අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව අඟුණුකොළපැලැස්සේ බන්ධනාගාර සංකීර්ණයක්

  👤  2587 readers have read this article !
By mawbima 2017-10-18

තංගල්ල - සහම්පති මානගේ, හම්බන්තෙට - රාහුල සමන්ත හෙට්ටිආරච්චි, ලක්ෂ්මි ජයකොඩි

අඟුණුකොළපැලැස්ස නවීන බන්ධනාගාරය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් හෝ නිවැරැදි කිරීමේ මධ්‍යස්ථානයක් විය යුතුයි. මෙය බන්ධනාගාරයක් ලෙස ඇමතීම නොකළ යුතුයි. එම අරමුණු සඳහා පමණක් අති විශාල ආකර්ෂණීය භූමියක් නිර්මාණය කරලා තිබෙනවා. මෙය නිර්මාණය කිරීමට දායක වූ ගෘහ නිර්මාණ ශිල්පීන් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ.
අන්තර්ජාතික ප්‍රමිතීන්වලට අනුකූලව ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම බන්ධනාගාර සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ නව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මෙසේ පැවැසීය.

මේ බන්ධනාගාරයේ රැඳවූවන් 1500ක් රඳවා තබා ගැනීමේ පහසුකම්, බන්ධනාගාර රෝහල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, කර්මාන්ත අංශය, බන්ධනාගාර නිලධාරීන්ගේ නේවාසිකාගාර, පිහිනුම් තටාක, ක්‍රීඩාංගණයක්, ගෘහස්ථ ක්‍රීඩාංගණයක්, අවන්හල්, භෝජනාගාරය, අමුත්තන්ගේ කාමර, දේශන ශාලා ආදියෙන් සමන්විතය. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන හාරදහස් නවසිය අනූ හයකි (4996).

මේ බන්ධනාගාරය විවෘත කිරීමෙන් අනතුරුව තංගල්ල බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කිරීමට නියමිත අතර වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබන සිරකරුවන් පිරිසක්ද මේ බන්ධනාගාරය වෙත ගෙන ඒමට සැලසුම් කර ඇත.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

අපට තියෙනවා පිහිනුම් තටාකයක්, ව්‍යායාම් මධ්‍යස්ථානයක් හා රැඳවූවන් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය සියලු පහසුකම්. අපි බන්ධනාගාර ඉතිහාසය පිළිබඳ බැලුවොත් අවුරුදු පහකට පෙර ලංකාවේ බන්ධනාගාරගත රැඳවූවන් තිස්දහසක් පමණ ඉඳලා තියෙනවා. දැන් එය විසිදහසක් පමණයි වෙන්නේ. දසදහසක පමණ ප්‍රමාණයක් අඩුවෙලා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන්ට මම ස්තුතිවන්ත විය යුතුයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්