නොදන්න පව්කාරයාට වඩා දන්න යකා හොඳයි

  👤  2678 readers have read this article !
By mawbima 2017-10-18

තංගල්ල - සහම්පති මානගේ

"රාක්ෂයා නැඟිටින්න කලින් එන්න කියනවා. සාමාන්‍යයෙන් අපේ ගම්වල කියමනක් තියෙනවා නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි කියලා.ඒ නිසා ඒ අයට කියන්න තියෙන්නෙත් නොදන්න පව්කාරයාට වඩා දන්න යකා හොඳයි. අඩුගාණේ දන්න යකා යුද්ධය ඉවර කරලා රට හැදුවා. පාරවල් ටික හැදුවා. රස්සා ටික දුන්නා. නොදන්නා පව්කාරයා තාම පච කෙළ කෙළ ඉන්නවා."
නමක් සඳහන් නොකරමින් ඉහත ප්‍රකාශය කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාය.
ඔහු මේ ප්‍රකාශය කළේ පෙරේදා අධිකරණයෙන් ඇප ලබා තංගල්ල බන්ධනාගාරයට ගොස් හම්බන්තොට සිද්ධියට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින පිරිසේ සුවදුක් බැලීමට ගොස් ආපසු පැමිණි අවස්ථාවේ මාධ්‍යට කරුණු දක්වමිනි.

"අපේ සටන අපි අතහරින්නේ නැහැ. මේ අයට ඇප ලැබෙනකල් හා මේ අය නි‍ෙදාස් කොට නිදහස් කරන කල් මේ අයට අවශ්‍ය සියලුම සහය අපි ලබාදෙනවා. මේ ජාතික සම්පත් විකුණන සටන අපි මේ ආණ්ඩුව පෙරළලා මේ ජාතික සම්පත් විකුණන එක නවත්වනකල් මේ සටන අපි අරගෙන යනවා" යිද ඔහු කීවේය.
"අපේ අනිත් අය නම් තාම ඇතුළේ. ඒ නිසා අපි සටන අතහැරලා නැහැ. සුවිශේෂී කාරණාවන්වලට අපි කිහිපදෙනකුට ඇප හම්බ වුණා. හැබැයි අපේ තිස්දෙකක් ඇතුළේ ඉන්නවා. මේ තිස් දෙකත් අපි ඇතුළේ දාන්න දඟලපු අයට ඡන්දේ දීපු අයම තමයි. ඒ පක්ෂයට ඡන්දෙ දීපු අයම තමයි.

ඒ වගේම මෙතැන මුස්ලිම් සහෝදරයන් හත්දෙනෙක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයට වැඩ කරපු දෙන්නෙකුත් ඇතුළේ ඉන්නවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජාතික සම්පත් විකුණනවට විරුද්ධව තමයි මේ අය පාරට බැස්සේ. එක්සත් ජාතික පක්ෂය වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්න පුළුවන්, ජනතා විමුක්ති පෙරමුණේ වෙන්න පුළුවන්, මේ සියලු දෙනාම මේ රටේ සම්පත් විකුණනවට එරෙහිව තමයි අපි එළියට ආවේ."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්