දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක ජනපතිට හා අගමැතිට ලියයි

  👤  3524 readers have read this article !
By mawbima 2017-10-13

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ, ලක්ෂ්මී ජයකොඩි

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂනායක ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා ඊයේ (12දා) ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවා තිබේ.

එම ලිපියේ සඳහන් කොට ඇත්තේ ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ආරක්ෂක අංශ වධ බන්ධනයට ලක්කොට ලබාගත් පාපෝච්චාරණයන් ඔස්සේ චෝදනා ඉදිරිපත් කිරීම අසාධාරණ ක්‍රියාවක් බවයි.
දේශීය හා ජාත්‍යන්තර නීති රෙගුලාසිවලට අනුවද ජගත් මානව හිමිකම් මණ්ඩලයේ නිර්දේශයන්ට අනුවද ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට බැඳී සිටින අතර එවැනි පසුබිමක් මත දැනට වසර ගණනාවක්ම අත්අඩංගුවේ තබාගෙන සිටින පිරිසට එරෙහිව නීති මඟින් කටයුතු කොට ඔවුන් නිදහස් කිරීමට පියවර ගත යුතුව ඇතැයිද එම ලිපියේ සඳහන් කොට තිබේ.

රජය මඟින් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කොට එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 12,000ක් පමණ නිදහස් කළ අවස්ථාවේදී ඉතාම දරුණු අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ඒ අතර සිටි නමුත් දැනට අත්අඩංගුවේ සිටින පිරිස් අතර සිටින්නේ සැකකරුවන් පමණක් බවද ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා සඳහන් කොට තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් වෙත පොදු සමාවක් ලබාදුන් ආකාරයට මේ පිරිසටද පොදු සමාවක් ලබාදිය හැකි බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි. වවුනියාව මහාධිකරණයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් තුන්දෙනකුට එරෙහිව ඇති නඩු විභාගවල සාක්කිකරුවන්ට ආරක්ෂාවක් නොමැති බව කියමින් අනුරාධපුර මහාධිකරණය වෙත මාරු කිරීම යුක්ති සහගත නොවන බවද පෙන්වා දී තිබේ.

මෙම දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය නිසා උතුරු ප්‍රදේශය තුළ හර්තාල් හා විරෝධතා දිගින් දිගටම ඇතිවන තත්ත්වයක් පෙනෙන්නට ඇති හෙයින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම රටේ අවශ්‍යතාවක් ලෙස සලකා ඊට යම් පියවරක් අනුගමනය කරන ලෙස ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා සිය ලිපිය මඟින් වැඩිදුරටත් ඉල්ලීමක් කොට තිබේ.

මන්ත්‍රිවරයා එම ලිපියේ පිටපතක් අධිකරණ අමාත්‍යවරිය වෙතද යොමුකොට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්