ශ්‍රී ලංකා-පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද තරගය ජයගෙන ඉදිරියට යෑමට ශ්‍රී ලංකාවෙන් සැලසුම් කිහිපයක්

  👤  3573 readers have read this article !
By mawbima 2017-10-13

තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා-පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (13දා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන්නේ දෙරට අතර මෙම ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන 5 වැනි එක්දින තරගය ලෙසිනි.
ඒ අනුව මෙම ක්‍රීඩා පිටියේදී පැවැති තරග හතරේදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය දෙක බැගින් සම ජයග්‍රහණ ලබා ඇති අතර, අවසන් වරට එනම් 2013 වසරේදී පැවැති තරගය ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

මේ වනවිට ශ්‍රී ලංකාව හා පාකිස්තානය අවස්ථා 148කදී හමු වී ඇති නමුත් වැඩි ජයග්‍රහණ ලබා ඇත්තේ පාකිස්තානයයි. පාකිස්තානය අවස්ථා 85කදී ජයගෙන ඇති අතර, ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකිව ඇත්තේ අවස්ථා 58කදී පමණි.

කෙසේ වෙතත් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගෙන ඇති ශ්‍රී ලංකාවේ මානසිකත්වය ඉතාමත් යහපත් වී ඇති හෙයින් අදින් ඇරැඹෙන එක්දින තරගාවලියට සුබවාදී ලෙස පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිය. එහෙත් ටෙස්ට් තරගාවලියට එක් නොවූ ක්‍රීඩකයන් කිහිප දෙනකු පාකිස්තාන එක්දින තරගාවලියට එක්ව ඇති බැවින් තරගාවලිය සැහැල්ලුවට ගණන් ගැනීමට ශ්‍රී ලංකාවට නොපුළුවන.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙස බැලුවොත් ටෙස්ට් තරගාවලියට එක් නොවූ උපුල් තරංග අද පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා නායකත්වය දරන අතර, ටෙස්ට් කණ්ඩායමට එක් නොවූ කිහිපදෙනකු අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වනු ඇත.

ඒ අනුව උපුල් තරංගට අමතරව අකිල ධනංජය, චාමර කපුගෙදර, විශ්ව ප්‍රනාන්දු, තිසර පෙරේරා, මිලින්ද සිරිවර්ධන, ළහිරු තිරිමාන්න අද ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට ඉඩ ඇති අතර, වේගපන්දු යවන්නන් දෙදෙනකු පමණක් අද තරගයට යෙදවීමට ඉඩ ඇති බැවින් නුවන් ප්‍රදීප්ට හෝ සුරංග ලක්මාල්ට කණ්ඩායමේ ස්ථානයක් ලැබීම සැක සහිතය.
මෙම ක්‍රීඩාංගණයේදී කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ශතකයක් රැස්කර නොමැති අතර, වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස ලකුණු 77ක් ලබා ඇත්තේ උපුල් තරංග විසිනි. තවද මෙම ක්‍රීඩාපිටියේදී 2013 දෙසැම්බර් මාසයේදී කඩුලු 4කට ලබාගත් ලකුණු 284 ශ්‍රී ලංකා කණ්ඩායමක් ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස පත්ව ඇති අතර, පාකිස්තානය 2015 වසරේදී කඩුලු 5කට ලැබූ ලකුණු 355 ඔවුන්ගේ ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්ව තිබේ.

දිවා-රාත්‍රි තරගයක් ලෙස අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම _ උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, චාමර කපුගෙදර, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, මිලින්ද සිරිවර්ධන, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, සීක්කුගේ ප්‍රසන්න, ළහිරු තිරිමාන්න, ජෙෆ්රි වැන්ඩර්සේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon