පොල් මිල ඉහළ ගියේ මෛත්‍රි - රනිල්ගේ වරදින් නොවෙයි

  👤  3593 readers have read this article !
By mawbima 2017-10-13

පොල් බෑය රු. 50කට ගන්න අවශ්‍ය නැහැ. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අලෙවිසල් මඟින් දැන් පොල් ගෙඩියම රු. 50කට ගත හැකි බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් හාරගම ගොවිපොළ පරිශ්‍රය තුළ ඉදිකළ සහන අලෙවිසල විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මිලියන 03ක් වැය කරමින් ඉදිකළ මෙම අලෙවිහල මඟින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිෂ්පාදනය කරනු ලබන එළකිරි, යෝගට්, මීකිරි ඇතුළු අනෙකුත් නිෂ්පාදන සහන මිලට මෙන්ම වර්තමානයේ ජනතාවගේ කතාබහට ලක්වන පොල්ද රු. 50 සිට පාරිභෝගික ජනතාවට මිලදී ගත හැකිය.
අමාත්‍යවරයා තවදුරටත් පැවැසූයේ

මේ දවස්වල පොල් මිල ඉහළ ගියේ අතිගරු ජනාධිපතිතුමාගේවත්, ගරු අගමැතිතුමාගේවත් වරදකින් නොවෙයි. පසුගිය වසර තුනක පමණ කාලයේ පොල් ත්‍රිකෝණය පිහිටි ප්‍රදේශවල තද නියඟයක් ඇති වුණා. ඒ හේතුවෙන් පොල් ගස් ලක්‍ෂ ගාණක් විනාශ වුණා.

නව ව්‍යවස්ථාව පිළිබඳ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් අමාත්‍යවරයා මෙසේ පැවැසීය.
නව ව්‍යවස්ථාවේ කෙටුම්පතක් පමණයි තවම ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක අවසන් කෙටුම්පත කියලා ඒකාබද්ධයේ කට්ටිය මේ දවස්වල ජනතාව නොමඟ යවන ප්‍රකාශ නිකුත් කරනවා. ඒක විහිළුවක්. දැනටම අපි මෙම කෙටුම්පත තෛ්‍රනිකායික මහා සංඝරත්නයට වගේම අනෙකුත් ආගමික ප්‍රසාදීන් වහන්සේලාට පිළිගන්වා තියෙනවා, මෙය හැදෑරීම සඳහා. ඒ වගේම විද්වත් වෘත්තිකයන්ට මෙන්ම රටේ සාමාන්‍ය ජනතාවට මේ ගැන අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් අප ලබාදීලා තියෙනවා.

මේ ව්‍යවස්ථාව මඟින් බුදු දහමට අගතියක් වෙනවා කියලා මුසාවාද පවසන අයට ඕනේ ආගමික ගැටලුවක් නිර්මාණය කර දේශපාලන වාසි ලබා ගන්නයි.
අධිකරණ තීන්දුව ඒ නොතකා උද්ඝෝෂණ පැවැත්වීම වැරැදියි. පළමුව අධිකරණයට ගරු කරන්න ඕනේ. අනෙක් එක ඒ කාලයේ කරපු දේවල් එයාලට දැන් අමතකයි. හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති පිස්තෝල අරගෙන ඇවිල්ලා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ටික මත්තල ගුවන්තොටුපොළ බලන්න යනකොට අපිට කරපු මැර තර්ජන හා ජීවිත තර්ජන ගැන පැමිණිලි භාරගන්නවත් පොලිසිය ඉඩ දුන්නේ නැති තත්ත්වයක් තමයි ඒ කාලේ තිබුණේ.

දැන් තොත්ත බබාලා වගේ එයාලා අහනවා මේකද යහපාලනය කියලා? අද මාධ්‍යවේදීන්ට කිසි බයක් සැකක් නැතිව ඒවා වාර්තා කරන්නත්, පළ කරන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි පසුගිය කාලයේ රාජපක්‍ෂලාට විරුද්ධව ලියන්න, පළකරන්න හැකියාවක් තිබුණාද?

නාමල් රාජපක්‍ෂලා අවුරුදු 20කින් පමණ කඳුළු ගෑස් කාලා තිබුණේ නැහැ. උද්ඝෝෂණවලට ගිහින් තිබුණේ නැහැ. ඒ නිසා ඒවා එයාලට පුරුදු නැහැ. අව්වේ ඉඳලා පුරුදු නැහැ.
නාමල්ට කඳුළු ගෑස් දෙක වදින කොට තමයි තේරෙන්නේ අපි මොනවද පසුගිය කාලේ විපක්‍ෂයේ හිටි අයට කළේ කියලා මතක් වෙනවා ඇති. ඒ නිසා රාජපක්‍ෂලාට පරණ දේවල් මතක් කරගන්න මේක හොඳ අවස්ථාවක් කියලා මම කියනවා.

ඒ කාලේ රටේ සිදුවූ අපරාධ යටපත් කරන්න තමයි එයාලා උත්සාහ කරන්නේ. පසුගිය කාලයේ ධීවර උද්ඝෝෂණ කරන කොට ඒ අයට වෙඩි තිබ්බා. රතුපස්වල ජනතාව ජලය ඉල්ලා උද්ඝෝෂණය කරන කොට එයාලට වෙඩි තිබ්බා. හැබැයි අද එහෙම වෙන්න නැහැ. බය නැතිව ඕන කෙනකුට පාරේ උද්ඝෝෂණ කරන්න පුළුවන්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon