මහ බැංකුව හොරා කාලා වැඩ ඇරැඹූ ආණ්ඩුව පිටරට බැංකුත් හොරා කන්න පටන් අරන්

  👤  3653 readers have read this article !
By mawbima 2017-10-13

මහ බැංකුව හොරාකමින් වැඩ පටන්ගත් වත්මන් ආණ්ඩුව විදේශ රටවල බැංකු හොරාකන තත්ත්වයට පත් වෙමින් ලෝකය ඉදිරියේ බැංකු කොල්ලකරුවන්ගේ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් වෙමින් පවතින බව පැවැසූ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා අගමැතිවරයා බැඳුම්කර කොමිසමට කැඳවන්නේ කවදාදැයි ප්‍රශ්න කළේය.
ඊයේ (12දා) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් විමල් වීරවංශ මහතා එසේ පැවැසීය.

වැඩිදුරටත් වීරවංශ මහතා මෙසේද කීය.
අපේ රට යහපාලනයෙන් දෝරේ ගලන රාජ්‍යයක් බවට පත් කරන්නට මහින්ද රාජපක්ෂ මහතා ඇතිකළ වෙනසට වඩා වැඩි වෙනසක් ලබන්නට හිතාගෙන ජනවාරි 8 වැනිදා හංසයාට කතිරය ගහපු මිනිස්සු මූණු හංගාගන්න යුගයක තමයි අපි අද මේ කතා කරන්නේ. දෛවෝපගත හාස්කමකින් වගේ ආණ්ඩුවේ කම්බ හොරුන්ගේ විස්තර එළියට එන්න පටන්ගෙන තිබෙනවා.

සෝමාලියාවේ ඉන්නේ මුහුදු මංකොල්ලකාරයෝ. දැන් මුළු ලෝකයම දන්නවා අපේ රටේ ඉන්නේ බැංකු මංකොල්ලකාරයෝ කියලා. ලංකාව බැංකු මංකොල්ලකාරයන්ගේ රටක් කරපු එක තමයි කරපු වෙනස. අගමැති වික්‍රමසිංහ, ජනාධිපති සිරිසේන මහත්වරුන් බලයට ඇවිල්ලා අවුරුදු දෙකහමාරකට වැඩි කාලයක් ඉඳලා මුළු ලෝකය ඉස්සරහම හංවඩු ගහලා තියෙනවා බැංකු මංකොල්ලකාරයන්ගේ රට මේක කියලා.

දේශපාලනය කරන අයගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කතා කරගෙන ආව අයියලා අන්තිමට මහ බැංකු අධිපති කරලා තියෙන්නෙත්, ලිට්රෝ ගෑස් සභාපති කරලා තියෙන්නෙත් රටේ පුරවැසියො නොවන අයියලා. ලංකාවේ පුරවැසියෙක් නොවන මිනිහෙක් දේශපාලන පක්ෂයකුත් හදලා එහි සභාපතිත් වෙලා, ඒ පක්ෂයෙන් ජනාධිපතිවරණ දෙකකටත් තරග කරලා ඉන් එකක් දින්නා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් මම අහනවා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නැති පුද්ගලයකුට දේශපාලන පක්ෂයක් හදන්න පුළුවන්ද..? ඒ දේශපාලන පක්ෂයේ සභාපති වෙන්න පුළුවන්ද..? එම පක්ෂයෙන් තරග කර ජයග්‍රහණය කළ විට එය වලංගුද? මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අපේ ආණ්ඩු කාලයේ තිබුණු එඩිතරභාවය නැවත ප්‍රදර්ශනය කරමින් මේකට පිළිතුරු දෙයි කියලා අපි හිතනවා.

විදේශික චෞර රැළකට මේ රට මංකොල්ල කන්න ඉඩදීලා බලාගෙන ඉන්න මේ ආණ්ඩුව පාප කර්ම කරලා මේ අවුරුද්ද අන්තිම වනවිට එට්කා ගිවිසුම අස්සන් කිරීමට ලැහැස්ති වන බව තමයි ඉන්දියානු ආරංචි මාර්ග කියන්නේ. මේ ඔක්කොම පාපකර්ම කරලා රනිල් වික්‍රමසිංහ මහතා පින් ටිකක් ගන්න පින්ලන්තයට යනවා.
බැඳුම්කර කොමිසමට ඊයේ මලික් සමරවික්‍රම සහ කබීර් ශෂීම් මහත්වරු ගියා. අර්ජුන මහේන්ද්‍රන් බොහොම පැහැදිලිව කියා තිබෙනවා අගමැතිවරයාගෙන් අහන්න, මට මේවා තේරෙන්නේ නැහැ කියලා. අපි අහන්නේ කවදාද අගමැතිතුමාව කොමිසමට ගේන්නේ කියලා. ඒකත් කරලා මේක ඉවර කළොත් විතරයි බැඳුම්කර කොමිසම හරිදේ කළා වෙන්නේ.

මේ අවුරුද්ද ආණ්ඩුව මෙහෙයුම් ගොඩක් ගෙන එන අවුරුද්දක්. මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුව ඇතුළේ තුනෙන් දෙක තිබෙන්නේ බුලත් කොළයේ අයත්, රතු අලි පැටව් ටිකත් දෙමළ ජාතික සන්ධානයත් කඩේ යන නිසයි. අපේ කාලයේ කෙනෙක් මෙහෙම බැංකු කොල්ලයක් කළා නම් රතු අලි පැටියා නොකා නොබී මාධ්‍ය සාකච්ඡා තියනවා ඒ සම්බන්ධයෙන්. මේ තක්කඩි රැළ එකට එකතුවෙලා රට අගාධයට ගෙන යන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන
පසුගියදා හම්බන්තොට පැවැති සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී උද්ඝෝෂණය වාර්තා කරමින් සිටි ජනමාධ්‍යවේදියාට දරුණු ලෙස පහරදීම අප හෙළා දකිනවා. ඔහුව අත්අඩංගුවට ගැනීම රජය ජනමාධ්‍යට එල්ල කළ දැවැන්ත තර්ජනයක් හැටියටයි අපි දකින්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඉතිහාසය පුරාම ජාතික ප්‍රශ්නයකට රටේ ඕනෑම තැනකට යෑමට, හමුවන්නට, මහජනයා සමඟ එක්ව කටයුතු කරන්න තිබුණ අයිතිය වත්මන් ආණ්ඩුව විසින් උදුරාගෙන තිබෙනවා. නිරායුධව සිටින මන්ත්‍රිවරුන්ට ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ භයානක පාර්ලිමේන්තු විරෝධී ක්‍රියාමාර්ගයකට ආණ්ඩුව අවතීර්ණ වෙනවා.
ජාත්‍යන්තර වශයෙන් තිබෙන සෑම ආයතනයකටම මන්ත්‍රිවරුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කරුණු යොමුකිරීමට ඒකාබද්ධ විපක්ෂය විසින් මේ වනවිට කටයුතු සූදානම් කරනවා.

කාන්තාවන් වෙනුවෙන් බොහෝ ප්‍රකාශ සහ ප්‍රඥප්ති ගෙන එන මේ ආණ්ඩුව පසුගියදා උද්ඝෝෂණයේදී කාන්තාවන් 34 කට අධික පිරිසක් තංගල්ල හිර ගෙදරට යවලා තියෙනවා. මේ අතර උද්ඝෝෂණයට කිසිම සම්බන්ධයක් නැති මවුවරුන් පවා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආණ්ඩුවේ ඇමැතිවරයකුගේ කිට්ටු ඥාතියකුත් මේ අතර ඉන්නවා.
දීපවාලි උත්සවය ලබන සතියේ පැවැත්වෙනවා. රුපියල් 10,000ක දීපවාලි දීමනාව මෙතෙක් ගෙවන්න පටන්ගෙන නැහැ. ලබන 18ට පෙර වහාම උත්සව අත්තිකාරම් ගෙවන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ
මේ වනවිට බැඳුම්කර කොල්ලයේ සියලු තොරතුරු හෙළිවෙමින් තිබෙනවා. රාජ්‍ය නායකයන්ට, දේශපාලනඥයන්ට විවිධ චෝදනා එල්ල වුණා තනි තනි වශයෙන්. ලංකා ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවෙච්ච විශාලතම කොල්ලය තමයි මෙය. කෝප් වාර්තා දෙකකින් මේ වංචාව ගැන හෙළිදරව් කළා.
මෙතෙක් කල් ජනාධිපති කොමිසම පිළිබඳ යම් විශ්වාසයක් තිබුණා. නමුත් ඊයේ කිසිම හරස් ප්‍රශ්නයක් ජනාධිපති කොමිසමෙන් මලික් සමරවික්‍රමගෙන් හෝ කබීර් හෂීම්ගෙන් ඇහුවේ නැහැ. මේ කොමිසමට රටේ තිබෙන ගෞරවය අඩු කරන්න දෙන්න එපා. රටම බලන් ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහතා විත්ති කූඩුවට නඟිනකන්. අපි දන්නේ නැහැ මේකට කුමක් වෙයිද කියලා. නමුත් කොමිසමට කැඳවන අයගෙන් අපිට දැනගන්න පුළුවන් වැරැදිකරුවන් කවුද කියන එක.

ඉෂාරා සිල්වා
ඡායාරූප - මංජුල දයාවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon