දුම්රිය අද දුවන්නේ තුට්ටු දෙකට

  👤  3523 readers have read this article !
By mawbima 2017-10-13

අද අපේ දුම්රිය සේවාව දුවන්නේ තුට්ටු දෙකට. වසරකට දුම්රිය සේවයේ වියදම ලෙස රුපියල් බිලියන 30ක් මහා භාණ්ඩාගාරය මඟින් වාර්ෂිකව ලබා දෙනවා. ඒත් අපි ලබන ආදායම රුපියල් බිලියන 6යි. දුම්රිය සේවය මොන තරම් පාඩුවකට දුවන්නේද කියා අපි වටහා ගෙන දුම්රිය සේවයේ සිදුවන නාස්තිය, දූෂණය හා අක්‍රමිකතා මඟහරවා ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සේවයක් සැලැසීමට අප සියලු දෙනා අත්වැල් බැඳගත යුතුයැයි. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුවට ආධුනික එන්ජින් රියැදුරන් 24ක් සහ අධීක්ෂණ නිලධාරීන් (කාර්මික) 24ක් බඳවා ගෙන ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නිමිත්තෙන් මරදාන දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

මේ වන විට වසර 8කින් පමණ දුම්රිය ගාස්තුවල වැඩිවීමක් සිදු කර නැහැ. මෙරට ලාභදායි ප්‍රවාහන මාධ්‍යය ලෙස ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගැනීමට දුම්රිය සේවය පාවිච්චි කරන මගීන්ගේ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යනවා. එම අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ධාවනයේ යොදවන මැදිරි හා දුම්රිය ප්‍රමාණය වැඩි කිරීමේ අභියෝගය

අපි භාරගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලාභ ලැබීම කෙසේ වෙතත් අපට අවශ්‍යව ඇත්තේ පාඩු නොලබන දුම්රිය සේවයක් මඟින් ජනතාවට කාර්යක්ෂමව, පහසුවට ගමන් පහසුව ලබාදීමයි. දුම්රිය සේවයේ සිදුවන පාඩු පියවාගෙන කාර්යක්ෂම සේවාවක් පවත්වාගෙන යෑම සඳහා අලුතින් මැදිරි හා එන්ජින් ගේන්න අපි ඇණවුම් කර තිබෙනවා. මැදිරි, එන්ජින්, දුම්රිය මාර්ග තිබුණට ප්‍රමාණවත් නැහැ. ඒවායේ ක්‍රියාකාරිත්වය සඳහා මානව සම්පත අපට අත්‍යවශ්‍යයි. ඒ නිසා මම විනිවිද භාවයකින් යුතුව විභාග දෙපාර්තමේන්තුව මඟින් ලිඛිත පරීක්ෂණ පවත්වා සුදුසුකම් සපිරූ අයට මෙම පත්වීම් ලබා දෙනවා. ඒත් මේ හැම දේටම විරුද්ධ වන පිරිසක් ඉන්නවා.

අද දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනය කරනවා කියන කොට හෙට ගාඩ්වරු වැඩ වර්ජනය කරනවා කියනවා. එකට ඉන්න එකම තනතුරේ අයකුට උසස් වීමක් දුන්නත්, ළඟ ඉන්න අය ඒකට පෙත්සම් ගහනවා. ඒ වගේම අදාළ ටෙන්ඩර් පටිපාටිවලට අනුකූලව විනිවිද භාවයෙන් යුතුව එන්ජින්, මැදිරි, දුම්රිය, ගැල් ආදිය ගෙන්වන්නට කටයුතු කරන විට ඒවටත් විරුද්ධ වන අය ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මම පුවත්පතක දුටුවා 'ශ්‍රී ලංගමය ඉන්දියාවට' කියලා සිරස්තලයක්. ශ්‍රී ලංගමයට අවශ්‍ය ඉන්ධන හා ලිහිසි තෙල් සැපයීම සඳහා අපි ටෙන්ඩර් කැඳව්වා අඩුම ටෙන්ඩරය ආවේ ඉන්දියන් ඔයිල් සමාගමෙන්. අපි ඒ අයට ටෙන්ඩරය පිරිනැමුවා.

දුම්රිය සේවාව ජනතාව ආකර්ෂණය වන පරිදි ජනතාව අතර ප්‍රචලිත කිරීමට අපි පුළුල් වැඩ කොටසක් කරගෙන යනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා එක්ව බඳවා ගැනීම් හා උසස්වීම් ලබාදීමේ කටයුතු තවත් ඉතිරිව තිබෙනවා. එම තීන්දු තීරණ දෙන්නේ කොමිෂන් සභාවයි. කොමිෂන් සභාව දෙන තීන්දු තීරණ අප පිළිගත යුතුයි. ඒක ස්වාධීන කොමිෂන් සභාවක්. ඒකට බලපෑම් කරන්න අපට හැකියාවක් නැහැ.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්