිය හැකි විෂයයන්. එදා වර්ධරාජා පෙරුමාල් උතුරු - නැඟෙනහිර පළාත තුළ වෙනම රාජ්‍යයක් ප්‍රකාශ පත් කළ වහාම තමන් සතු විධායක බලතල පාවිච්චි කරලා එම පළාත් සභාව විසුරුවලා ආණ්ඩුකාරවරයකු යටතට එහි පාලනය පැවරීමට එවකට ජනාධිපතිවරයාට හැකි වුණා. ඒ නිසා ජේ. ආර්. ජයවර්ධන ඉන්දියාවේ වුවමනාවට ගෙනාපු 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළේ මධ්‍යම ආණ්ඩුවේ බලය ආරක්ෂා වෙන්න අටවපු 'සක්ක ගල්' ටිකක් තිබෙනවා. පරිධියේ පාලනය, පළාත් ආණ්ඩුව, ප්‍රාන්ත ආණ්ඩුව ගැලවිලා යන එක වළක්වගන්න ගහපු 'සක්ක ගල්' ටිකක් තිබෙනවා. මාමා සක්ක ගල් ටිකක් ගැහුවා. බෑනා බලනවා කොහොම හරි ඒ සක්ක ගල් ටික ගලවන්න.

අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවීමට ගියා. අපි ගියේ එක කාරණයක් නිසා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පතට සංශෝධන යෝජනා දීලා තිබෙනවා ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලනිපය, ජවිපෙ යන සියල්ල විසින්. දීලා නැත්තේ කවුද? එක්සත් ජාතික පක්ෂයි, මුස්ලිම් කොංග්‍රසයයි. ඒ අනුව අපට පෙනෙනවා මුස්ලිම් කොංග්‍රසයට කෙසේ වුවත් එජාපයට ඒ කෙටුම්පත ගැන අවුලක් නැහැ කියලා. අවුලක් නැති නිසයි සංශෝධන දීලා නැත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සංශෝධන ඉදිරිපත් කරලා. මේ කෙටුම්පත ගෙඩිය පිටින් පිළිගන්නේ නැති නිසයි අපි මේකෙ අනතුර ජනාධිපතිතුමන්ට කියලා දෙන්න ගියේ. මහජන ආරක්ෂක ආඥා පනතේ ඇතැම් වගන්ති අනුව හදිසි අවස්ථාවකදී ජනාධිපතිවරයාට පළාත් සභාවක් විසුරුවා හැරීමට පුළුවන්. ආණ්ඩුකාරවරයා යටතට පත් කිරීමට පුළුවන්. වර්ධරාජා පෙරුමාල් ඊළාම් කොඩිය ඔසවන විට එදා ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා කළේ ඒක.

නමුත් මේ අතුරු වාර්තා කෙටුම්පතේ තිබෙනවා 'එසේ පළාත් සභාවක් විසුරුවා හරින විට ජනාධිපතිවරයා එයට හේතු දැක්විය යුතුයි. පළාත් සභාවට එම අවස්ථාවේදී අලුතින් පිහිටුවනු ලබන ව්‍යවස්ථා අධිකරණයේ පිහිට පැතීමට පුළුවන්' කියලා. ඒ අධිකරණයෙන් කිව්වොත් 'ජනාධිපතිවරයාගේ විසුරුවා හැරීම බල රහිතයි' කියලා ජනාධිපතිවරයාගේ පළාත් සභාව විසුරුවා හැරීම වලංගු නැහැ.

ජේ. ආර්. ජයවර්ධන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකීයභාවය රැක ගන්න අටවපු එක සක්ක ගලක් තමයි සමගාමී ලැයිස්තුව ඇතුළත් කිරීම. ඊළඟට ගහපු සක්ක ගල තමයි ආණ්ඩුකාර බලය. දැන් ආණ්ඩුකාර බලයත් නැති කරනවා. හදිසි අවස්ථාවකදී පළාත් සභාවක් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලයත් බෙලහීන කරලා ශ්‍රී ලංකා රාජ්‍යයේ මුදුන දුර්වල කරනවා. සමගාමී ලැයිස්තුව ඉවත් කළාම ගෙඩිය පිටින් පළාත් සභාවට බලය යනවා. දැන් පළාත් සභාවක් රටට හානිකර යම් ප්‍රඥප්තියක් සම්මත කළොත් ආණ්ඩුකරවරයාට පුළුවන් එයට අස්සන් නොකර ඉන්න.
දැන් සමහරු කියනවා, 'ජනමත විචාරණයක් එනවානෙ. අපි එතැන දී මේ ව්‍යවස්ථා කෙටුම්පත පරදවමු' කියලා. කොහොමද කියන්නේ ජනමත විචාරණයක් එයි කියලා? ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වැනි වගන්තිය වෙනස් කිරීම ස¼දහා ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. ඒක වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයක් ප්‍රමාණවත් නිසා අපට මෙහිදී කියන්න බැහැ අනිවාර්යයෙන් ජනමත විචාරණයක් ඒවි කියලා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ජනමත විචාරණයකට යෑමට අවශ්‍ය නොවන විදියට පොඩි වචන වෙට්ටුවක් දාලා ඒක පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කර ගැනීමට මුල් වුණේ එවකට නීතිපති ශිවා පසුපති. පසුව ඒ කළ සේවය අගයලා ප්‍රභාකරන් එයා ඊනියා දෙමළ ඊළාම් සිහින රාජ්‍යයේ නීතිපති බවටත් පත්කළා.

අපි සටන් කරන්න සූදානම් නම් මුලදී මුණගැසෙන සටනට මුහුණ දිය යුතුයි. ඒ සටන සතුරා ජයගතහොත් පමණයි සටනේ දෙවැනි අදියර පටන් ගන්නේ. අපි ඉදිරියේ තිබෙන්නේ සටනේ පළමු අදියරයි. ඒ සටන තමයි මේ අතුරු වාර්තාවට අනුව හැදෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ 2/3ක් ලැබීම නතර කිරීමේ සටන. ජනමත විචාරණයකින් නොවෙයි අපි මේ නව ව්‍යවස්ථා කෙටුම්පත පැරදවිය යුත්තේ, එය පාර්ලිමේන්තුවට එන එක වැළැක්වීමෙනුයි. මේක තමයි අද තිබෙන කේන්ද්‍රීය සටන, මූලික සටන. මේ සටන තිබියදී වෙන වෙන සටන් කර තබා ගෙන නටලා වැටක් නැහැ.

ඉකුත් 14දා කොළඹ පැවැති ජානිපෙ ජාතික සමුළුවේදී නායක විමල් වීරවංශ කළ දේශනය ඇසුරෙනි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්